නිල් කෙත් ගලා ගිය

නිල් දියවර කෙත් යායට ගලා ගිය වගයි...

වත්මන් රජය වාරිමාර්ග සංවර්ධනය මඟින් කෘෂි අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. 2005 ජනාධිපති මැතිවරණයේ දී මහින්ද චින්තනය නමින් මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරන ලද්දේ මෙම වැඩ පිළිවෙළය.

උතුරේ මෙන්ම දකුණේ ද, බටහිර මෙන්ම නැඟෙනහිර ද වියළි බිම් හරිත ගැන්වීම මෙම වැඩ පිළිවෙළේ අරමුණ වේ. ඒ යටතේ ප්‍රධාන ගංගාවන්, ප්‍රාදේශීය වැව්, අමුණු හා ගම්මානයන් හී ජල ධාරාවන් සම්බන්ධ කෙරේ.

රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා පවතිනා ජල සම්පත් මෙන්ම දැනට තිබෙන වාරි යෝජනා ක්‍රම සංවර්ධනය කිරීමට මෙන්ම කැඩී බිඳී ගිය වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ද මෙම වාරි වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛත්වය ලබා දී ඇත. ජල පෝෂක ප්‍රදේශ සංරක්‍ෂණය කිරීම මගින් වාරිමාර්ග ක්‍රම වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය දිය උල්පත් රැක ගැනීම සිදුවේ.

ඊට අමතරව පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වාගෙන යාම, ජලයේ පවිත්‍රතාව ආරක්‍ෂා කර ගැනීම, මතු පරපුරටත් අපේ උරුමයන් නැවත නැවතත් දායාද කිරීමේ අරමුණින් “නිල් දියවර කෙත්යායට” නමින් නව ව්‍යාපෘතියක් ද රජය ක්‍රියාවට නඟයි.

නව ක්‍රමවේදයක්

රටේ ධනයෙන් ඉදිවන මොරගහකන්ද ජලාශයේ වැඩ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරඹමින්...

දිවයින පුරා ඇති ස්වභාවික දිය උල්පත්, කුඩා පොකුණු, ඇල දොල, වැසි දිය පොකුණු ආරක්‍ෂා කිරීම කෙරෙහිද වාරිමාර්ග අමාත්‍යාංශයේ අවධානය මේ වන විට යොමුවී ඇත.

‘නිල් දිය කඩිත්ත” නම් වූ එම වැඩසටහන ප්‍රාදේශීය වාරි කමිටු හා එක්ව සංවිධානය කරනු ලබන්නේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසිනි.

සම්ප්‍රදායිකව වාරි කර්මාන්තය ආශි‍්‍රතව ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතික අංගයන් ද ඇත.

එම චාරිත්‍රවලට මුල්තැන දෙමින් කෙතට හා වගාවන්ට අවශ්‍ය පරිදි ජලය ලබා ගැනීමට ක්‍රමවත් ඇලවේලි පද්ධතියක් ගොඩනඟා ගැනීමේ වැඩපිළිවෙළ “නිල් දියවර කෙත්යායට” නම් වේ.

වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ගොවි ජනතාව සවිබල ගන්වා ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය මෙන්ම වෙනත් ආදායම් මාර්ග ඔවුන් වෙත ලබා දීම හා ඇල වේලි නඩත්තුව ඔවුන් වෙත පවරා ඒවා නඩත්තු කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස ‘වාරි පුබුදුව‘ වැඩසටහන හඳුන්වා දිය හැක.

මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කොට ගොවි පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් ද රජය ගොවි සංවිධාන හරහා හඳුන්වා දී ඇත.

මෙලෙස ජපන් ආධාර යටතේ අනුරාධපුරය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල කුඩා හා මධ්‍යම පරිමාණයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 6000 ක් යොදවා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට, දිළිඳු බව තුරන් කිරීමට සහ පරිසර සංරක්‍ෂණයට ජල සම්පත් සංවර්ධනය විශාල දායකත්වයක් සපයා ඇත.

සංවර්ධනය කොට ඇති ජල සම්පත් වලින් 85% ක්ම යොදා ගැනෙන්නේ වියලි කලාපයේ කෘෂි කාර්මික කටයුතු සඳහා ය.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාශය මගින් “කෙතට අරුණ” නමින් දස අවුරුදු සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නඟා ඇත. එමඟින් රුපියල් කෝටි 20,000 ක මුදලක් වාරිමාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා යෙදවීමට අපේක්‍ෂිත ය.

මෙම ව්‍යාපෘති වලින් අලුතින් වැඩි දියුණු කළ වාරි පහසුකම් සපයන ලද ඉඩම් සංඛ්‍යාව අක්කර 40,000 ක් පමණ වන අතර ඉන් ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව 15,000 ක් පමණ වේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළදී විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත අතර එවැනි සමහර ව්‍යාපෘති කිහිපයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කොට ජනතා අයිතියට පවරා ඇත.

වෙහෙරගල ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිම කොට ඇති අතර මොරගහකන්ද, උමා ඔය, දැදුරුඔය, රඹුක්කන් ඔය, යාන් ඔය හා හැඩ ඔය සංවර්ධන ව්‍යාපෘතිය එලෙස ක්‍රියාත්මක මට්ටමේ පවතින අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් ය.

මෙම සිව් අවුරුදු පාලන කාලයේ අනෙක් සුවිශේෂම ලක්‍ෂණය නම් ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු එකට ආරම්භ කර පවත්වාගෙන යාමය. මෙවැනි සමහර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට විදේශ ආධාර ලැබී ඇති අතර තවත් සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුළු මුදලම ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබයි.

වෙහෙරගල ජලාශය

ලුණුගම්වෙහෙර ව්‍යාපෘතියෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලැබීම නිසා මැණික් ගඟේ අමතර ජල ධාරිතාවක් වෙහෙරගල ප්‍රදේශයේ දී වේල්ලක් බැඳ හරස් කොට ඇල මාර්ගයක් මඟින් යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

ලුණුගම්වෙහෙර ජලාශයේ ජල ධාරිතාව වැඩි කිරීමෙන් දැනට පවතින හෙක්ටයාර් 3,100 ක පමණ ඉඩම් ප්‍රමාණයක වගා තිව්‍රතාවය 1.4 සිට 1.86 දක්වා වැඩිවීම තුළින් ගොවි පවුල් 3000 කට අධික ප්‍රමාණයකට සෙත සැලසේ.

මෙම ව්‍යාපෘතිය මගින් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ගොවීන්ගේ ජල ප්‍රශ්නයට විසඳුම් ලැබීමට අමතරව මැණික් යටතේ වගා කෙරෙන ගල් අමුණ ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 1075 කටද ජල සුරක්‍ෂිත භාවයක් ලබාදී ඇත. කතරගම, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවයක් මැණික් ගඟ පිටාර ගලායාමේ අවදානමද මෙමගින් සම්පූර්ණයෙන් තුරන් වී ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දේශීය ඉංජිනේරුවන් විසින් දේශීය ශ්‍රමිකයන් භාවිතා කොට නිම කරන ලද මෙම ව්‍යාපෘතියට ආයෝජනය කරන ලද රුපියල් මිලියන 1,772 ක මුදල සම්පූර්ණයෙන්ම දරන ලද්දේ ශශ්‍රී ලංකා රජය විසිනි.

 දැදුරු ඔය ජලාශය

දැදුරුඔය හරහා ඉදිකරනු ලබන මිලියන ඝන මීටර 75 ක ධාරිතාවකින් යුත් ජලාශයක් මගින් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක දෙක තුළ දැදුරු ඔය හා මී ඔය නිම්න දෙකෙහි කුඹුරු අක්කර 27,000 කට වාරි ජලය සැපයීමට අදහස් කෙරේ.

වයඹ පළාතේ වාරියපොළ, මහවැව, නිකවැරටිය හා ආනමඩුව යන නාගරික ප්‍රදේශ සඳහා පානීය ජලය ලබා දීම, මෙ. වො. 1.5 ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම, ඉගිනිමිටිය ප්‍රදේශයට වාරි ජලය සැපයීම අනෙකුත් අපේක්‍ෂාවන් අතර වේ.

මහින්ද චින්තනය යටතේ දේශීය තාක්‍ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට උපරිම අයුරින් දිරි දෙයි. ඒ අනුව දැදුරු ඔය ව්‍යාපෘතිය ද දේශීය සම්පත් හා දේශීය වාරි තාක්‍ෂණය යොදා ගනිමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙනු ලබයි. මෙමගින් ව්‍යාපෘතියට අමතරව දිවයිනේ තාක්‍ෂණික කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමද විශේෂත්වයකි. 2006 වසරේ දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2010 වසරේ දී නිම කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 6,500 කි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදලම දරනු ලබන්නේ මහා භාණ්ඩාගාරය විසිනි.

 රඹුක්කන් ඔය ව්‍යාපෘතිය

සංවර්ධනය කරා...

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුන්දෙනි ආරු ගංගා නිම්නයේ ව්‍යාපෘතිය පිහිටා ඇත.

රඹුක්කන් ඔය හරස් කොට අඩි 81 උස, දිග අඩි 3600 ක බැම්මක් ඉදිකිරීමෙන් අක්කර අඩි 45,000 ක ජලාශයක් ඉදිකර එමඟින් කුඹුරු අක්කර 3500 ක් අලුතින් සංවර්ධනය කිරීමට අපේක්‍ෂිත ය.

මෙම ව්‍යාපෘතියද වෙහෙරගල හා දැදුරු ඔය ව්‍යාපෘතිය ලෙසම දේශීය සම්පත් හා දේශීය ශ්‍රමය භාවිතා කොට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. 2007 වර්ෂයේ දී ආරම්භ කරන්නට යෙදුන මෙම ව්‍යාපෘතිය 2010 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිත ය.

අති දුෂ්කර ප්‍රදේශයක් වූ මහ ඔය ප්‍රදේශයේ ව්‍යාපෘතියේ ඍජු ප්‍රතිලාභ වලට අමතරව පානීය ජලය, මං මාවත්, සෞඛ්‍ය හා අධ්‍යාපන යන ක්ෂේත්‍රවල යටිතල පහසුකම් සංවර්ධනය වීමක් ද සිදුවේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලබන මුළු ආයෝජනය රුපියල් මිලියන 2,500 ක් වන අතර එම සම්පූර්ණ මුදලම ශශ්‍රී ලංකා රජය මඟින් දරනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ වාරි ජලය සැපයීම තුළින් ගොවි පවුල් 1500 කගේ පමණ ආදායම් තත්ත්වය ඉහළ යාම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

 මොරගහකන්ද ජලාශය

මාතලේ දිස්ත්‍රික්කයේ නාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇලහැරදී අඹන් ගඟ හරස් කොට තනනු ලබන වේල්ලක් මගින් මොරගහ කන්ද ජලාශය සෑදීමට යෝජිත ය. අඹන් ගඟේ අතු ගංගාවක් වන කළු ගඟ හරහා ඉදිකරනු ලබන වේල්ලක් මගින් මෙහි දෙවන ජලාශය වන කළු ගඟ ජලාශය ඉදිකිරීමට නියමිත ය.

මෙම ව්‍යාපෘති දෙක සඳහා රුපියල් මිලියන 48,950 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. මෙමගින් දේශීය විදුලිබල පද්ධතියට මෙ. වො. 20 විදුලි බලයක්එකතු කිරීමට නියමිතය.

අලුතෙන් හෙක්ටයාර් 3,000 ක බිම් ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය යටතේ වගා කළ හැකි වන අතර මෙම වාරි ජලය යොදාගෙන මහ කන්නයේ දී හෙක්ටයාර් 81,500 ක ප්‍රමාණයක් හා යල කන්නයේ දී හෙක්ටයාර් 68,500 ක ප්‍රමාණයක් වගා කළ හැකිවේ.

 උමා ඔය ව්‍යාපෘතිය

උමා ඔය හරහා වැලිමඩ ප්‍රදේශය ආසන්නයේ පිහිටි පුහුල්පොල දී බැම්මක් ඉදිකර ජලාශයක් ඇති කරන අතර උමා ඔයේ අතු ගංගාවක් වන මාතොටිල්ල ඔය හරස් කොට තවත් බැම්මක් ඉදිකිරීමෙන් දයිරාබ ප්‍රදේශයේ දී තවත් ජලාශයක් ඉදිකරනු ලබයි.

එම ජලාශ දෙක යා කරමින් කිලෝ මීටර 19.5 ක්දිග උමගක් වැල්ලවාය ප්‍රදේශයේ දී ඉදිකරනු ලැබේ.

මෙමගින් මෙගාවොට් 120 ක විදුලියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර එමඟින් වසරකට ගෙගා වොට් 230 ත් 300 ත් අතර ප්‍රමාණයක විදුලි බලයක් නිෂ්පාදනය කිරීමට නියමිත ය. මෙම ව්‍යාපෘතියේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ උමා ඔයේ තිබෙන අතිරික්ත ජලය කිරිඳිඔය කරා ගෙන යාමයි.

ඵලදායී ලෙස භාවිතයට නොගෙන ගලා යන කියුබික් මීටර් 600 ත් 700 ත් අතර අතිරික්ත ජල ධාරිතාවක් මෙලෙස අලිකොටාරම ප්‍රදේශයේ දී කිරිදිඔයට එක් කෙරේ. මෙම ජල ධාරිතාව මගින් අලුතින් 12,500 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් වගා කළ හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ.

ඉරාන රජයෙන් ලැබුණු ඩොලර් මිලියන 450 ක මුල්‍යාධාරයක් මත 2009 පෙබරවාරි මස ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඉදිරි වසර පහ තුළදී නිම කිරීමට අපේක්‍ෂිත ය.

ඉහත ව්‍යාපෘති වලට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ වේලි ඔය ව්‍යාපෘතියත්, මාතලේ දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල හා කන්දෙපිටවල වැවත් අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය වැඩි දියුණු කිරීමේ වාරි කර්මාන්තයන් ද පසුගිය සිව් වසර තුළදී සම්පූර්ණයෙන් ම නිමා කොට ඇත.

සම්පූර්ණ කරන ලද මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවිල්ලෑව ව්‍යාපෘතියත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්දොල හා අම්පාර දිස්ත්‍රික්කයේ මරියකන්ද වැව හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇල්ල වැව හා රත්නපුර දිස්ත්‍රික්කයේ වැවේලන්ද යන ව්‍යාපෘතින් ය.

මෙම ව්‍යාපෘතීන්ට අමතරව රජය ලගදී මුදාගත් උතුරු හා නැගෙනහිර පළාත් ආශි‍්‍රතව ද වාරිමාර්ග ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සිදු කරමින් පවතී.

මෙයින් වවුනියාව දිස්ත්‍රික්කයේ පාවට්ටකුලම්, මුහන්කාම්කුලම් හා ඉරට්ටපෙරියකුලම් ව්‍යාපෘතියත් එම දිස්ත්‍රික්කයේම මරදමඩු, රාජෙන්ද්‍රකුලම් හා කල් ආරු සොරොව්ව යන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වැදගත් වේ.

ත්‍රස්ත ක්‍රියා නිසා විනාශව තිබුණු ගෑන්ටැන්ග්ගට්චදඨබචදඨඝ ජලාශයත්, අහත්තිමුරුප්පු හා වියාඩිකුලම් ජලාශත් ප්‍රතිසංස්කරණය කෙරේ. නැගෙනහිර පළාතේ යෝ්ජිත ප්‍රතිසංස්කරණ කටයුතු වලින් මේ වනවිට 30% ක් පමණ අවසන් කොට ඇති අතර මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිසා ඉඩම් අක්කර 38,636 ක් සංවර්ධනය කෙරේ.

රජය විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීමෙන් නව වාරි යෝජනා ක්‍රම ආරම්භ කිරීමටත් දැනටමත් භාවිතයේ පවත්නා ජල යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් යොදවා ඇත.

මීට අමතරව වේලි ආරක්‍ෂණය හා මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩි කිරීමට හා දැනට භාවිත ජල මිනුම් දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට රජය රුපියල් මිලියන 7500 ක් ආයෝජනය කිරීමට අදහස් කරයි.

2008 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2012 දී නිම කිරීමට නියමිතය.

වාර්ෂිකව ජාතික වාරි සංස්කෘතික උළෙලක් හඳුන්වා දී එමගින් වාරි ශිෂ්ඨාචාරය පිළිබඳව හා ඒ ආශි‍්‍රත ජනකතා හා සංස්කෘතික තොරතුරු ඒකරාශි කිරීමටත් වාරිමාර්ග විෂය පාසල් විෂය මාලාවට ඇතුල් කිරීමත් වාරිමාර්ග ක්ෂේත්‍රය අලුත් ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්