සන්ධාන නායක ප්‍රතිචාර

සන්ධාන නායක ප්‍රතිචාර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිව්වන පදවි ප්‍රාප්තියත් එම සිව් වසර තුළ ජනාධිපතිතුමා ඉටුකර තිබෙන යුග කාර්යය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීහු දැක් වූ අදහස් පහත දැක්වේ.

 ජනාධිපතිතුමාගේ සේවයඉදිරියටත් රටට අවශ්‍යයයි

ජනමාධ්‍ය , තොරතුරු ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා

අවුරුදු තිහක් පුරා අපේ රටට ලොකුම විනය වෙලා තිබුණේ ත්‍රස්තවාදී යුද්ධය. අවුරුදු තිහක කාලයේදී බලයට ආපු ජනාධිපතිවරු අගමැතිවරු මේ ප්‍රශ්නය ජය ගන්නට සාමකාමීව උත්සාහ කළා.

ඒත් මේ සියලු උත්සාහයන් ගඟට කැපූ ඉණිවගේ නිශ්ඵල ප්‍රයත්න බවට පත් වුණා.

2005 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිතුමා පත්වනතුරු මේ තත්ත්වය වෙනස් වුණේ නැහැ. ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුදු තුන හමාරක් යද්දී රටම වෙලාගෙන තිබූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වෙල්ලමුල්ල වයික්කාල් මුහුදු තීරයෙන් අවසන් කළා. ජනාධිපතිතුමා අවුරුදු හතරකදී සිදුකළ සේවයට මේ යුග කාර්ය භාරය වුණත් ප්‍රමාණවත්.

යුද්ධමය ජයග්‍රහණවලින් පමණක් නොවෙයි සංවර්ධනය පැත්තෙන් ආර්ථික සංවර්ධනය පැත්තෙනුත් විශාල සේවයක් සිද්ධ වුණා. මම රජයේ ඇමැතිවරයෙකු හින්දා කියන දෙයක් නෙමෙයි. රටේම ජනතාව පිළිගන්න සත්‍යයක්.

රටේ යුද වාතාවරණය නිමාවීමත් සමඟ ආයෝජන අවස්ථා රාශියක් අපේ රටට ලැබිලා තියෙනවා. දැනටමත් ආයෝජකයෝ රාශියක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා.

මේ සියලු කාරණා විමසා බලද්දී මට ස්ථීරවම කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ රටට විශාල සේවයක් සිදු වුණා කියලා. ඒ වගේම අනාගතයේදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේවය රටට අවශ්‍ය කරනවා.


 විපක්ෂයේ මතය රටේ ජනතාව පිළිගන්නේ නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ඩිව් ගුණසේකර

ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ රටට වැඩක් සිදු වුණේ නැහැ කියලා කවුරු හරි කියනවානම් ඒක පිළිගන්න අමාරුයි. ඔහුගේ් කාලයේදී ජනතාවගේ පැත්තෙන් සැලකිය යුතු කාර්ය භාරයක් ඉෂ්ඨ වුණා.

අපිට ඒ දේ එහෙම නෙමෙයි කියලා පිළිගන්න බැහැ. සමහර විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවෙන් වැඩක් වුණේ නැහැ කියලා කියනවා. ඒත් ජනතාව ඒක පිළිගන්නේ නැහැ.

මහජනතාව දන්නවා ජනාධිපතිතුමාගේ අවුරුදු හතරක කාලයේදී රටට ධනාත්මක සේවයක් ඉෂ්ඨ කලා විතරක් නෙමෙයි වර්ධනාත්මක ගමනක් සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා කියලා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ විදිහට අපි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන්නේ අපේ ප්‍රතිපත්තිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ ආණ්ඩුව විසින් අනුගමනය කරන හින්දා.

පුද්ගලිකරණය නතර කිරීම පමණක්ම වුනත් ජනාධිපතිතුමාගේ යහපත් ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් විදිහට හඳුන්වා දෙන්න පුලුවන්.


 ජනාධිපතිතුමාගේ ජනපි‍්‍රයත්වය එදාට වඩා අද වැඩියි

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ

මහින්ද රාජපක්ෂ මහතාට එදා ඉඳලාම තිබුණේ ප්‍රගතිශීලි වාමාංශික ඌරුවක්. ඒ නිසා ඔහුට හැකියාව ලැබුණා ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවගේ ප්‍රශ්න හඳුනාගැනීමට.

ජනතාවගේ පැත්තේ සිටගනිමින් ජනතාව සමඟ කටයුතු කළ නිසා තමයි ඔහුට ජනාධිපතිධූරය දක්වා පැමිණීමට ජනතා ආශිර්වාදය ලැබුණේ. ඔහු එදාමෙන්ම අදත් ජනතාව සමඟ සිටිමින් ඔවුන් වෙනුවෙන් නායකත්වය ලබා දෙනවා.

ඒ නිසා තමයි බලයට ඇවිල්ලා අවුරුදු හතරක් ගත වෙද්දීත් ජනාධිපතිතුමාගේ ජනපි‍්‍රයත්වය තව තවත් ඉහළ යමින් තිබෙන්නේ.

යුද්ධයේ ජයග්‍රහණයෙන් පස්සෙ රටේ අලුත් සමාජ වටපිටාවක් ඇතිවෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාට තමයි වර්තමානයේ ජනතා අපේක්ෂා තේරුම් අරගෙන කටයුතු කරන්න පුලුවන්කම තියෙන්නේ.

ඒ වගේම තවදුරටත් එතුමාගේ නායකත්වය ජනතාව විසින් පිළිගන්නවා. කුමන අභියෝග ප්‍රශ්න ආවත් මෙරට ප්‍රගතිශීලි ජනතාව තුළ එතුමා ගැන තාමත් බලාපොරොත්තු හා විශ්වාසය නැතිවෙලා නැහැ. ඒ නිසා අද පමණක් නෙමෙයි ඉදිරි අවුරුදු හයෙත් ජනාධිපතිධූරය රාජපක්ෂ මහතාටම ජනතා ආශිර්වාදයෙන් හිමි වෙනවා.


මහින්ද නාමය ඉතිහාස ගතයි

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නියෝජනය කරන පුද්ගලයෙකු ලෙසත් 2005 දී රාජපක්ෂ මහතා ජනපතිධූරයට පත් කිරීමට කටයුතු කළ දේශපාලන පක්ෂයක් විදිහටත් අපි මේ මොහොතේදී ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා.

2005 දී අපි බලාපොරොත්තු වුණාටත් වඩා විශාල සේවයක් ඔහු ජනාධිපතිධූරයට පත් වූ අවුරුදු හතරෙදි සිදුවෙලා තියෙනවා. යුද්ධය නිමා කිරීම පමණක්ම වුනත් ජනාධිපතිතුමා ඉෂ්ඨ කළ අතිවිශිෂ්ට සේවයක්.

මගේ අදහසේ හැටියට තවත් අවුරුදු සියයක් ගත වුනත් මහින්ද කියන නම මේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රයෙන් මකා දමන්න බැහැ. ඒ තරමටම එතුමා ඉෂ්ඨ කළ සේවය අති විශිෂ්ටයි.

 


අපේ රටට හොඳ වටිනාකමක් ලැබුණා
 

දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක ආර්.එම්.පොඩිඅප්පුහාමි

හැමදාම ප්‍රගතිශීලිපිල නියෝජනය කළ කෙනෙකු විදිහට අපිට ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ගැන ලොකු පැහැදීමක් වගේම බලාපොරොත්තුවක් තියෙනවා. අපේ පක්ෂය 1992 ඉඳලා පොදු පෙරමුණට වගේම නිදහස් සන්ධානයටත් සහයෝගය පළ කළා. අද වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපේ බලාපොරොත්තු සහ සහයෝගයට හොඳ අගයක් ලබාදීලා තියෙනවා.

අපිටත් අද සතුටු වෙන්න පුලුවන් රට බේරා ගැනීමේ සටනේදී අපටත් දේශපාලන කොටස් කාරයෝ වෙන්න පුලුවන් වුණා කියලා. ඒ වගේම අනාගතයටත් රටට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය අත්‍යවශ්‍ය වෙනවා.


ජනාධිපතිතුමා සෘජු නායකයෙක්

ජා.නි.පෙ.සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කිරීමට ලබා දුන්න ඍජු නායකත්වය පමණක්ම වුණත් ඇති ඔහු අවුරුදු හතරකදී සිදුකළ සේවය අගය කිරීමට.

යුද්ධය විජයග්‍රහණය ලැබීමට ආසන්න මොහොතේදී විදේශ බලවේග, රාජ්‍ය නොවන සංවිධාන වලින් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල වුණා. වෙනත් නායකයෙක් නම් මේ තරම් විශාල පීඩනයක් එද්දී ඒ පීඩනයට නතු වෙනවා.

ඒත් මහින්ද රාජපක්ෂ චරිතය ඒ විදිහට නම්මන්න ලැබුණේ නැහැ. ඒ දේ පමණක්ම වුනත් මහින්ද චරිතයේ සුවිශේෂත්වයට හොඳම උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුලුවන්.

අද මහින්ද රාජපක්ෂ මහතාටත් ඔහුගේ සංකල්ප වලටත්, නිදහස් සන්ධාන ආණ්ඩුවටත් විරුද්ධවත් සුවිශාල කුමන්ත්‍රණ රැල්ලක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේදී ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට එක්විය යුතුයි.

එහෙම නොවුනොත් පසුගිය අවුරුදු හතරේදී ලැබූ ජයග්‍රහණ සියල්ල ආපසු හැරවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි මේ මොහොතේදී ජනාධිපතිවරයාට, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට විරුද්ධව සිදුවන කුමන්ත්‍රණ ජනතා සහයෝගයෙන් පරාජය කළ යුතුයි.

රටට තවදුරටත් ජයග්‍රහණ ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණයි.


නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන ඇමැති මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන

කළ සේවය අමරණීයයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවුරුදු හතරක් වූ කාලය ඇතුළතදී රටට විශාල සේවයක් සිදුවෙලා තියෙනවා. සමහරු අද ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ මවන්න උත්සාහ කරනවා.

මොන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුනත් ඒ සියල්ල පරාජය කරමින් ජනාධිපතිතුමා ඉතාමත් හොඳ සේවයක් දේශප්‍රේමීත්වයෙන් යුතු මෙහෙවරක් ඉෂ්ඨ කරලා තියෙනවා.

යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් නොනැවතී සිංහල දෙමළ මුස්ලිම් සමඟිය තහවුරු වන ආකාරයට අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.

මේ සියල්ල එක්ව ගත්තහම අවුරුදු හතරක් වගේ ඉතාමත් කෙටි කාලයකදී ජනාධිපතිතුමා ඉෂ්ඨ කළ සේවය අමරණීයයි කියන එක අතිශයෝක්තියෙන් කියන දෙයක් නෙමෙයි.

 


අපි දිගටම ජනාධිපතිතුමා සමඟයි

තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන ඇමැති ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන්

මහින්ද රාජපක්ෂ පළමු ජනාධිපතිවරණයට තරඟ කරද්දී අපි සහයෝගය ලබා දුන්නේ එතුමාට නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහතාටයි. අපි එතුමාට සහයෝගය පළ කළත් ඔහුට මැතිවරණයෙන් ජයගැනීමට පුලුවන් වුණේ නැහැ.

අපි ඉන්පසු තීරණය කළා ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න. ඔහුත් සමඟ එකට වැඩ කරද්දී තමයි ජනාධිපතිතුමාගේ නායකත්වයේ විශිෂ්ටත්වය දැක ගන්න ලැබුණේ.

එතුමා පසුගිය අවුරුදු තුනේදී වතුකරයේ ජනතාවට විශාල සේවයක් සිද්ධ කරලා තියෙනවා. ඒ ගැන වතුකරයේ ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයේ නායකයා විදිහට ඔහුට ස්තූතිය පළකළ යුතුයි.

 

 


දෙමළ ජනතාවට සැලකුවා

ප්‍රජාසංවර්ධන හා සමාජ විෂමතා දුරැලීමේ අමාත්‍ය කඳුරට ජනතා පෙරමුණේ නායක ඇමැති පී. චන්ද්‍රසේකරන්

කඳුකරයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.

ඒ ප්‍රශ්නවලින් සැලකිය යුතු ප්‍රමාණයකට ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසඳුම් ලබාදීලා තියෙනවා.

නිවාස ප්‍රශ්න, වැටුප් ප්‍රශ්නවලට ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් සුබදායි පිළිතුරක් විසඳුමක් ලබා දී තිබෙනවා.

අපි කඳුරට ජනතා පෙරමුණ විදිහට ජනාධිපතිතුමාගේ හතරවෙනි පදවි ප්‍රාප්තියට සුබ ප්‍රාර්ථනා කරනවා.

 

 

 


මුස්ලිම් ජනතාවට එතුමා හිතවත්

ජල සම්පාදන හා ජලාපවාහන පළාත් ඇමැති ජාතික කොංග්‍රසයේ නායක ඇමැති ඒ.එල්.එම්.හිස්බුල්ලා

ජනාධිපතිතුමා මුස්ලිම් ජනතාවට ලොකු සේවයක් කරලා තියෙන්නේ. එදා ඉඳන්ම ජනාධිපතිතුමා මුස්ලිම් ජනතාව සමඟ මුස්ලිම් ජනතාවට හිතවත්ව කටයුතු කළ නායකයෙක්.

නැඟෙනහිර නවෝදය වැඩපිළිවෙළ යටතේ අපේ පළාත්වලටත් විශාල සේවයක් සිදු වුණා.

සංවර්ධන මට්ටමෙන් පහළ තලයක තිබූ නැඟෙනහිර ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් පසුගිය අවුරුදු හතරේදී ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සිද්ධ කරලා තියෙන්නේ.

මුස්ලිම් ජනතාවට පමණක් නෙමෙයි සමස්ත රටටම එතුමා ලොකු සේවයක් සිද්ධ කළා.

අද සිංහල, දෙමළ , මුස්ලිම් ජනතාව යුද බියකින් තොරව ජීවත්වීම පවා ජනාධිපතිතුමාගේ කැපවීම හා මෙහෙයවීම නිසා තමයි අද රටම නිදහසේ හුස්ම ගන්නේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්