මේ යුගයේ පහළ වූ අද්විතීය රාජ්‍ය නායකයා

මේ යුගයේ පහළ වූ අද්විතීය රාජ්‍ය නායකයා

අස්ගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතස්වාමීන්ද්‍රයන් වහන්සේ

විශ්ව කීර්ති ශ්‍රී ත්‍රීසිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති ධූරයට පත්වී මේ මස 19 වන දිනට සිව් වසරක් සම්පූර්ණ වෙයි.

දකුණු ලක ගිරුවාපත්තුවේ සම්භාවනීය කුල පරම්පරාවක ජන්ම ලාභය ලබා ගැමි බොදු පරිසරයක හැදී වැඩී කුඩා කලසිටම සිය පියතුමාගේ පූර්වාදර්ශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මෙතුමන් මෑත යුගයේ මෙරට පහළ වූ අද්විතීය රාජ්‍ය නායකයා බවට පත්වී ඇත.

විවිධ හැලහැප්පිලි හා අභියෝගයන් මධ්‍යයේ ස්වකීය දේශපාලන ගමන් මඟ මැනවින් සකසාගත් මෙතුමා වර්ෂ 2005 දී විධායක ජනාධිපති ධූරය භාරගනු ලැබුවේ මෑත ඉතිහාසයේ අප රට ඉතාමත් තීරණාත්මක තැනකට පත්ව තිබූ යුගයක දීය.

දශක තුනක් පමණ කාලයක් අප රට බිලිගෙන තිබූ කුරිරු ත්‍රස්තවාදය තීරණාත්මක තැනකට පත්ව තිබූ මොහොතේ අභීත හෙළ නරපතීන් ගත් වීරෝධාර මඟ අනුගමනය කරමිනි.

දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ ද පරාජය කරමින් ත්‍රස්ත ග්‍රහණයෙන් අප මව්බිම මුදා ගැනීම මෙතුමාගේ රාජ්‍ය කාලය තුළ සිදුවූ අද්විතීයම කාර්ය භාරයයි.

ආරක්ෂක ලේකම්තුමා සමඟ ස්වකීය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිසි කලට නිසි උපදෙස් ලබාදීමෙන් ලොව දරුණු යැයි සම්මත ත්‍රස්තවාදය අපේ වීරෝධාර රණවිරුවන්ට පරාජය කළ හැකි වූයේය. එය මෙතුමාගේ දූරදර්ශී අභීත නායකත්වය නිසාම බව වත්මනෙහිදී පසක් වී ඇත.

එමෙන්ම ගත වූ සිව් වසර තුළදී යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද රටෙහි සැළකිය යුතු සංවර්ධනයක් ඇති කරමින් මග නැඟුම, ගම නැඟුම වැනි පුළුල් සංවර්ධන ව්‍යාපෘතීන් තුළින් ගමට සංවර්ධනය ගෙනයාහැකි වූයේ මෙතුමාගේ “මහින්ද චින්තනය” සංකල්පය හේතුවෙන්මය.

රටෙහි භෞතික සම්පත් දියුණු කිරීම පමණක් රාජ්‍යයේ සැබෑ සංවර්ධනය නොවන බව වටහාගත් මෙතුමා “මතට තිත” වැනි සංකල්පයන් ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත යහපත් සමාජයක් ගොඩනැංවීම ද භික්ෂූන් වහන්සේ ;ලස අපි විශේෂයෙන් අගය කරමු.

එසේම මේ වනවිට රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධනය වඩාත් නිවැරැදිව සහ කාර්යක්ෂමව සිදුකිරීමට මනා නායකත්වය ලබාදීමට හැකි එතුමන්ට කලාපීය දේශපාලන නායකයින්ගේ සහ ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ නියුතු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහයෝගය ලබාගනිමින් තත් කාර්යයන් මනාව ඉටු කිරීමට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවායි ආශිංසනය කරන අතර රටෙහි සියලු දෙනාට ම යහපත් අනාගතයක් උදාකරලීමට එතුමන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ද ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්