ඔබ ජනපති නොවුණේ නම් අපට රටක් නැත

ඔබ ජනපති නොවුණේ නම් අපට රටක් නැත

‘මගේ සිහිනය නිවහල් ජාතියකි. නිල්ල පැතිරුණු රටකි. අටුකොටු පිරුණු හෙටකි. දැහැමි මිනිසෙකි. සිහල, දමිල, මුස්ලිම්, බර්ගර් ලක්මවගේ සියලු දරුවන් අපේක්ෂා දැල්වුණු දෑසින් අප දෙස බලා සිටින බව මම දනිමි. ඒ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කළ හැකිය. ඒ විශ්වාසය මා සතුව තිබේ. නිසැකවම මම එය ඉටුකරන්නෙමි.’

හරියට ම මෙයට සිවු වසරකට පෙර අපේ ආදරණීය මාතෘ භූමිය ශ්‍රී ලංකාද්වීපය ඉතිහාසයේ තීරණාත්මක කඩඉමකට පැමිණ සිටියේ ය.

විජාතික බලවේග රටත්, ජනතාවත් ගිල ගැනීමට මාන බලමින් සිටි මොහොතක මේ පින් බිමත්, ජනතාවත් බේරාගැනීමට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා මාතාවගේ සුජාත පුත්‍රයෙකි. දකුණේ ගිරුවාපත්තුවෙන් උපන් මහින්ද රාජපක්ෂ නම් ජනතාවගේ මිනිසා නොවන්නට අද අපට කියා රටක් ඉතිරි නොවන්නට තිබුණි.

2005 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණ ගල උඩ සටනින් විජාතික නඩය පරාජය කර රට දිනාගත් මැදමුලන උපන් මේ ජනහිතකාමියාට ගත වූ වසර හතර තුළ මුහුණදීමට සිදුවූයේ සුළුපටු අභියෝගවලට නොවේ.

සැමදා අභියෝගවලට ප්‍රේම කළ ජනතාවගේ මිනිසා වසර 30ක් තුළ රට විනාශයෙන් විනාශයට පත් කළ රුදුරු කොටි ත්‍රස්තවාදයට මුහුණ දුන්නේ සැබෑ සිංහයකු විලසිනි.

සේනාධිනායකයා ලෙස නිවැරැදි නායකත්වය දෙමින් කොටි ත්‍රස්තවාදයට මුහුණදුන් මේ අභීත මිනිසා, කිසිවකු නොසිතූ පරිදි ලොවම විස්මයට පත් කරමින් වසර 30ක කොටි ත්‍රස්තවාදය විනාශ කෙළේ ය. ඒ ශ්‍රී ලංකා ධරනීතලය තුළ උපන් එකම සැබෑ රාජ්‍ය නායකයා තමා බව ඔප්පු කරමිනි.

කොටි ත්‍රස්තවාදය විනාශ කළද, ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙස් - විදෙස් විජාතික නඩය මේ මොහොතේත් උත්සාහ කරනුයේ රට අරාජික කර තම පටු අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමටය. ඔවුන් ඒ සඳහා අවශ්‍ය ඕනෑම නිහීන ක්‍රියාවක් කිරීමට සුදානම් ව ඇත.

මේ බව සැබෑ ලෙස තේරුම් ගත යුත්තේ මේ රටේ පොදු මහත් ජනතාවය. පොදු ‘ජනතාවගේ මිනිසා’ ත්‍රස්තවාදය නසන්නට තම යුතුකම ඉටුකර අවසන් ය. යුතුකම ඉතිරිව ඇත්තේ ජනතාවගේ පැත්තෙන්ය. ඒ යුතුකම සැබෑ ලෙස ඉටු කිරීම යනු සැබෑ ශ්‍රී ලංකා මාතාවගේ පුත්‍රයන් ලෙස තමන් උපන් රටට කෘතගුණ දැක්වීමය. එවිට ‘ජනතාවගේ මිනිසාට’ රට ඉදිරියෙන් ඇති අනෙක් සංග්‍රාමය වන ‘නිල්ල පැතිරුණු රටක් – අටු කොටු පිරුණු හෙටක්’ වෙනුවෙන් කටයුතු කළ හැකිය.

ඔබ සැමගේ සිතුවිලි කැටිකොට මිනිසා ගොඩ නඟා පවුල රකින්නටත්, පවුල ගොඩනඟා, ගම රකින්නටත්, ගම ගොඩනඟා රට රකින්නටත්, රට ගොඩනඟා ලොව දිනන්නටත් එවිට අපට හැකිවනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්