චිරං ජයතු ජන නායකයාණෙනි !

චිරං ජයතු ජන නායකයාණෙනි !

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන

ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පදවිප්‍රාප්ත වී වසර හතරක කාලයක් ගෙවී ගොස් ඇත. මේ සිව් වසරක කාල පරිච්ඡේදය තුළ, අපගේ මාතෘ භූමිය ලැබූ ජයග්‍රහණ බොහෝය. රට තුළ ඇතිවූ නිදහස සහ පිබිදීම වෙන කිසි දිනක නොවූ තරම්ය.

අපගේ අභිමානවත් දේශයත් එහි අභිමානයත් ලෝකයා හමුවට ගෙන යන්නේ, ගෞරවණීය පුරවැසියන්ගේ දේශයක් ලෙසිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, එහි සැබෑ හිමිකරුවා ඔබය.

මහින්ද රාජපක්ෂ. ජනාධිපතිතුමා පදවිප්‍රාප්ත වන විට, එතුමා හමුවේ පැවැතුණේ ඉතා විශාල වූ වගකීම් රැසකි. එසේම අභියෝග කිහිපයක්ම ජයගත යුතු ඉලක්ක අතර විය. යුද ගිනි ඇවිලිනු රටක, යුද්ධය නිමා කර සාමය ස්ථාපිත කිරීම, රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට සහන සැලසීම එතුමා හමුවේ පැවැති ප්‍රධානතම අභියෝගයයි.

මේ සියල්ල නිසි අයුරින් ඉටු කරන්නට ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු විය. එය මේ ආකාරයෙන් ඉටු කරන්නේ යැයි ජනතාව වෙත ප්‍රකාශ කිරීමට “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීය.

ජනතාව විසින් එය අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින්, මහින්ද චින්තන ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක කිරීමට එතුමා භාග්‍යවන්ත වූයේ ජනතාවගේම ආශිර්වාදයෙනි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවිය බාර ගන්නා මොහොත වන විට, රටේ රාජ්‍ය අංශය බොහෝ දුර්වල මට්ටමක පැවතුනි.

විවෘත ආර්ථිකයත් සමඟ පෞද්ගලික අංශය තරග කරමින් ඉදිරියට ගමන් කිරීමට තිබූ නොහැකියාවෙන් රාජ්‍ය අංශ බොහෝමයක් ගරා වැටෙමින් තිබුණි.

විටන් විට බලයට පත් වූ රජයන් මඟින් එකින් එක පෞද්ගලීකරණය කරමින්, රාජ්‍ය අංශය විනාශයේ ආසන්න තත්ත්වයේ පසුවිය. 2005 වන විට එලෙස අවසන් හුස්ම පොද හෙළන්නට ඒ තත්ත්වයේ පසුවූ රාජ්‍ය ආයතන කිහිපයක්ම පැවැතුනි.

පසුගිය දශක කිහිපය පුරා, රාජ්‍ය අංශය විනාශවෙමින්, එය අවසන් වී යන තත්ත්වයකට පත්වුණු අවස්ථාවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන පුනර්ජීවන වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය අංශ පුනර්ජීවනයක් ලබමින් ශක්තිමත් වූ බව අප කවුරුත් දන්නා සත්‍යයකි.

එතුමා සිය ඉලක්කයන් සපුරා ගැනීම පිණිස නිවැරැදි නායකත්වයක් සියලු දෙනාටම ලබා දුන්නේය. සේනාධිනායකයා ලෙස යුද්ධය ජය ගන්නට වෙහෙසෙමින් රට සංවර්ධනය කරන්නට ද ඒ හා සමානව කැපවීමෙන් ක්‍රියා ;කළේය. ඒ, නිවැරැදි නායකත්වය හේතුවෙනි. ජනාධිපතිතුමා යුද්ධය ජය ගත්තේය. නිවැරැදි නායකත්වය විසින් සියල්ලම මෙහෙයවනු ලැබීය. කොපමණ දක්ෂ නැට්ටුවන් සිටියත් වැඩක් නැත.

ඔවුන්ට නටන්නට වේදිකාවක් අවශ්‍ය ය. ජනාධිපතිතුමාගේ ඒ නායකත්වය, සෑම දෙනාටම රිසි සේ ශිල්ප දක්වන්නට වේදිකාවක් තනා දුන්නේය. එතුමා යුද්ධය සිදු කෙළේ දුර දක්නා නුවණින් ය. වසර තිහක ශාපලත් යුද්ධය නිමා කරන්නට හැකි වූයේ ඒ නිසා ය.

සියලු බාධක ජය ගනිමින් එතුමා අපේ රට බේරා ගන්නට අවශ්‍ය නායකත්වය ලබා දුන්නේය. යම් ක්‍රියාවලියක් සාර්ථක වීමට පැහැදිලි දැක්මක්, නායකත්වයක් අවශ්‍ය ය. ඒවා ක්‍රියාත්මක කරන්නට ශක්තිමත් කොඳු නාරටියක් අවශ්‍ය ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය ජය ගත්තේ, සියලු දේ සාර්ථක වූයේ මේ හේතුව නිසා ය.

රට, ජාතිය ගැන පැහැදිලි දැක්මක්, හැඟීමක්, එතුමා තුළ ඇති නිසාත්, තීන්දු තීරණ ගැනීමේ දී ඇති ඍජු බවත් නිසා ජයග්‍රහණ අත්පත් කර ගන්නට එතුමාට හැකිවිය. ශූර දේශපාලන නායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට පවා යුද්ධයේ දී මෙල්ල කළ නොහැකි වූ විදේශ බලවේග, ඔහු විසින් මිත්‍රශීලීව මෙල්ල කර ගත්තේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බලපෑම් එල්ල කරන්නට කිසිදු බලවේගයකට හැකියාවක් ලැබුණේ නැත. එතුමාට ඍජු තීරණ ගත හැකි නොනැමෙන සුළු ශක්තිමත් නායකත්වයක් තිබුණේය. යුද, ගුවන්, නාවික, යුද හමුදා සහ පොලිසිය දායක කර ගෙන, ඔවුනට නිතර නිතර උපදෙස් දෙමින්, අවශ්‍ය යුද උපකරණ ලබා දෙමින් කිසිදු බලවේගයකට යටත් නොවී යුද්ධයට නිසි නායකත්වයක් දුන්නේය. එතුමා ජයග්‍රහණය ලැබුවේ, එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

යුද්ධයට නායකත්වය දෙමින් යුද්ධය ජයගත්තා සේම, රාජ්‍ය ආයතනයන්හි පරිපාලනයට උපදෙස් හා නායකත්වය සපයමින් ඒවා ගොඩනඟන්නට ද එතුමා කැපවී ක්‍රියා කළේය.

ජාවාරම්කරුවන් විසින් ගිලගෙන තිබූ සහ ගිල ගනිමින් තිබෙන රාජ්‍ය ආයතන නැවත ගොඩනඟන්නට මහින්ද චින්තන වැඩපිළිවෙළට හැකියාව ලැබිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රඟ දක්වන්නට වේදිකාව තනා දී බලා සිටියේ ද නැත.

කළ යුතු, නොකළ යුතු දේ සුදුසු, නුසුදුසු දේ එතුමා විසින් සොයා බැලුවේය. සියලු ශක්තීන් නිතර නිතර ලබා දුන්නේය. ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායම විනාශ කිරීමේ යුද්ධයට අභීත නායකත්වය දෙන ගමන්ම, ආයතන ශක්තිමත් කරමින්, රාජ්‍ය අංශ ශක්තිමත් කිරීමට පැහැදිලි කාල වේලාවක් එතුමා විසින් වෙන් කරගෙන සිටීම පුදුමයට පත් කරවන සුළුය.

රාජ්‍ය අංශය ශක්තිමත් වන විට, මහින්ද චින්තනය බලාපොරොත්තු වූ, තවත් එක් කාරණයක් ඉබේම ඉටු විය. ඒ, රාජ්‍ය සේවය සුරක්ෂිතතාවයි. රාජ්‍ය අංශය වර්ධනය වෙද්දී එහි ප්‍රතිලාභ ලැබුණේ එහි සේවකයන්ටය. එක් දෙයක් ඉෂ්ට කරද්දී කාරණා කිහිපයක් ඉෂ්ටවීම ද සුවිශේෂී දෙයකි.

සේවක සුරක්ෂිතතාව, ජනපතිවරයාට අවශ්‍යම කර තිබූ දෙයකි. ජනහිතකාමී නායකයෙක් ලෙස, හිටපු කම්කරු ඇමැතිවරයා ලෙස, හිටපු වෘත්තීය සමිති නායකයෙක් ලෙස, ඔහුට අවශ්‍ය කර තිබුණේ ද වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතතාවයි. අද රටේ ජනනායකයා ලෙස ද ඔහුගේ එම අභිලාෂයන් වෙනස් වී නැත.

සිදු වී ඇති එකම වෙනස එදාට වඩා අද එතුමා වැඩිපුර වැඩ කළ හැකි පුද්ගලයෙකු බවට පත්වීමයි. යුද්ධය ජය ගන්නා ගමන්, රාජ්‍ය අංශය ශක්තිමත් කරන ගමන්, ආර්ථිකය ශක්තිමත් කිරීමත්, සංවර්ධන ඉලක්කයන් ජය ගැනීමත් ඔහු විසින් කර තිබේ. දේශීය ගොවියාට, කර්මාන්තකරුවාට සහන සලසමින්, අපේකම සමඟ මුහුන් වූ ආර්ථිකයක් ගොඩනඟන්නට එතුමාට හැකි විය. ජාත්‍යන්තර වෙළෙඳාම් හැසිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා තුළ පුළුල් දැක්මක් තිබේ.

ආයෝජන සඳහා බටහිර රටවල් දෙස පමණක් බලා නොසිට කිසිවෙකුගේ අවධානය දිනා නොගත් කලාපීය රටවල් ආයෝජනය සඳහා කැඳවා ගැනීම ද සුවිශේෂත්වයකි. නේපාලය, බුරුමය, වියට්නාමය වැනි රටවල්, රටේ ආයෝජන සඳහා කැඳවා ගැනීම ද එතුමාගේ ශූර නායකත්වයේ කැපී පෙනෙන ලක්ෂණයකි. රට තුළ ක්‍රියාත්මක, ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව කෙටි උදාහරණයක් තිබේ.

2008 වසරේ ඇතිවූ ලෝක ආහාර හා බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව නොසැලී සිටීම එම උදාහරණයයි. කලාපීයව බලවත් චීනය, ඉන්දියාව වැනි රටවල් පවා අර්බුදයට පත්වෙද්දී ජනතාවට එය දැනුනේවත් නැත. ඒ මෙරට ආර්ථික ප්‍රතිපත්තියේ ඇති පැහැදිලි බවයි.

ඒ ආකාරයෙන් බලනකල, මේ රටේ ජනතාව අතර මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය නායකයන් අතර ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉතිහාසය නැවත ලියමින්, කිසිදාක නොකළ හැකියි විශ්වාස කළ බොහෝ දේ කරමින් ආදර්ශවත් නායකයෙකු ලෙස එතුමා අප සැමගේ ජනාදරයටත් ගෞරවයටත් පාත්‍ර විය.

ජනාධිපතිතුමා ඒ ආකාරයට රාජ්‍ය අංශය ශක්තිමත් කරමින්, රාජ්‍ය සේවක සුරක්ෂිතභාවය ආරක්ෂා කරද්දී, රාජ්‍ය සේවකයාට ද ඉහළ වගකීමක් තිබේ. ඒ, ඉතා හොඳින් තම රාජකාරිය කරමින්, තම ආයතන ගොඩනැඟීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි.

වැඩ වර්ජන කිරීම් වලට වඩා තම ආයතන දියුණු කිරීමෙන් තමන්ට බොහෝ ප්‍රතිලාභ ලැබෙන බව සේවකයන් මෙන්ම වෘත්තීය නායකයන්ද සිහියට ගත යුතුය.

තම රැකියාවට සුරක්ෂිතභාවයක්, උසස් තත්ත්වයක් ලබා ගැනීමට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම තරම් වෙනත් මඟක් නැත.

ජනපති පදවි ප්‍රාප්ත වී වසර හතරක් ගතවූ කළ, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට සහතික කර ඇත.

දිනෙන් දින රට තුළ ඇති වූ ත්‍රස්තවාදී ක්‍රියා අද දකින්නට නැත. රටේ වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී. රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන, මහා මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දිනෙන් දින රට, සංවර්ධිත ඉලක්ක කරා ගමන් කරමින් පවතී.

ආදරණීය මාතෘ භූමියට සේවය කරන්නට ඔබට ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවා!

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්