චන්දන පුතාගේ ලියුම...

චන්දන පුතාගේ ලියුම...

ආදරණීය මහින්ද මාමේ!

දශක තුනකටත් වැඩි කාලයක් පැවැති මෙලෙච්ඡ ත්‍රස්තවාදයේ භීතිය රට තුළින් සහමුලින් වියකී ගොසින්. මාමාගේ නායකත්වය යටතේ අද ඒකීය ශශ්‍රී ලංකාවක් තුල ජීවන හුස්ම නිදහසේ ආශ්වාස කරමින් සතුටු සිතින් මාමාට ආමන්ත්‍රණය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකනවා. මාමාට මේ රට භාරවෙලා අදට සිව් වසරක්. මේ සිව් වසර පුරාවට කළ කී දෑ බොහොමයි.

අඳුරු අගාධයකට ඇදෙමින් තිබුණු අපේ මේ පුංචි රට යළිත් දෙපයින් නඟාසිටුවීමේ ගෞරවයේ සැබෑ උරුමක්කාරයා මාමා කියලයි මට හිතෙන්නේ. මීට සිව් වසරකට පෙර මාමාට මේ රට භාර නොවන්න මේ රට පත්වෙමින් තිබූ අරාජික තත්ත්වය ගැන මතක් වෙනකොටත් මාමේ හිතට දැනෙන්නේ බොහොම කනගාටුවක්. ඒ පාපතර අතීතයෙන් මේ රට ගලවාගෙන මුළු රටම එක්සේසත් කළ පිනම ඇති මාමේ කවදා හෝ මාමාට නිවන් යන්න.

යුද්ධයෙන් හෙම්බත් වී සිටි අපේ රටට අද සංවර්ධනයේ අරුණැල්ල උදාවෙලා. මාමාගේ නායකත්වයෙන් රට පුරා දැවැන්ත සංවර්ධනයක් දවසින් දවස උදාවෙනවා. සාපරාධී ත්‍රස්තවාදී යුද්ධයෙන් බැට කෑ උතුර – නැඟෙනහිර පළාත් අද උතුරු වසන්තය, නැඟෙනහිර නවෝදය තුළින් සමෘද්ධිය කරා වේගවත්ව පියමනිනවා.

ජාතිය ගැන, රට ගැන බොහොම භක්තියෙන් කතා කරන, වැඩ කරන මාමාගේ ක්‍රියා පිළිවෙත දකිනකොට මගේ සිතට දැනෙන්නේ මහත් අභිමානයක්. අපේ ගමේ වැඩිහිටියන් නිතර කියනවා මාමා අපේ රටේ ජනාධිපති වුණේ රටෙත් සිංහල ජාතියේත් වාසනාවට කියලා. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් කරමින් රට පුරාම දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග රාශියක් දියත් කළ මාමා මේවා කරන්නේ කොහොමද කියලත් මට වෙලාවකට හිතෙනවා.

රට බේරාගන්න යුද්ධ කරමින් හම්බන්තොට වරාය, මොරගහකන්ද ජලාශය, නොරොච්චෝලේ විදුලි බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කෙරවලපිටිය විදුලි බලාගාරය, උමා ඔය යෝජනා ක්‍රමය, දැවැන්ත ගුවන් පාලම් හදන්න පටන් ගත්ත මාමාගේ මේ සංවර්ධන ක්‍රියාමාර්ග දකිනකොට මට හිතෙනවා මාමා අපේ කාලයේ වීරයෙක් කියලා.

ඒ වගේම මාමේ ගම නැඟුම, මග නැඟුම යටතේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ ව්‍යාපෘති දහස් ගණනක් ඔස්සේ රටේ සංවර්ධනය නිර්මාණය වෙන්න පටන් අරන්.

මේ සිව් වසරක කාලය පුරාවට මේ වගේ ;ව්ගවත් මහා පරිමාණ සංවර්ධනයක් රට පුරා ක්‍රියාත්මක වෙන මොහොතක, රට ස්වයංපෝෂිත කරන්න මාමා ගෙන තිබෙන ක්‍රියාමාර්ගත් සුළුපටු නෑ නේද මාමේ. අපි වවමු - රට නඟමු මාමාගේ ව්‍යාපෘතිය නිසා අද හුඟක් අය ගොවිතැනට පුරුදු වෙලා. මාමා රුපියල් තුන්සිය පනහකට දෙන පෝර මිටිය නිසා රට පුරා තිබුණු පුරන් කුඹුරු දැන් අස්වැද්දීමට පටන් අරන්.

මාමාට කියන්න අපේ වත්ත පහළ තිබුණු විශාල පුරන් කුඹුරු යායේ තිබූ මූසල වටපිටාව දැන් වියැකිලා ගිහින් අද සෞභාග්‍යයේ දෙව්දුවගේ ආශීර්වාදය ලැබිලා මුළු කුඹුරු යායම මාමාගේ රුපියල් තුන්සිය පනහට පොහොර දීමේ වැඩපිළිවෙළ නිසා කොළ පාටින් බබලනවා.

කුඹුරු ගොවිතැන අතහැරලා හිටිය ගොවියෝ, වී ටික අලෙවි කර ගන්න බැරිව වස බිව්ව ගොවියො අද ඒ දේවල් පසෙකලා එකා වගේ කුඹුරට බැහැල රට ස්වයංපෝෂිත කරන්න මාමා සමඟ එකතු වෙලා. හරිම සතුටුයි මාමේ.

අද හැම ගොවියෙක් ම කතා කරන්නේ මාමාගේ මේ වැඩපිළිවෙළ ගැන වී ටික වපුරන්න කුඹුරට බැස්ස ගොවියා අස්වැන්න නෙලාගන්න තෙක් ම මාමාට පින් දෙන්නෙ තමන් අදහන දෙවි කෙනෙකුට වගේ.

මාමේ අපේ ගමේ හැම පාරක් ම වගේ දැන් කොන්ක්‍රීට් කරලා, පාලන් හදලා, බෝක්කු හදලා, ගම හරහා දැන් බස් හිටන් යනවා. දැන් මම හරිම ආසාවෙන් ඉස්කෝලෙත් යනවා.

ගඟ හරහා එල්ලෙමින් තිබුණු කේබල් පාලම වෙනුවට දැන් ලොකු කොන්ක්‍රීට් පාලමක් හදල ගඟෙන් එගොඩ මෙගොඩ මේ පාලමෙන් මමත් මල්ලිත් හැමදාම පාසල් යන්නේ හරිම සතුටින්. අද ගම වෙනස්වෙලා මාමේ. මේ සැබෑ වෙනසේ නිර්මාණකරුවා මාමා කියලා මම දන්නවා.

තව පොඩ්ඩෙන් මාමාට කියන්නත් අමතක වෙනවා. අපේ ඉස්කෝලෙට අලුත් ගොඩනැගිල්ලක් ලැබුණා. කොම්පියුටර් හිටන් ලැබුණා. අපි ඉන්ටනෙට් හරහා ලෝකයේ තොරතුරු ගන්නවා. අද ගමයි නගරයයි එකට යා වෙලා.

තාක්ෂණයේ දියුණුව ගමට ඇවිල්ලා. එදා අපිට තිබුණු සිහින අද සැබෑ වෙලා. හැම පාරකම විදුලිය ලැබිලා. එදා අපි පාඩම් කරපු කුප්පි ලාම්පුව අද මම ළඟ නෑ. ගමේ හැම ගෙදරකටම ලයිට් ලැබිල. අපි ටී. වී. ත් බලනවා මාමේ. මේ හැම දෙයක් ම අපට ලැබුණෙ මාම නිසා කියල මම දන්නවා. ඒ දේවල් මාමේ අපේ මේ පුංචි සිත්වලින් කවදාවත් ඈත්වෙන්නෙ නෑ.

මාමා ආරම්භ කරපු මතට තිත වැඩපිළිවෙළ නිසා අද වෙනකොට මාමේ අපේ ගමේ තිබුණ හොර සුරා අලෙවිය නැතිවෙලා ගිහින්. බීමත්ව හැසිරෙන අය දකින්නත් නැති තරම්. දුම්වැටි අලෙවියත් හොඳටම අඩුවෙලා කියල සමහර කඩවල අලෙවි කරන්නෙත් නෑ.

මාමාට පින්සිදු වෙන්න අද මමත්, මල්ලිත්, අම්මත් හරිම සතුටින් ඉන්නෙ තාත්තව මත් රකුසගෙන් බේරල දුන්න එකට. කොයි තරම් නම් දේවල් මේ සිව් වසර තුළ මාම නිසා අපේ ජීවිතවලට එක්වුණාද?

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම ජාතියකම මිනිස්සු එකා වගේ අත්වැල් බැඳගෙන මාම ගෙන යන රට ගොඩනැගීමේ දස අවුරුදු සැලැස්ම කරපින්නාගෙන මාමා යන අඩි පාරේ පියවර තබන්නේ මොන තරම් බලාපොරොත්තු දල්වාගෙනද? ඒ වගේම තමයි මාමේ, අපේ රටට කොන්ද පණ ඇති නිවැරදි තීරණ ගන්නා පැහැදිලි නායකත්වයක් මෑත ඉතිහාසයේ ලැබිල තියෙනවා කියල රටේ හැම කෙනෙක් ම ඉන්නෙ හරිම ආඩම්බරයෙන්.

නව නිවහල් ජාතියක්, නිල්ල පැතිරුණු රටක්, අටුකොටු පිරුණු හෙටක්, දැහැමි සමාජයක් ලෙසින් සියලු ජාතීන් එක පවුලක් සේ ජීවත්වෙනවා දැකීම මාමාගේ ඒකායන ප්‍රාර්ථනය කියල මම දන්නවා.

ඉතිං මාමේ අදට නවතින්නම්. විජාතික බලවේග හමුවේ අභීත සිංහයකු සේ හිඳිමින් දණින් නොවැටී ශශ්‍රී ලංකාදීපය නව යුගයක් කරා මෙහෙයවීමට මාමාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

මාමාට තෙරුවන් සරණයි

මීට
මාමාට කවදත් හිතාදර
චන්දන පුතා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්