මහින්ද රාජපක්ෂගේ යහපාලනය සහ ආර්ථික සංවර්ධනය

මහින්ද රාජපක්ෂගේ යහපාලනය සහ ආර්ථික සංවර්ධනය

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති උපාධ්‍යාය, ආචාර්ය, අලුත්වැව සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ

භූමි ප්‍රමාණයෙන් වත් පොහොසත් කමින් සංවර්ධනයෙන් තාක්ෂණයෙන් දියුණු රටවල් ඇතුළු ලොව ඕනෑම රටක් සමඟ අභිමානයෙන් නැගී සිටින්නට ශ්‍රී ලාංකියන් වන අපට ශක්තිය ලැබී ඇත්තේ කරුණු කීපයක් නිසා ය. වසර 2500 කට වැඩි අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් හිමි ජාතියක් වීම.

වර්තමාන ලෝකයේ දියුණු යැයි සැලකෙන බොහෝ ජාතීන් විලි වසා ගැනීමට කොල අතු උපයෝගී කරගත් අතීතයේ පවා දියුණු ශිෂ්ටාචාරයක් හිමි ජාතියක් වීම, බිම් කඩක් වශයෙන් කුඩා වුවත් ලෝකයේ ප්‍රබල ආක්‍රමණිකයන් හමුවේ පවා අපරාජිතව අනන්‍යතාවක් ගොඩනගාගත් ජාතියක් වීම, ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගමික ඉගැන්වීමක් ලෙස පිළිගැනෙන නිර්මල ථෙරවාද බුදුදහම ආරක්ෂා කරගත් ජාතියක් වීම යන කරුණු ඒ අතර ප්‍රමුඛත්වයක් ගනී.

මහා වංශය ප්‍රමුඛ ඓතිහාසික මූලශ්‍රවලින් හෙළිවන තොරතුරු අනුව විජයාගමනයෙන් ආර්ය ජනවාසායක් බවට පත්වන අපේ රට මහින්දාගමනයෙන් බෞද්ධ සංස්කෘතික පදනම් කරගත් උසස් සභ්‍යත්වයකට උරුමකම් කියන්නට වූයේ ය.

එතැන් සිට ධෛර්යයෙන්ද මනා හික්වීමෙන් ද මානව දයාවෙන්ද පිරිපුන් ජනතාවකට වාසභූමිය වූ ශ්‍රී‍්‍ර ලංකාව ක්‍රි.ව. 1815 දී ඉංග්‍රීසීන්ට යටත් වන තුරු රාජාණ්ඩු ක්‍රමයක් යටතේ පාලනය වූ ස්වයංපෝෂිත ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්වකීය ප්‍රොඪත්වය ආරක්ෂා කර ගත්තේය.

ශත වර්ෂ 18 කටත් අධික වූ මේ කාල පරිච්ඡේදය තුළ රට සමෘද්ධිමත් කළ වීරෝදාර නර ශ්‍රේෂ්ඨයන් මෙන් ම දුර්වල පාලකයන් ද බිහි වූ බව අපේ ඉතිහාසයෙන් හෙළිදරව් වෙයි. පණ්ඩුකාභය, දේවානම් පියතිස්ස, දුටු ගැමුණු, මහා විජයබාහු, පරාක්‍රමබාහු, මහසෙන්, ධාතුසේන වසභ වැනි ශ්‍රේෂ්ඨ රජවරු අපේ රට සුඛිත මුදිත කළහ. සමෘද්ධිමත් කළහ.

බොහෝ රජවරුන් ඒ සමෘද්ධිය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමත් වූ අතර, අතළොස්සක් දුර්වල පාලකයන් නිසා යම් යම් අවධිවලටදී රට පරිහානියට පත් වූ බවද රහසක් නොවේ. සමස්තයක් වශයෙන් ගත් කළ අපේ ඉතිහාසය අභිමානවත් එකක් ම වූයේ ය.

 රටවැසියාගේ භාග්‍යයට

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ පාලනයත් සමඟ මේ රටේ රාජාණ්ඩු ක්‍රමය අහෝසි වී ගිය අතර, නිදහස ලබා ගැනීමෙන් පසු ස්ථාපනය වූයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. ඒ යටතේ අපේ රටේ පාලකයා අගමැති නමින්ද පසු කාලයේ දී ජනාධිපති නමින්ද හැඳින්වෙන්නට වුවද, ඔවුන් සිංහල බෞද්ධයන් වීමෙන් අපේ අනන්‍යතාව තවදුරටත් ආරක්ෂා කරගත හැකිවීමේ භාග්‍යය උදාවිය.

කෙසේ වෙතත් නිදහස ලැබීමෙන් පසුව මේ රටේ බිහි වූ පාලකයන් අතර ද දීප්තිමත් මෙන් ම දුර්වල පාලකයන්ද සිටි බව අපි දනිමු. මේ පසුබිම යටතේ වර්ෂ 2005 දී රටදැය සමයට හිතැති දේශප්‍රේමී ජනනායකයකු ජනාධිපති පදවියට පත්වීම, සමස්ත රට වැසියාගේම භාග්‍යයක් ලෙස සඳහන් කිරීම අතිශයොක්තියෙක් නොවේ.

ඒ බව තහවුරු වන්නේ ගෙවුණු සිවු වසර තුළ මේ රටේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙනි. රටවැසියාගේ් භාග්‍යයට පත් වූ ඒ ජන නායකයා ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.

මහින්ද රාජපක්ෂයන් බලයට පත්වීම තවත් ජනාධිපතිවරයකු පත්වීමට වඩා විශේෂිතය. එතුªමා දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් සහිත බුද්ධිමත් ක්‍රියාශීලී අවංක දේශපාලනඥයෙකි.

සියවස් ගණනාවක් තිස්සේ පැවතෙන රුහුණේ දේශප්‍රේමී ප්‍රභූ පරපුරකට අයත් ජනතාවාදී පුද්ගලයෙකි. රදළ වැඩවසම් පරම්පරාවලින් පැවතෙන අධිරාජ්‍ය ගැති බලවතුන්ගේ කෙණෙහිලිකම් මැද පොදු ජනතාවගේ ආශිර්වාදයෙන් බලයට පත් සැබෑ දේශප්‍රේමියෙකි.

මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂයන් ජයග්‍රහණය කිරීම යනු මේ රටේ පීඩිත පංති ජනතාවගේ ජයග්‍රහණයක් වන්නේය. එය දෙවැනි වන්නේ 1956 ජනතා ජයග්‍රහණයට පමණි.

ඩී. එම්. රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ වැනි එම පරපුරේ පූර්වගාමීන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කෙළේ පීඩිත පංති ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ය. අධිරාජවාදීන්ට බැල මෙහෙවරකම් කරමින් රටේ බොහෝ ප්‍රභූන් සුව පහසු ජීවිත ගත කරද්දී රාජපක්ෂවරුන් තමන්ගේ පෞද්ගලික දේපළ වස්තුව පවා පරිත්‍යාග කරමින් දුගී දුප්පත් ජනතාව සුවපත් කරන්නට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළහ.

දේශපාලනය තුළින් ඔවුන් උපයා ගත්තේ ජනතාවයි. ඒ කෘතවේදී ජනතාව රාජපක්ෂවරුන් වෙනුවෙන් ඒකරාශී වූහ. මහින්ද රාජපක්ෂයන් මේ රටේ ජනාධිපති පදවියට පත්වීම, පීඩිත පංති ජනතාවගේ ජයග්‍රහණයක් වන්නේ ඒ අනුවය.

රාජපක්ෂවරුන්ගේ පරම පවිත්‍ර අභිලාෂය වූයේ මේ රටේ යහපාලනයක් ඇති කොට සමාජ අසාධාරණය මුලිනුපුටා දමා අභිමානවත් ජනතාවක් බිහි කිරීමෙන් අතීත ප්‍රෞඪත්වය සහ සමෘද්ධිය යළි ඇති කිරීමයි.

2005 ජනාධිපති මැතිවරණය මහින්ද රාජපක්ෂයන් විසින් ජනතාව හමුවේ තබන ලද “මහින්ද චින්තන” ප්‍රතිපත්තියෙන් විද්‍යාමාන වන්නේ ද ඒ අභිලාෂය මය.

බලය ලබා ගැනීම සඳහා බොහෝ දේශපාලනඥයන් නොයෙකුත් පොරොන්දු දෙද්දී ජනතාව මහින්ද රාජපක්ෂයන් කෙරෙහි විශ්වාසය තැබූහ. මහින්ද චින්තනය කෙරෙහි විශ්වාසය තැබූහ. මහින්ද රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය මේ රටේ පොදු ජනතාවගේ විජයග්‍රහණයක් වන්නේ එබැවිනි.

ගිරුවාපත්තුවේ කෘතවේදී ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවාසී බහුතරයකගේ කැමැත්තෙන් ජනාධිපති පදවියට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිඳුන් සැබවින් ම ජනතා හිතවාදියෙක්ද එතුමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කර තිබේද, රාජපක්ෂ පරම්පරාව තුළ වූ දේශප්‍රේමය එතුමා තුළ තිබේද යනාදී කරුණු පුනරාවර්ජනය කරන්නට සුදුසු කඩයිමක් එළැඹ තිබේ.

එනම් ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් සිවු වසරක් ඉකුත්වන මේ මොහොතයි. වැඩක් කරන කෙනකු අවුරුදු හතරක් යනු උවමනාවටත් වඩා වැඩි කාල පරිච්ඡේදයකි.

 පොදු ජන සිද්ධිය

ඒ අනුව පොදුජන සුබ සිද්ධිය උදෙසා ගෙවුණු සිවු වසර තුළ මහින්ද රාජපක්ෂ මැතිඳු කළ මෙහෙවර අපේක්ෂා සහගතව එතුමා බලයට පත් කළ ජනතාවටත්, සෙසු සමස්ත ප්‍රජාවටත් තෘප්තිමත් විය හැකි මට්ටමක පවතී දැයි විමසා බැලිය යුතුය. එහිදී එතුමාගේ මෙහෙවර යහ පාලනය හා ආර්ථික සංවර්ධනය යන මාතෘකා දෙක ඔස්සේ පරීක්ෂා කිරීම වඩාත් උචිතය.

මහින්ද රාජපක්ෂ මැතිඳුන් 2005 දී භාර ගත්තේ දෙකොණ විලක්කුවක් වැනි රටකැයි කීම අතිශයෝක්තියක් නොවේ. උතුරේ වසර 30 ක් තිස්සේ ඇවිලෙමින් තිබුණු කුරිරු ම්ලේච්ඡ යුද්ධයක ප්‍රභාකරන් නමැති ලේ පිපාසිත මිනීමරුවා රටට අමුසොහොනක් බවට පත්කර තිබිණ.

අල්ලස, දූෂණය, භීෂණය, මත් උවදුර, පාතාලය ආදී මෙකී නොකී සාපරාධි ක්‍රියාවන් නිසා සංස්කෘතික සෝදා පාලුවකට ලක් වී තිබුණ දකුණ ජාත්‍යන්තරය හමුවේ පවා අප කීර්තියට ලක්ව තිබිණ.

මට හිතෙන හැටියට මහින්ද චින්තනය පටන්ගත යුත්තේ කොතැනින්දැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට පවා ආරම්භයේදී සිතාගන්නට අපහසු වට පිටාවක් ගොඩනැගී තිබුණු බව කිව යුතුය.

කෙසේ වෙතත් ලාංකේය සමාජ පසුබිම පිළිබඳව එතුමා තුළ පැවැති පරිණත අත්දැකීම් අනුව, රටේ යහපාලනය ස්ථාපනය කිරීම සඳහා හරියට ම නිවැරැදි තැනින් පළමු පියවර තැබුයේය. ඒ මතට හිත තැබීමට පෙළැඹීමයි.

1977 දී ඇරැඹුණු විවෘත ආර්ථිකය හරහා මේ රටේ පැවැති සංස්කෘතික හරයන් විනාශ කර දැමීමට මුල් වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම බව නොරහසකි. කුමන මාර්ගයකින් හෝ ධනය ඉපැයීමම මුල් කරගත් ප්‍රබල ව්‍යාපාරික නඩය මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යමින් ප්‍රකෝටිපතියන් වෙද්දී ඔවුන්ගේ සහායට දේශපාලනඥයන් මෙන්ම නීතිය රකින්නට සිටින ලොක්කෝද අත හිත ජන්හ.

එහි ඛේදජනක ප්‍රතිඵල වූයේ දරුණු සමාජ පරිහානියයි. අපරාධ රැල්ලක් රටපුරා ව්‍යාප්ත වී යාමයි. ඒ හරහා තවත් බොහෝ නීති විරෝධී සදාචාර විරෝධී ජාවාරම් පැතිරෙන්නට විය. මේ මහා විනාශය යම් ප්‍රමාණයකට හෝ මැඩ පවත්වන්නට “මතට තිත” වැඩපිළිවෙළ ඉවහල් වූ බව කුහකත්වයෙන් තොරව පිළිගත යුතුය.

දීර්ඝ කලයක් තිස්සේ ඔඩු දුවමින් පැවැති රාජ්‍ය සේවය පිළිබඳ ගැටලු මෙන්ම ජන ජීවිතය හා සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් ඔවුනට සහන සැලසීම තුළින් ජනතා අසහනය දුරු කිරීමට කටයුතු යෙදීම ජනතාවගේ සතුටට මෙන් ම යහපාලනය ඇති කිරීමට ද මහත් පිටුවහළක් විය.

මිනිසා හදා රට හැදීම

විවිධ ආගමික පිිරිස් වාසය කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධාගමයි. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු වන්නකි. මේ තත්ත්වය යටතේ අතීතයේ සිටම රටේ පාලකයා සිංහල බෞද්ධයකු විය. අනගාරික ධර්මපාලතුමාගේ චින්තනයෙන් ශික්ෂණය ලැබූ රාජපක්ෂ පරපුරෙන් පැවත එන නිසා ම මහින්ද රාජපක්ෂ මැතිතුමාද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ බෞද්ධයෙකි.

දේශප්‍රේමියෙකි. ජාත්‍යානුරාගයෙන් ඔද වැඩුණු සිංහලයෙකි. මේ නිසා වඩ වඩාත් භික්ෂූන් ඇසුර පි‍්‍රය කිරීම එතුමා තුළ කැපී පෙනෙන ගුණාංගයක් ද වෙයි.

තම නිල නිවස වූ අරලියගහ මන්දිරයේ සෑම පුර පසළොස්වක් පොහෝ දිනකම ධර්ම දේශනයක් පැවැත්වීම එතුමාගේ පුරුද්දක් වී ඇත. ස්වකීය පවුලේ සාමාජිකයන් සමඟ සමීපතමයන් හා එක්ව ධර්මශ්‍රවණය කිරීම එතුමාගේ සිිරිතය. එය සමස්ත රටවාසීන්ට ම ශ්‍රවණය කරන්නට සලස්වා තිබිමද වැදගත්ය.

දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද මහා පරිමාණයෙන් ආගමික කටයුතුවල යෙදෙන එතුමා මිනිසා හදා රට හැදීමේ සංකල්පය හිස්මුදුනින් පිළිගත්තකු බව සඳහන් කළයුතුය.

රටක් භෞතික වශයෙන් පමණක් දියුණු කිරීම හෝ දියුණු වීම හෝ රටක පරිපූර්ණ සංවර්ධනය නොවේ. භෞතික වශයෙන් ඉහළ ම දියුණුවක් ලැබූ රටවල පවත්නා අසහනය ඊට හොඳම උදාහරණයයි.

රටක් ප්‍රධාන වශයෙන් සංවර්ධනය විය යුත්තේ ආධ්‍යාත්මික අංශයෙන් බුදුදහම පෙන්වා දෙන යථාර්ථය ද එයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ව්‍යායාමය ද එය ම බව පැහැදිලිය.

දකුණේ අසහනකාරී වට පිටාව යම් ප්‍රමාණයකට සමනය කරන්නට සමත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළඟට අවධානය යොමු කෙළේ උතුªරේ අර්බුදය දෙසටයි. රටේ යහපාලනය ගොඩනැගීමට පැවැති ප්‍රධාන ම බාධකය උතුරේ ත්‍රස්තවාදය බව අමුතුවෙන් කිවයුතු නොහේ.

මහින්ද චින්තනය අනුව, සාමයෙන් සාකච්ඡා මාර්ගයෙන්, සාධාරණත්වයෙන් උතුරේ අර්බුදය නිරාකරණය කරන්නට ජනාධිපතිතුමා දැරූ වෑයම, ප්‍රභාකරන් දුටුවේ දුර්වල කමක් හැටියටය. තමන් පිළිබඳ අධිතක්සේරුවෙන්, හැමදාමත් කළා සේ මහින්ද රාජපක්ෂයන් බිය ගැන්වීමට ප්‍රභාකරන් උත්සාහ කිරීම මුළු ජීවිත කාලයේ දීම ඔහු කරගත් ලොකුම මෝඩකම ලෙස මම දකිමි.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ වසර 30 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඔහු ගොඩනඟාගෙන සිටි මනෝරාජ්‍යය පමණක් නොව ඔහුගේ ජීවිතයද ඔහුට අහිමිවීමය.

 රට එක්සේසත් කළ නායකයා

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම පිළිබඳව බොහෝ දෙනා බොහෝ දේ කතා කර තිබේ. දැනුදු කතා කරති. එම නිසා ඒ පිළිබඳව දිගින් දිගට කරුණු විස්තර කිරීමට මම අදහස් නොකරමි.

ඒ සමස්ත ක්‍රියාවලිය එක් වාක්‍යයකින් හකුළුවා දැක්වීම ප්‍රමාණවත් වෙතැයි මම සිතමි. කෝට්ටේ යුගයේ හයවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව.1412-1467) ගෙන් පසු ශත වර්ෂ පහකට අධික කාලයක් තිස්සේ කිසිදු ශ්‍රී ලාංකික පාලකයකුට කළ නොහැකි වූ රට එක් සේසත් කිරීම කළ හැකි වූ එකම නර ශ්‍රෙ‍්‍ර්ෂ්ඨයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවය. රටේ යහපාලනය වෙනුවෙන් ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙනත් මෙහෙවරක් නැත.

වසර 30 ක් තිස්සේ කුරිරු යුද්ධයකින් විනාශ වූ රටක ඒ තරම්ම දීර්ඝ කාලයක් තිස්සේ අති ධාවනකාරී, විනාශකාරී ආර්ථික කළමනාකරන නිසා විනාශ වූ රටක. යහපාලනයක් ගොඩනැඟීම ප්‍රාතිහාර්යයකින් මෙන් ක්ෂණිකව කළ හැක්කක් නොවේ.

සියල්ල මුල සිටම පටන් ගත යුතුව ඇති පසු බිමක් යටතේ ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෙන්වා ඇති ප්‍රගතිය සැබවින් ම ප්‍රශංසර්හය. ගෙවුණු සිවු වසරේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුත්තේ ද ඉහත විස්තර කළ පසුබිම යටතේ ම බව පළමුවෙන්ම සිහියේ තබා ගත යුතුය. යමක් විනාශ කිරීම ඉතා පහසුය.

එහෙත් එය යළි ගොඩ නැඟීම, ප්‍රති නිර්මාණය කිරීම ලෙහෙසි පහසුනොවේ. මහල් සිය ගණනකින් යුත් ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වීමට ගතවුණේ විනාඩි කීපයකි. එහෙත් එවන් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට වසර ගණනාවක් අවශ්‍ය වෙයි. අපේ රටේ තත්ත්වය ද එබඳු ය.

එහෙත් ඒ දුෂ්කර අභියෝගයට සාර්ථකව මුහුණ දීමටත් යහපත් ප්‍රගතියක් පෙන්නුම් කිරීමටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වී සිටී. එහිදී අපට දක්නට ලැබෙන විශේෂත්වය නම් විනාශය පවතිද්දීත් විනාශය පිටුදැකීමෙන් පසුවත් වෙනසක් නොමැති ව ආර්ථික සංවර්ධනයේ සාධනීය ප්‍රතිඵල පෙන්වීමට එතුමා සමත් වී තිබීමයි.

දැනට ක්‍රියාත්මක වන යෝධ සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් ආරම්භ කරන ලද්දේ ශාපලත් යුද්ධය පවතිද්දීය. යුද්ධය නිමාවීමෙන් පසු ඒවා වඩාත් වේගවත් ලෙස ක්‍රියාත්මක වෙයි.

මහ සඟරුවනට මුල් තැන...

 ආර්ථික සංවර්ධනය

රටක ආර්ථික සංවර්ධනයට බලපාන ප්‍රධාන ම සාධකය මහා මාර්ග සංවර්ධනය ලෙස දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල් දෙස බැලීමෙන් මේ බව හොඳින් අවබෝධ කරගන්න පිළිවන.

මහා මාර්ග ඉදිවීම යනු ප්‍රදේශයක සංවර්ධනයේ අඩිතාලමය. නිවාස වෙළෙඳසල් විවිධ ව්‍යාපාරික ස්ථාන සෘජු හා වක්‍ර රැකියා අවස්ථා බිහිවන්නේ මාර්ග සංවර්ධනයට සාපේක්ෂ වශයෙනි.

මේ යථාර්ථය තේරුම් ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුළු රටේ ම මාර්ග සංවර්ධනයට ප්‍රමුඛත්වය දී ඇති ආකාරය රට තොට ඇවිදින ඕනෑම අයෙකුට දැක ගත හැකිය.

මා දන්නා තරමින් රටේ සියලුම ප්‍රධාන මාර්ග මේ වන විට නවීකරණය වී තිබේ. දුෂ්කර මාර්ග දහස් ගණනක් කොන්ක්‍රීට් අතුරා වැඩි දියුණු කර තිබේ. මග නැඟුම ව්‍යාපෘතිය හරහා රටේ මාර්ග සංවර්ධනයට දැරෙන ව්‍යායාමය ඇතැම් විට විස්මය දනවන සුළු ය. වාහනයක් වුවද නිරූපද්‍රිතව යා නොහැකි ව තිබුණු ප්‍රධාන මාර්ග දැන් ඉතාම නවීන තාක්ෂණය මගින් ඉස්තරම් අන්දමින් නවීකරණය වී ඇත.

පයින්වත් යා නොහැකි මට්ටමේ පැවැති දහස් ගණනක් අතුරු මාර්ග කොන්ක්‍රීට් යෙදීමෙන් වාහන ගමනාගමනයට යෝග්‍ය ලෙස සංවර්ධනය වී ඇත. ඊට සාපේක්ෂව රට පුරා මතු වී ඇති ආර්ථික ප්‍රබෝධය අති මහත්ය.

අධිවේගී මාර්ග, ගුවන් පාලම්, උමං මාර්ග දිනෙන් දින ගමනාගමන පද්ධතියට එක්වෙමින් තිබේ. ආර්ථික සංවර්ධනයේ පළමුවන අභියෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයගෙන ඇත්තේ එසේය.

 නියමිත ඉලක්ක

රටක් නැඟීම ආරම්භ විය යුත්තේ ගම නැඟීමෙනි. ගමේ පුමුඛ සහ හදිසි අවශ්‍යතා පිළිබඳ සැබෑ අවබෝධය ඇත්තේ ගැමියාට ය. ඊටත් වඩා එහි අවශ්‍යතාව වඩාත් දැනෙන්නේ ද ගැමියාට ය. මේ නිසා සැබෑ ගම නැඟුමක දී අනිවාර්යයෙන් ම ගැමියාගේ දැනුම හා සහාය ලබා ගත යුතුවෙයි. මහින්ද චින්තනය යටතේ ක්‍රියාත්මක වන “ගම නැඟුම” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රායෝගික සත්‍යයේ පදනම් කරගෙනය.

මේ හරහා දස දහසක් ගම් නැගී සිටිමින් පවතී. ගැමියෝ එහි ඵල නෙලමින් සිටිති. ගෙවුණු සිව්වසර තුළ ගම නැඟුමින් අත්කරගෙන ඇති ප්‍රතිඵල විශිෂ්ට ය.

ඒ පිළිබඳ නොදන්නා අයකු සිටී නම් ගමනැඟුමින් නැගී සිටින ගැමියකුගෙන් කරුණු විමසීම ප්‍රයෝජනවත් ය. ඇත්තෙන් ම “ගම නැ¼ගුම” ව්‍යාපෘතිය රටේ ආර්ථික සංවර්ධනයට මහඟු අත්වැලක් වී තිබේ.

රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ගෙවුණු සිවු වසර තුළ ආරම්භ කරන ලදුව මේ වන විට නියමිත ඉලක්කයන් සපුරාලමින් ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම රාශියකි. හම්බන්තොට වරාය ඉන් ප්‍රමුඛත්වයක් ගනී.

ජාත්‍යන්තර මුහුදු මාර්ග පිහිටා ඇති ආකාරය අනුව, වරායකට ඉතා ම උචිත ප්‍රදේශය ලෙස හම්බන්තොට බව පෙන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතික නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ්ය.

ඒ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ දී ය. නිදහස ලැබීමෙන් පසුව දශක හයක් ඉක්මව යන තුරුත් මේ රටේ බිහි වූ පාලකයෝ මේ ගැන කථා කළහ. එහෙත් ඊට කිසිවකු අත තැබුවේ නැත.

රුහුණ නඟාලීමට නම්, අනිවාර්යෙන්ම ඉටු කළයුත්තක් ලෙස වරාය ඉදිකිරීමේ අවශ්‍යතා හඳුනාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් වරාය ඉදිකිරීමේ යෝධ ව්‍යාපාරය ආරම්භ කෙළේ උතුරේ වනාශකාරී යුද වාතාවරණය තිබිය දී මය 2011 වසර මැද වන විට එම ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පත්වෙයි.

දැනට දක්වා ඇති ප්‍රගතිය අනුව සම්පූර්ණ ව්‍යාපෘතියම නියමිත ඉලක්කගත කාලයට පෙර සම්පූර්ණවනු නිසැකය. වාර්ෂිකව එයින් අපේ රටට ගලා එන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය, දකුණු පළාතේ පමණක් නොව සමස්ත රටේම ජනතාවගේ ජීවන තත්ත්වය නගාලීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඊට සමගාමී ව ඉදිවෙමින් පවතින නැඟෙනහිර පළාතේ ඕලුවිල් වරාය, තවත් විදේශ විනිමය උල්පතක් වන්නේය. මෙම වරායන් ඇතුළු විවිධ කාර්යයන් සඳහා දැනට රට පුරා වරායන් 10 ක් ඉදිවෙමින් පවතී.

නිදහස ලැබීමෙන් පසු මෙතෙක් අපේ රටේ ඇරඹුණු විශාලතම වූත් ෂපුල ඵලදායීවූත් සංවර්ධන යෝජනා ක්‍රමය හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කිරීම බව සඳහන් කළ හැක්කේ ඊට සමගාමී ව මේ වන විටත් ඉදිවන ව්‍යාපෘති රාශිය සැලකීමෙනි.

ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, තෙල් පිරිපහදු සංකීර්ණය හම්බන්තොට ඉදිවෙමින් තිබේ.

මේ සම්පූර්ණ වූ විට හම්බන්තොට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්වනු නොඅනුමානය. ඒවායේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකා වාසීන්ට භුක්ති විඳීමේ භාග්‍යය උදවෙයි. ඒ වූ කලි රටේ ඉදිරි සංවර්ධනයේ තුෂ්ටිදායක අරුණැල්ලය.

රට ආර්ථික සංවර්ධනයට යෝධ සංවර්ධනය ව්‍යාපෘති ආරම්භ කිරීම මෙන් ම ඒවායේ ප්‍රතිඵල ජනතාව අතරට ගලා එන තුරු ජනතාව ජීවත් කරවීම ද එකසේ වැදගත් වෙයි. මේ යථාර්ථය නිවැරැදි ව අවබෝධ කරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ද ඵලදායී ක්‍රියා මාර්ග අනුගමනය කෙළේය.

පොහොර සහනාධාරය එහි ලා ඉතා ම වැදගත් දිරි දීමනාවකි. මොරගහ කන්ද, උමා ඔය, වෙහෙරගල වැනි වාරිමාර්ග යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් ගොවි ජනතාවට තිබූ ප්‍රධාන තම බාධකය වූ ජල හිඟය මඟ හරවා ලීමට පියවර ගැනීමත්, පොහොර සහනාධාරයත් නිසා උද්‍යෝගිමත් වූ ගොවියෝ තම කෙත් බිම් අස්වැද්දූහ. වගා කරන කුඹුරු ප්‍රමාණය දෙගුණ තෙගුණ කළහ.

වගා කළබිම් ප්‍රමාණය වැඩි වීමත් වාරි මාර්ග පහසුකම් කලට වේලාවට සපිරීමත් පොහොර සහනාධාරයත්, ගොවිජනතාවගේ උද්‍යෝගයත් එක් වීමේ ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ කිසිදිනක වාර්තා නොවූ අන්දමේ ඉහළ අස්වැන්කක් ලැබීමයි.

වී නිෂ්පාදනය වේගයෙන් ඉහළ ගිය ආකාරය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දී තිබේ. අපේ රටේ හැමදාම සිදු වූයේ වී අස්වැන්න ඉහළ යන විට වී මිල පහළ යාමෙන් ගොවියා අපේක්ෂා භංගත්වයට පත්වීමයි.

සමහර කන්නවල දී සමහර ගොවියෝ දිවි නසා ගත්හ. මේ පිළබඳ ඉතා ම නිරවුල් අවබෝධයක් ලබා සිටි ජනාධිපතිතුමා, තම අරමුණ පරිදි ම වී නිෂ්පාදනය ඉහළ යද්දී ක්‍ෂණිකවම කළේ සහතික වී මිල ද ඉහළ නැංවීමයි.

 ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමට මෙන්ම ගොවීන්ට තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කරගන්නට හැකිවීම නිසා දශඛඛ ගණනාවකට පසු මේ රටේ ගොවි ජනතාව තෘප්තිමත්ව සැනසුම් සුසුම් හෙලූහ.

කෘෂි කර්මාන්තය හරහා රටේ ආර්ථික සංවර්ධනය මේ අන්දමින් ඉහළ මට්ටමකට පත් කරන අතර ම “අපි වවමු - රට හදමු” වැඩ සටහන යටතේ ජනතාව අතර වගා කටයුතු පිළිබඳ උනන්දුවක් ඇති කරවීම ද අගය කළ යුතුය. 6 වෙනි පිටුවෙන්

විදුලි බලය, වර්තමාන සමාජ රටාව තුළ දැඩි අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පමණක් නොව ජන ජීවිතයේ ද එය බලවත් සාධකයකි. වර්තමාන ඉල්ලුමට පමණක් නොව අනාගත අවශ්‍යතාවනට ද සරිලන පරිදි විදුලි බලය උත්පාදනය කිරීම බරපතල අභියෝගයකි.

අභියෝගවලට කවදත් කැමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, විදුලි බල ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ගෙන ඇති විවිධ පියවරයන් නිසා විදුලිය හිඟයක් පිළිබඳ භීතියක් අපේ රටේ ජනතාවට ඉදිරියේ දී වුවත් ඇති නොවනු ඇත.

නොරොච්චෝලේ, කෙරවලපිටිය හා ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර වලින් නිෂ්පාදනය වන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතුවන විට, විදුලිය හිඟයක් ඇති නොවනවා පමණක් නොව, විදුලි ඒකකයක මිල ද අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

දිගින් දිගට ම අර්බුදයක් බවට වර්ධනය වෙමින් පැවැති උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය නැති කිරීම සඳහා උපාධිධාරීන් 44000ක් ඇතුළු විශාල පිරිසකට රජයේ පත්වීම් ලබාදීම, එක් අතකින් රැකියා ප්‍රශ්නයට විසඳුමක් සේ ම තවත් පැත්තකින් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට ද ඉවහල් වූ අතර, එය රටේ ආර්ථික සංවර්ධනයට ද මහත් රුකුලක් වූ බව පිළිගත යුතුය.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කිරීම ද ප්‍රශස්ත පියවරකි. ඉන් විශාල පිරිසකට යහපත සැලසුණු අතර, රටේ සංවර්ධනයට ද යහපත් පෙළඹවීමක් ඉන් ඇති වූ බව සඳහන් කළ යුතුය.

විවිධ බාධක, කඩා කප්පල් කිරීම්, කුමන්ත්‍රණ හා ජාත්‍යන්තර බලපෑම් මධ්‍යයේ වුවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ආර්ථික සංවර්ධන ශුභවාදී මාවතකට යොමු කිරීමට සමත්ව තිබේ. උද්ධමනය අඩුවීම, විදේශ සංචිත ඉහළ යාම ජාත්‍යන්තර සහයෝගය නොඅඩුව ලැබීම හා පොළී අනුපාත අඩු කිරීම ඒ සාර්ථකත්වය පෙන්නුම් කරන නිදර්ශකයන් ය.

භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද මෙහිලා යමක් සඳහන් නොකළහොත් අඩුපාඩුවක් ලෙස කෙනකුට පෙනී යා හැකිය. භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යමින් පවතින බව සැබෑය. ලෝකයේ කිසිදු රටක කිසි කලෙක භාණ්ඩ මිල අඩුවීමක් සිදු වන්නේ නැත.

භාණ්ඩ මිල ඉහළ යාමට මුදලේ අගය අඩුවීම, ජනගහනය ඉහළ යාම, ජාත්‍යන්තර මිල ගණන් හා දේශ ගුණික සාධක වැනි කරුණු රාශියක් බලපායි. ආර්ථික අතින් සමෘද්ධිමත් රාජ්‍යයක වුවද නිරන්තරයෙන් ම භාණ්ඩ මිල ඉහළ යාම ස්වභාවිකය. රජයකට කළ හැක්කේ භාණ්ඩ මිල අඩු කිරීම නොව, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීමයි.

ඒ සඳහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍යය. ගත වූ සිවු වසර පුරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පියවර ගෙන ඇත්තේ, තාවකාලික පැලැස්තර යොදා භාණ්ඩ මිල අඩු කිරීමට නොහොත් ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීමට අදාළ වන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට බව බුද්ධිමත් ව සිතන ඕනෑම අයෙකුට වටහා ගැනීම අපහසු නැත.

කිසියම් කාල පරාසයක් තුළ කළ යුතු වැඩ කෙතෙක් තිබුණත්, කෙනකුට කළ හැකි වන්නේ සීමිත වැඩ කොටසක් පමණි. පුද්ගලයාගේ හැකියාව අනුව එසේ කළ හැකි කොටස අඩු - වැඩි වනු ඇත.

එහෙත් කවර දෘෂ්ටි කෝණයකින් බැලුවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මේ කියමන වලංගු වන්නේ නැත. එතුමා සිවු වසරක් තුළ රටේ යහපාලනය සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සිවු වසරක් තුළ දී කළ නොහැකි තරම් විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙන බැවිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්