ගත වූ සිවු වසර තුළ පොල් රුප්පාවත් - තල් රුප්පාවත් එකට යා වුණු වගයි...

ගත වූ සිවු වසර තුළ පොල් රුප්පාවත් - තල් රුප්පාවත් එකට යා වුණු වගයි...

පොල් රුප්පාවත් – තල්රුප්පාවත් එකම සහෝදර බැම්මකින් බැඳිය යුතුය. පුරා දශක තුනක් තිස්සේ පැවැති මහා විඬාශකාරී යුද්ධය නිසා මේ බැඳී ම පළුදු වී ගොස් තිබුණි.

එකම රටක් එකම ජාතියක් – එකම කොඩියක් යන සිතුවිල්ල ඔස්සේ ශ්‍රී ලාංකේයීය ජාතිය එක් මිටකට ඒකාරශී කිරීම අපගේ යුග මෙහෙවර වී තිබේ. මේ යුග මෙහෙවර මැනැවින් හැඳින ගත් රජය ගත වූ සිවු වසර ඇතුළත දකුණු ලක – යාපා පටුන හා නැඟෙනහිර බිම් එක බැම්මකින් බැඳීමට පියවර ගණනාවක් ගනු ලැබීය. සිංහල, දමිළ, මුස්ලිම් , බර්ගර්, මැලේ ජාතිකත්වයන් සහෝදර බැඳීමෙන් ගැට ගැසීමට විවිධ පියවර ගත්තේ ය.

ඒ පියවර අතර මුල් තැන ගනු ලබන්නේ තිස් වසරක් පැවැති මහා විනාශ කාරී යුද්ධය නිමා කිරීමට ගත් අභීත ක්‍රියාදාමය වේ.

වසර 2006 ජූලි 26 වැනිදා මාවිල් ආරු සොරොව්ව වසා දැමූ කොටි ත්‍රස්තවාදීහු , සිංහල, දෙමළ, මුස්ලිම් පනස් දහසකට වැඩි ජනතාවක් පීඩාවට පත් කළේ ය. ඒ බීමට, නෑමට හා ගොවිතැනට අවශ්‍ය ජලය ලබා නොදීමෙනි’ කුඹුරු අක්කර තිස් දහසක පැල ගොයමට ඉතාම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවිය. ඒ පැල ගොයමස අස්වනු බවට පෙරළීමට නැතිනම් බණ්ඩි ගොයමට ජලය නොලද බැවින් මැරී ගියේ ය.

ජනාධිපතිතුමා කිලිනොච්චියට ගිය අවස්ථාවක සහෝදර ද්‍රවිඩ ජනතාවගේ සුවදුක් විමසමින්....

අල්ල කන්තලේ පාරේ කල්ලාර් හන්දියට කි. මී. 5 ක් බටහිරින් පිහිටි මාවිල් ආරුව සොරොව්ව වසා දමා

ගොවි ජනතාව පීඩාවට පත් කළ කොටිනගේ ම්ලේච්ඡත්වයට කුරිරු කම් වලට තවදුරටත් ජනතාව පාගා සිටීමට ඉඩ හැරීම වගකිවයුතු රජයක ක්‍රියාදාමය නොවේ.

ඒ නිසා ගොවි ජනතාව හා වගා බිම් වෙත නිදහස උදා කිරීමට රජය මාවිල් ආරුව පාදක කොට මානුෂීයිය මෙහෙයුම් ආරම්භ කෙළේ ය.

ජූලි මස 26 වැනිදා ඇරැඹි මේ මානුෂීයය මෙහෙයුම 2006 අගෝස්තු 8 වැනිදා වන විට හමුදාවෝ මාවිල් ආරු අමුණේ පළමු වන දොර විවෘත කිරීමට සමත් වූහ. ඔවුන් ඉන් නොනැවැති ඉදිරියට ඇදී ගියහ.

මාවිල් ආරුව බේරාගත් වීරෝදාර හමුදාවෝ ඉන් නොනැවැති මුළු නැඟෙනහිර පළාතම කොටි ග්‍රහණයෙන් නිදහස් කර ගැනීමටත්, ඉන් පසුව උතුරු පළාත ද කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමටත් සමත් වූයේ වසර තුන හමාරකටත් වඩා අඩු කාල සීමාවක් තුළදීය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් උතුරු - නැඟෙනහිර දෙපළාත යළි අප මවුබිමේ ම කොටසක් බවට පත් කැරිණි. අනතුරුව ‘’නැඟෙනහිර නවෝදය’’ නමින් නැෙඟනහිර පළාත් නැංවීමේ ද, ‘’උතුරු වසන්තය’’ නමින් උතුරු පළාත සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයට රජය පියවර තැබුවේ ය.

මානුෂීයිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතරම නැඟෙනහිර පළාතේ ජනතාවගේ සුබ සාධනය සහ සංවර්ධනය සඳහ රජය කටයුතු කෙළේ, කථා කරන භාෂාවෙන් කියනවා නම් ‘’ වෙඩි හඬ මැද සංවර්ධනය පළාතට ළඟා කරමිනි’’

නැඟෙනහිර පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන් විතය. අම්පාර , මඩකලපුව හා ත්‍රිකුණාමලය එම දිස්ත්‍රික්ක තුන වේ. නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ් තුන් වැදෑරුම් ක්‍රියාදාමයක් ඔස්සේ නැඟෙනහිර දියුණු කිරීමට පියවර ගත්තේ ය.

රජය නැඟෙනහිර නවෝදය’’ සහ ‘’උතුරු වසන්තය’’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනුයේ, බස්නාහිරට පමණක් සීමා වූ සංවර්ධනය රටේ සෙසු පළාත් වලද ඇති කිරීමේ අරමුණිනි. මේ ඒ දෙපළාතේ සිදුකරන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව කැරෙන විමසා බැලීමකි.

උතුරු - නැඟෙනහිර දෙපළාතේ සංවර්ධනය කිරීමේ සහ දියුණු කිරීමේ වඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරනුයේ ආරක්ෂාව තහවුරු කිරීම , සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම සහ ජනතාවගේ ආර්ථික සහ සාරධර්ම නඟා සිටුවීම යන කරුණු තුන මුල්කොට ගෙනය.

නැඟෙනහිර පළාත සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන සියලු ජාතිකත්වයන්ගෙන් සුසැඳී ජනතාවක් වාසය කරන, ඒවාගේම භෞතික සම්පත් අති විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන බිමකි’

විදේශීකයින් මෙරට පාලනය කළ සමයේ පටන් නැෙඟනහිර හා උතුරු පළාත් දෙකට හිමි වුයේ අඩු සැලකිලිය. රටපුරා විශාල පාලම්, බෝක්කු ඉදිකළ විදේශීකයෝ මේ දෙපළාතේ ඉඳි කළේ පාලම් පාරුය. වත්මන් රජය බලයට පත් වීමෙන් පසු පුදුමාකාර ලෙස මේ දෙපළාතේ මාර්ග, විදුලිබල, වරාය වැනි අංශවල දියුණුවක් සිදුකොට ඇත.

නිදහස ලබා දීමේ කෘතවේදිත්වය...

කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මේ දෙපළාත මුදා ගත්තායින් පසුව නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට රජය මූලික පියවර ගත්තේ ය. ඒ අනුව අලුතින් පොලිස් ස්ථාන පිහිටු වීම , දමිළ භාෂාව කථා කරන නිලධාරිහු වැඩි වශයෙන් ඒවායේ සේවයට යෙදවීම ඒ අතර කැපී පෙනේ.

ආරක්ෂාව උපරිම ලෙස සැපැයීම අරමුණින් රජය, ජාත්‍යන්තර රාජ්‍ය ;නාවන සංවිධාන, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා පසුව හමුදාවේ සහාය ඇතිව පළමුව විශාල කටයුත්තක් සිදු කෙළේ ය. ඒ නිදහස් කර ගත් ප්‍රදේශවල ජනතාව නැවැත පදිංචිකිරීමට පෙර වඩාත් සුරක්ෂිත කිරීමට ගත් පියවරක් විය. එනම් කොටි ත්‍රස්තවාදීන් විසින් වළලා දමා තිබූ බිම් බෝම්බ, මරඋඟුල් ඉවත් කිරීම වේ.

කොටින් විසින් වළලා දමා තිබූ බෝම්බ, පුද්ගල නාශක බෝම්බ හා මරඋඟුල් ගොවිබිම් වල පවා අතුරා තිබුණි. මේ බිම් සියල්ල නැවැත ප්‍රයෝජනය ගැනිමට හැකි වන සේ රජය බිම් බෝම්බ ඉවත් කෙළේ ය.

ඊට පසුව එක්සත් ජාතීන්ගෙන් සරණාගතයින් පිළිබඳව කොමිසම් සභාවේ සහතික ලබා එම බිම් නැවැත ජනාවාස සඳහා ලබා දීමට රජය ක්‍රියා කෙළේ ය.

උතුරු - නැඟෙනහිර දෙපළාතේ ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අවතැන්ව සුබසාධක මධ්‍යස්ථානවල කාලය ගත කෙළේ ය. මින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දැනටම සිය මුල්ගම් බිම් බලා පිටත් කොට හමාරය.

රජය ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම්, මහජන උපයෝගීතා පහසුකම් හා ජීවනෝපාය වැඩි දියුණුවට අවශ්‍ය සේවා කඩිනමින් ලබා දුන්නේ ය.

උතුරු - නැඟෙනහිර දෙපළාතේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ස්ථාපිත කිරීම යටතේ, පළමුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මහ නගර සභාව ඇතුළු එතෙක් පළාත් පාලන ආයතන මැතිවරණ පවත්වා නොතිබූ ආයතන 10 ක පුංචි ඡන්දය මීට වසර 1 1/ 2 පෙර පැවැත්වීය. ඉන් අනතුරුව ඉතිහාසයේ පළමු වතාවට නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීය.

නැඟෙනහිර පළාතේ ජනතාව අවුරුදු විස්සකට පසුව පළාත් සභා මැතිවරණයකට ඡන්දය පාවිච්චි කිරීමට වාසනාවන්ත වූහ. මෙරට ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස එ. ජා. ප ආණ්ඩුව විසින් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය මෙතෙක් නිල මැතිවරණ පවත්වා ක්‍රියාත්මක වීමක් සිදු නොවී තිබුණි. එම තත්ත්වයේ වෙනසක් සිදුවූවේ වත්මන් රජය යටතේ ය.

රජය එතැනින් නතර නොවි උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, මුලතිව්, කිළිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්ක පහේ ද සාමය ස්ථාපිත කළායින් පසුව, පළමුව යාපනය , වවුනියාව ඇතුළු පළාත් පාලන ආයතන දෙක පුංචි ඡන්ද පැවැත්විය. එවැනි ක්‍රියාමාර්ගයක් රජය ගනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජයේ ඇති කැමැත්ත හා උවමනාව ලොවට කියා පාමිනි.

මේ සියලු කරුණු සපුරා ගන්නා අතර රජය මේ දෙපළාතේ ජීවත් වන ජනතාවගේ් ජීවනෝපාය සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කෙළේ ය. ශ්‍රි ලංකා මහ බැංකුවේ මෙහෙයවීම යටතේ මෙරට ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික අංශ බැංකු හරහා උතුරු - නැඟෙනහිර සුළු හා මැදි පරිමාණ කර්මාන්තකරුවන්ට, ගොවීන්ට , ධීවරයින්ට බැංකු ණය ලබා දීමට පියවර ගත්තේ ය.

ඉතා අඩු පොලී අනුපාත යටතේ , සරල කොන්දේසි සහිතව මේ ණය මුදල් ලබා දීමට මහ බැංකුව නිරන්තරයෙන්ම වග බලා ගත්තේ ය.

ලොව ඕනෑම රටක් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට නම්, මාර්ග , විදුලිබල , සන්නිවේදන , ජල සම්පාදන, වාරිමාර්ග , වරාය වැනි ආර්ථික යටිතල පහසුකම් වල දියුණුවක් සිදුවිය යුතුය. නිවාස , සෞඛ්‍ය , අධ්‍යාපන වැනි සමාජ සංවර්ධන, මහජන උපයෝගිතා පහසුකම් නැංවිය යුතුය. එපමණක් නොව සුහද හදක් හා ගුණයහපත් සමාජයක් බිහි කිරීමට අධ්‍යාත්මික සංවර්ධනයක් ජන හදවත් වල ඇති කිරීමට රජය පියවර ගත්තේ ය.

බෞද්ධ , හින්දු, කතෝලික හා ඉස්ලාම් යනාදි සර්ව ආගමික නායක ප්‍රසාද ප්‍රසාදීන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය.

රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ජාලය ශක්තිමත් කොට ජනතාවට ලැබෙන පහසුකම් ඉහළ නැංවීමට දින 180 කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කෙළේ ය.

උතුරු - නැඟෙනහිර පළාත් වල ජනතාවගේ උප්පැන්න – මරණ , විවාහ සහතික ලබා ගැනීම පටන් පුරවැසි හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර රියදුරු බලපත්‍ර යනාදිය කඩිනමින් ලබා දීමට ඉන් පියවර ගැනිණි. මෙරට ක්‍රියාත්මක මහජනතාවගේ එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීමට සෘජුවම බලපාන අමාත්‍යාංශ 50කට වඩා එක ස්ථානයකට රැස්ව ජනතාවගේ ප්‍රශ්න වල කඩිනමින් විසඳුම් ලබා දීම මේ වැඩපිළිවෙළ මඟින් සිදුවිය.

උතුරු - නැඟෙනහිර නැංවීම කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන ලෙස පියවර තුකට සැලැසුම් කළ රජය, ඒ කාල පරිච්ඡේද වල ජනතාවට දැනෙන ලෙස සංවර්ධන වැඩ ක්‍රියාත්මක කෙළේ ය.

උතුරු - නැඟෙනහිර දෙපළාතේ අවුරුදු 30ට වඩා වැඩි කාලයක් වී වගාව ඇතුළු සෙසු බෝග වගා නොකොට පුරන්ව පැවැති අක්කර ලක්ෂ පහකට වඩා නව වැඩපිළිවෙළ දෙකින් වගා කිරීමට පියවර ගත්තේ ය. ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබා දීම, බීජ වර්ග ලබා දීම, වෙළෙඳපොළ ප්‍රශ්න විසඳීම , ගබඩාකරණය, ප්‍රවාහනය වැනි පහසුකම් ඉහළ නැංවීම සිදුකැරිණි.

ධීවර ජනතාවට අඩු මිලට ධීවර යාත්‍රා, උපකරණ ලබා ගැනීමට මූල්‍ය පහසුකම් නැංවීම , ධීවර අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යෑමට සීතාගාර සහිත රථ වාහන ලබා දීම සිදු කැරිණි. කැඩී බිඳී ගිය රෝහල්, පාසල්, නිවාස , රාජ්‍ය නිලධාරින්ගේ නේවාසිකාගාර නිවාස යනාදිය අලුත්වැඩියා කිරීමට රජය අමතක නොකළේ ය.

අලුතින් වගාවට බිම් සූදානම් කිරීමේ දී ඊට අවශ්‍ය වාරි ජලය හා අලුත්බීජ ලබා දීමට රජය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ‘’ අපි වවමු - රට නඟමු’’ දේශීය ආහාරවලින් රට ස්වයංපෝෂිත කිරීමේ තුන් අවුරුදු වැඩපිළිවෙළට පු‍්‍රළුල් ලෙස දායක වෙමිනි.

මේවා සියල්ල කෙටි කාලීන හා මැදි කාලීන සංවර්ධන ක්‍රියාදාමය ඔස්සේ ක්‍රියාත්මක කළ රජය දිගු කාලීන සංවර්ධන වැඩපිළිවෙළ යටතේ අංශ 13ක සංවර්ධනයක් සිදු කිරීමට මුලපුරා ඇත. මහා මාර්ග හා ප්‍රවාහන, වරාය, ජල සම්පාදන , සනීපාරක්ෂක, සෞඛ්‍ය , අධ්‍යාපන වෘත්තීය පුහුණුව විදුලිබල විද්‍යා හා තාක්ෂණ යනාදි අංශ ඒ අතර ප්‍රධාන වේ.

නැගෙනහිර පළාත ලෝකයේ සියලු නගර, වෙත සමීප කරවීමට මග පාදමින් රජය ජාත්‍යන්තර මට්ටමේ වරාය ඇතුළු ගොඩබිම් මාර්ග දියුණු කිරිමට ක්‍රියා කෙළේ ය.

ආරුගම්බේ පාලම, කින්නියා පාලම , ඔට්ටමාවයි පාලම, කෂ්ෂාර් පාලම ඇතුළු දැවැන්ත පාලම් 13 ක් ඇතුළු මධ්‍ය පරිමාණ පාලම් 50 කට වඩා නැඟෙනහිර පළතේ නවීකරණය කොට ජනතා අයිතියට භාර දීමට රජය ක්‍රිය කෙළේ ය.

මන්නාරම, මුලතිව් , කිලිනොච්චිය, වවුනියාව හා යාපනය දිස්ත්‍රික් පහේ කුඩා හා මැදි පරිමාණ වාරි යෝජනා ක්‍රම මහා පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීම ක්‍රියා කරමින් සිටින රජය ඒ සඳහා ඉදිරි වසර කිහිපය තුළ රුපියල් කෝටි 4000 –5000 අතර මුදලක් අයෝජනය කිරීමට සැලසුම් කොට තිබේ. වාකරේ වැනි අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පාසල් පද්ධතිය වඩාත් පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත් කිරීමට රජය ක්‍රියා කළේ පහත් ප්‍රජාවගේ ප්‍රසාදය පවා හිමිකර ගනිමිනි.

ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ අලුතින්ම ගල් අඟුරු බලාගාරයක් ඉඳිකිරීම, ත්‍රිකුණාමලය වරාය වැඩිදියුණු කිරීම, ඒ පළාතේ අලුතින්ම කර්මාන්ත පුර ස්ථාපිත කිරීම දැන් අරඹා තිබේ.

ඊට අමතරව උතුරු - නැඟෙනහිර දෙපළාතේ සෑම නගරයක්ම දියුණු යටිතල පහසුකම් සහිත නගර බවට වැඩි දියුණු කිරිමට රජය ක්‍රියා කරමින් සිටියි.

සංචාරක හා භෞතික සම්පත් වැඩිදියුණු කිරීම් ඔස්සේ මේ දෙපළාතේ ජනතාවගේ අතමිට සරු කිරීම රජයේ බලාපොරොත්තුවයි. කොටි ත්‍රස්තවාදීන් විසින් රටේ මුළු බිම් සම්පතින් තුනෙන් දෙකක් නතු කොට ගෙන සිටියදී අපට දියුණුව කරා යාමට තිබූ මංපෙත් ඇහිරිණි.

මේ වන විට එවැනි බාධා කිසිවක් නොමැති බව හේතු කොට වඩාත් දීප්තිමත් අනාගතයක් උතුරු - නැඟෙනහිර ළමා පරපුරට උරුම කිරීමට ඉඩකඩ ලැබී තිබේ. මේ උදාවි ඇත්තේ ඒ ස්වර්ණමය යුගයයි.

මේ උදා වූ එවන් වටිනාකම් සහිත යුගයේ නවෝදයේ නියමුවා වනයේ අතිගරු ජනාධිපතිතුමාය. එතුමා අභීත රණවිරුවන්ට නිසි නියෝග හා උපදෙස් ලබා දුන්නේ නියම නායකයෙකු පරිද්දෙනි.

ජනාධිපති උපදේශක හා උතුරු වසන්තය ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පාර්ලමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මේ දෙපළාත නැංවීමට ගන්නා උත්සාහය කිසිදා අමතක කළ නොහැකිය. රජය, දේශපාලන අධිකාරිය , මහජනතාවගේ සේවකයන් වන රාජ්‍ය අංශ නිලධාරිහු ඒකා මෙන්ම එකට එක්ව උතුරු - නැඟෙනහිර නංවන අයුරු දකින ගනේෂන්ලා, සරෝජනිලා, වඩාත් සතුටින් ඒ දෙස බලා සිටිනවා නිසැකය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්