නිදහසේ සුවඳ දැනුණු සිවු වසර

නිදහසේ සුවඳ දැනුණු සිවු වසර

“රටක වැදගත්ම වෙන්නේ ජාතික ආරක්‍ෂාව සහ දේශපාලන ස්ථාවරත්වයයි. එම කරුණු තහවුරු වීම පිණිස රටේ ජනතාව සමඟි විය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා

ලෝක සිතියමේ කැපී පෙනෙන රටක් බවට මේ පුංචි ශශ්‍රී ලංකාව ගෙන ඒම සඳහා එතුමා ජීවිත පරිත්‍යාගයෙන් කරන කැපවීම අද මේ රටේ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයාටම පැහැදිලිවම දක්නට ඇති කරුණකි.

මේ රටට 1948 නිදහස උරුම වුවත් ඒ නිදහස නිදහසක් වශයෙන් රටේ ජනතාවට භුක්ති විඳිමට ලැබුණේ කොයිතරම් කෙටි කාලයක්ද? විදේශිකයන් මේ රටින් පලවා හැරීමෙන් පසු ලබාගත් නිදහස විනාශ කර රටේ ජනතාව වසර තිහක පමණ කාලයක් බිළිගෙන සිටියේ කුරිරු කොටි ත්‍රස්තවාදයයි. ඒ ගෙවී ගිය කාලය පුරා මේ රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමටවත් ඉඩක් තිබූනේ නැත.

සෑම මිනිස් ජීවිතයක්ම මර බියෙන් පිරී තිබුණි. කොටි ත්‍රස්තවාදය උතුරු නැගෙනහිරින් දකුණට පැමිණ මාරක බෝම්බ රටපුරා පිපිරී මිනිස් ජීවිත විනාශ වෙමින් යද්දී කොයි මොහොතේ තම ජීවිතය විනාශ වී යාවි ද යන බියෙන් සෑම පුද්ගලයකුම පෙළෙන්නට විය. ඒ තරමටම ත්‍රස්තවාදයේ බියකරු බව රටේ ජනතාව වෙලාගෙන තිබුණි.

දශකතුනක් තිස්සේ ඒ බියකරු ත්‍රස්තවාදය මිනිස් ජීවිත බිළිගනිද්දී රට පාලනය කළ බලයට පත්වූ රටේ නායකයන්ට එම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශකර දැමීමට හැකිවූයේ නැත. ඔවුන් උත්සාහ කෙළේ ද නැත. ආරක්‍ෂක හමුදාවෝ ජීවිත පරිත්‍යාග කර සටන් වදිද්දී ඇතැම් නායකයන් යුද්ධය වවාගෙන කන්නටවිය. තවත් පිරිස් කොටි පෝෂණය වන තෙක් බලා සිටියහ. ඒ සඳහා අවශ්‍ය පරිසරය ඔවුන්ට සකසා දුන්හ.

 මනෝමය සැලැසුම

කිසිදිනෙක මේ ත්‍රස්තවාදයට විරාමයක් තැබිය නොහැකි බවට මේ රට පමණක් නොව සමස්ත ලෝකයේම ජනතාව ස්ථිර ව සිතා සිටින යුගයක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රටේ නායකයා වශයෙන් බලයට පත්විය. එතුමා බලයට පැමිණියත් ත්‍රස්තවාදයට නැවතීමේ ලකුණ ලැබේවි යැයි බොහෝ දෙනා විශ්වාස කෙළේ නැත.

එහෙත් එතුමා බලයට පැමිණෙන විට තම සිත තුළ රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු විවිධ වූ අරමුණු රැසක් රඳවාගෙන තිබුණි. ඒ සෑම එකක්ම ක්‍රියාත්මක කිරීමට පෙර එතුමාගේ මනෝමය සැළසුම තුළ අංක එකට සටහන් වී තිබුණේ සාමයෙන් හෝ යුද්ධයෙන් ත්‍රස්තවාදය විනාශ කර දැමිය යුතු බවයි. රටේ ආරක්‍ෂාව තහවුරු නොකොට වෙනත් දෙයක් කළ නොහැකි බව එතුමා තේරුම් ගෙන තිබුණි.

එතුමාගේ ඒ මනෝමය සැළසුම ක්‍රියාවට නංවන බව ජනාධිපති ධූරයට පත්වී පළමු විදේශ සංචාරයේදීම හෙළිදරව් විය. එතුමා ඒ සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා හමුවූ අවස්ථාවේ ත්‍රස්තවාදය ගැන කතා කරමින් පැවැසුවේ ත්‍රස්තවාදීන් අවි ආයුධ යන බොහෝ දේ අතින් පෝෂණය වී ඇති බව බුද්ධි තොරතුරු වලින් අනාවරණය වී ඇති බවත් යම් ආකාරයකින් ඔවුන් ප්‍රහාරයක් එල්ල කළහොත් රටේ ආරක්ෂක අංශ ද දැඩි තීරණයක් ගන්නා බවයි.

ජනාධිපතිතුමා බලයට එනවිටම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර රටට සාමය උදාකරදීමේ සැළසුම සිත තුළ තිබූ බව ඉන් පැහැදිලි විය. තවද කිසිවකුගේත් තල්ලුවක් තුළින් එතුමා ත්‍රස්තවාදය නිමාකර වීමට පෙළඹුණේ යැයි කියන කතා ද අසත්‍ය ඒවා බවට පත් කිරීමට හේතුවිය.

රටකට වැදගත්ම දේ රටේ ආරක්‍ෂාවයි. ජනාධිපතිතුමාගේ සංකල්පය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කරලීම ආරම්භ වූයේ එතැන් සිටය. සාමයෙන් ත්‍රස්තවාදය විසඳා ගැනීම සඳහා ජිනීවාහිදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විය.

එහිදී දශක තුනක් තිස්සේ රටේ බලයේ සිටි නායකයන් රවටා බොරුවෙන්ම සාම සාකච්ඡා කඩාකප්පල් කළ ආකාරයට සිදු කිරීමට කොටි නායකයන් කටයුතු කළහ. කොටින්ගේ ඒ වෑයම හොඳ හැටි අවබෝධ කර ගැනීමට රටේ ඉතිහාසය බිළිබඳ මනා අවබෝධයක් ලබා සිටි ජනාධිපතිතුමාට එතරම් අපහසු වූයේ නැත.

ජනාධිපති තුමා රණවිරුවන්ට ශක්තිය දෙමින්...

ඒ අනුව යුද්ධයකින් ත්‍රස්තවාදය පරාජය කිරීමත් පමණක් නොව කොටින්ම හිරවී සිටි උතුරු නැගෙනහිර අහිංසක ජනතාව ඉන් බේරා ගැනීම පිණිස අවශ්‍ය සැළසුම සකස් වෙමින් පැවතියේ ඉන් අනතුරුව ය.

කොයි මොහොතේ හෝ ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව දැනගත් සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට මුහුණදීමට අවශ්‍ය මෙහෙයුම් සැකසිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලුවා විය හැකියි.

දශක තුනක් තිස්සේ යුද මෙහෙයුම සිදුවුවත් බොහෝ මෙහෙයුම් අසාර්ථක වූයේ “විශ්වාසය” එකමුතුකම නොමැති වූ නිසාය.

සේනාධිනායකයා වූ එතුමාගේ සිත තුළ අවංක චේතනාව ක්‍රියාවට නංවා සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් එය ක්‍රියාවට නංවන නිලධාරීන් ද එතුමා මෙන්ම අවංක විශ්වාස අය විය යුතු විය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දීර්ඝ කලයක් යුද්ධයේ නියැලුණු අවංක හමුදා නිලධාරියෙකි.

එසේම ජනාධිපතිතුමන්ගේ සොහොයුරාය. එතුමා ආරක්ෂක ලේකම් ධූරයට පත්වූයේ විශ්වාසය කැපවීම ඒ උතුම් මෙහෙයුමේ මූලික පුරුක බවට පත් කරවමිනි. ඒ අතර ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමඟ දිගු කාලයක් යුද්ධයේ නියැලී සිටි එවකට මේජර් ජෙනරාල් ධූරයේ සිටි සරත් ෆොන්සේකා මහතා දක්‍ෂ අවංක නිලධාරියෙක් බව ජනාධිපතිතුමා මෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද රහසක් නොවීය.

මෙම සැලසුම් පිළිබඳ සාකච්ඡා වනවිට සරත් ෆොන්සේකා මහතාට තම හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට තිබුණේ ඉතා කෙටි කාලයකි. එනම් දින 12 ක් පමණි.

ජනාධිපතිතුමා වහාම සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයට පත් කෙළේය. සෙසු හමුදාපතිවරුන්ද විශ්වාසනීය කැපවීමෙන් යුතු අය විය. උතුරු නැඟෙනහිර මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම සඳහා නම් එකම දම්වැලක පුරුක් මෙන් එකිනෙකට බැදෙන පරිදි විශ්වාසය කැපවීම දක්‍ෂතාවය ආරක්‍ෂා කරන හමුදා නිලධාරින් පත් කිරිමට සාකච්ඡා කෙරුණි. එම මෙහෙයුම්වලට සෙසු බළසේනාංකාධිපති වරු, සේනාධිපතිවරු ඇතුලු නිලධාරීන් පත්වුයේ ඒ ආකාරයෙනි.

 මාවිල්ආරු සොරොව්ව

‘රටක් පාලනය කරන රජකෙනෙකු සතු වාසනා ගුණය ඒ රටේ ජනතාවගේ ජීවිත ආලෝකමත් කිරීමට බලපාන බව ඈත අතීතයේ රජ දවස සිට පැරැන්නන් කියන අදහන කතාවකි. එම වාක්‍යය සත්‍යයක් බවට පත් කරමින් අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වූ පසු මේ රටේ ජනතාවට එතුමාගේ වාසනා ගුණේ පිහිට ලැබෙන්නට පටන් ගත්තා යැයි කීවත් එය නිවැරැදි ය.

කුමක් හී ප්‍රහාරයක් එල්ලකර රටේ යුද්ධයක් ඇති කිරීමට මුලපුරමින් සිටි කොටි ත්‍රස්තවාදින් මාවිල්ආරු සොරොව්ව වසා දැමුවේ රටේ ජනතාව බිය වැද්දීමට මෙනි. දහස් සංඛ්‍යාත ජනතාව වතුර නොමැතිව පීඩාවට පත්වෙද්දී කුඹුරු අක්කර දහස් ගණන් ජලය නැතිව විනාශ වී යද්දී තවත් බලා සිටීමට හැකියාවක් තිබුණේ නැත. නැඟෙනහිර මානුෂීය මෙහෙයුම ආරම්භවුයේ ඉන් අනතුරුවය.

මාවිල්ආරු සොරොව්ව යළි විවෘත කර නැඟෙණහිර ජනතාවගේ ජීවිත ගොවිතැන්වලට අවශ්‍ය ජලය ලැබුනේ ආරක්ෂක හමුදා ප්‍රවිෂ්ඨ වූ ජයග්‍රහණයක් උදා කර ගනිමින් ය. මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමෙන් පසු කොටින්ට එරෙහි මෙහෙයුම නැවැත්වීමට සේනාධිනායක ජනාධිපතිතුමා ගෙන් නියෝග ලැබුනේ නැත.

නැගෙනහිර පළාතේ සියලුම කොටි බළකොටු විනාශ කර දමා ඔවුන් සිරකරගෙන සිටින අහිංසක මිනිස් ජීවිත බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස් ලැබුණි. නැගෙනහිර මානුෂීය මෙහෙයුම ආරම්භ වුණේ ඒ ආකාරයටය.

 අභීත සේනාධිනායක

නැගෙනහිර මානුෂීය මෙහෙයුම එසේ ආරම්භ වෙද්දී ඒවාට මුහුණ දෙන ආරක්ෂක අංශවලට අවශ්‍ය අවි ආයුධ යුද උපකරණ ඇතුලු සියලු දේවල් විදේශ රටවලින් ගෙන්වීම සිදු කෙරුණි. ඒ සඳහා රුපියල් කෝටිගණනින් මුදල් වියදම් කිරීමට සිදුවුයේ හිස් වූ භාණ්ඩාගාර රටේ ආර්ථික ප්‍රශ්න සිය ගණනක් තිබියදී ය.

එහෙත් කොපමණ ගැටලු තිබුණත් තැබූ පය පසුපසට නොගන්නා අභීත සේනාධිනායක ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට අවශ්‍ය සියලු දෑ ලබා දුන්නේය. එතෙක් හරි හැටි සපත්තු කූට්ටමක් වෙනත් අවශ්‍යතා නොතිබු හමුදා භට පිරිස්වලට අවශ්‍ය සියලු දෑ ලබා දීමට පියවර ගත්තේ ය.

ජාත්‍යන්තර නායකයන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගනිමින් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට කටයුතු කෙළේය. එපමණක් නොවේ මේ රටේ ජනතාවගේ සහයෝගය එම මෙහෙයුම් සඳහා ලබා ගැනීම තවත් වැදගත්ම කරුණක් විය.

කොටි ත්‍රස්තවාදීන්ගේ මහා බළකොටු බවට පත්වී තිබූ, සාම්පූර්, වාකරේ, ඊචලන්පත්තු, මඩකලපු, වාලච්චේන, වව්නතිව් තොප්පිගල ඇතුලු ප්‍රදේශ ඉක්මනින් ආරක්ෂාක හමුදා යටතට පත්වූනේ ත්‍රස්තවාදීන් විසින් මිනිස් පළිහක් ලෙස යොදාගෙන සිටි දහස් සංඛ්‍යාත අහිංසක ජීවිත ද බේරා ගනිමින්ය. ඔවුන් අනාථයන් බවට පත්වීමට ඉඩ නොතබා සියලු ප්‍රදේශ යළි සශ්‍රීක කර ඔවුන් පදිංචි කරවන තෙක් සරණාගත කඳවුරුවල තබා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද පියවර ගැනිණි.

නැගෙනහිර බළකොටු වල සිටි කොටි නායකයන් විශාල පිරිසක් නැගෙනහිර මෙහෙයුම හමුවේ පරාජය වී විනාශ වී ගියහ. තවත් පිරිසක් උතුරට පළා ගියහ. නැගෙනහිර අහිමිවූවත් උපක්‍රමිකව ගරිල්ලා සටන් යොදා යළි එම ප්‍රදේශ අත්පත් කරගන්නා බවට කොටි ත්‍රස්තවාදීන් වහසි බස් දෙඩුහ.

නැගෙනහිර අහිමි වූවත් උතුරට ඉහළින් දකුණෙන් එන කපුටකුටවත් පියාඹන්නට ඉඩදෙන්නේ නැති බවත් උතුරට අත තැබුවහොත් දකුණ ලේ ගංගාවක් කරන බවටත් කොටි නායක ප්‍රභාකරන් ජාත්‍යන්තරයට පවා මාධ්‍ය හරහා ප්‍රචාරය කෙළේය.

නැගෙනහිර ජයග්‍රහණය ලබාගෙන අවසන්වීමටත් පෙර උතුරට ආරක්ෂක අංශ හැරුනේ ප්‍රභාකරන්ගේ එක ද වචනයකින්වත් එක මොහොතකටවත් නිසල නොවෙමින් ය.

උතුරු මෙහෙයුම පැති පහකින් ආරම්භ වුනේ ඒ අනුවයි. තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ මෙහෙයුම් සිදු කිරීමට සේනාධිනායකයානන්ගෙන් ආරක්ෂක ලේකම්වරයාටත් ත්‍රිවිධ හමුදාවටත් අවසර ලැබුණි.

එ අතර ඒ අවශ්‍ය සෑම සියලු දැයක් සම්බන්ධවත් එදිනෙදා සිදුවන මෙහෙයුම් වල ප්‍රතිඵල පිළිබඳ සොයා බැලීමටත් ජනාධිපතිතුමා අමතක කෙළේ නැත.

දකුණ මෙන් නොව උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ වෙනවාත් සමඟ එම මෙහෙයුම පවත්වා ගැනීම සඳහා කොටි හිතවාදී ජාත්‍යන්තර බලවේග යෙදූ පිඩනය රටක නායකයකුට දරා ගැනීමට හැකි තරම් නොවීය.

එපමණක් නොවේ රටතුළ සිටින ඇතැම් බලවේග ඉතා නින්දිත ආකාරයෙන් එම මෙහෙයුම් නවත්වා ගැනීමට ක්‍රියා කළහ. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිවරු ඝාතනය කර මෙහෙයුම් නවත්වා ගැනීමට කොටි ත්‍රස්තවාදීන් පමණක් නොව ඔවුන්ට හිතවත් ජාති ද්‍රෝහී සිංහලයන් පවා කටයුත කළහ. ආරක්ෂක අංශවලට කිසිම ආකාරයකින් ත්‍රස්තවාදය විනාශ කළ නොහැකි බව පැවසූහ.

ආරක්ෂක හමුදා කිලිනොච්චි කියමින් මැදවච්චියට අලිමංකඩ කියා පාමංකඩ යන බවත් පවසමින් දිනපතා මියයන හමුදා භට පිරිස්වල සංඛ්‍යා ලේඛන එකතු කිරීමට ඇතැම් බලවේග කටයුතු කළහ.

ත්‍රස්තවාදී ඉලක්කවලට එල්ල වන ප්‍රහාර අහිංසක දෙමළ වැසියන් සිිටින ගම්මානවලට එල්ල කරන බව පෙන්වමින් ජාත්‍යන්තරය ලවා මෙහෙයුම නවත්වා ගැනීමට තවත් පිරිසක් කටයුතු කෙළේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර රටට සාමය උදාකිරීමට අතිගරු ජනාධිපතිතුමා ගෙන ගිය අවංක කැපවීමට එල්ල වූ ප්‍රහාර ලෙසිනි. පෙනෙන්නට වූ ඒ ප්‍රහාරවලට අමතරව නොපෙනෙන අභ්‍යන්තරයෙන් සිදුවූ තවත් කුමන්ත්‍රණ අප්‍රමාණ විය.

එහෙත් අතිගරු ජනාධිපතිතුමා කිසිම ආකාරයකින් ඉදිරියට තැබූ පය ආපස්සට නොගෙන සේනාධිනායකයා වශයෙන් ආරක්ෂක හමුදාවලට නොනැවතී ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ සුලිසුලඟකින් මහා කුණාටුවකින් චන්ඩමාරුතයකින් නොසැලී බලා සිටින මහා වෘක්ෂයක් මෙනි.

 චිත්ත ධෛර්යය

රණවිරු සොයුරන් බැලීමට නෑගම් ගිය රාජ්‍ය නායකයා...

එතුමාගේ ඒ ශක්තිය ධෛර්යය නිවැරැදි නායකත්වය ආරක්ෂක හමුදාවල චිත්ත ධෛර්ය තව තවත් වැඩි කිරීමට හේතු විය. ඇතැම් ආරක්ෂක හමුදා සාමාජිකයන් නිවාඩු ලැබුණත් නිවසට යාමට තරම් නොපෙළඹී යුද්ධය ජයග්‍රහණය කර නිවසට යනවා යන අරමුණින් ගිනි අවිය බිම නොතැබීමට තරම් චිත්ත ධෛර්යය ඉහළම තැනක තබාගෙන සිටියහ.

ජනාධිපතිතුමාගේ ඒ ශක්තිය ධෛර්යය ආරක්ෂක ලේකම්තුමාටත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ දකුණෙ ආරක්ෂාව තහවුරු කළ පොලිසියටත් මහා බලවේගයක් ශක්තියක් ම විය.

ඒ ආකාරයෙන් උතුරේ සිදුවූ මානුෂිය මෙහෙයුම හරහා ලෝකයේ දරුණුම ගරිල්ලා නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ සියලු කොටි නායකයන් විනාශයට පත් වුයේ ලෝකයත් මවිතයට පත් කරවමිනි.

ප්‍රභාකරන්ගේ මළ සිරුර නන්දිකඩා කලපුවේ තිබී සොයාගත් මොහොතේ මේ රටේ ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝකයේම ජනතාව සියලු කර්තව්‍යයන් නවත්වා ඒදෙස බලා සිටියේ ඒ අභිත ජයග්‍රහණයට නායකත්වය දුන් අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි උපන් ගෞරවය උතුරා නැගෙන හදවත් වලින් යුතුවයි. රටට නිදහස උදා වූ බව ලෝකයම දැනගත්තේ ඒ අවස්ථාවේ ය.

ලෝකය ගිල ගැනීමට බලාසිටි කුරිරු ත්‍රස්තවාදී නායකයෙක් ඔවුන් එතෙක් ;ලීකයාටම පෙන්වූ මුලාව දෙමළ ජනතාවගේඑකම ගැලවුම්කාරයා බව කියමින් ඔවුන් ගත කළ සැපවත් ජීවිත එතෙක් දෙමළ ජනතාවත් ජීවිත විනාශකර ඔවුන්ගේ ශක්තියෙන් කොටි නායකත්වය ඒ සැප සම්පත් ලබාගත් අයුරු ලෝකයාටම දැකගැනීමට හැකිවිය.

ප්‍රභාකරන්ගේ වචනයෙන් ගිනිගෙන සිටි දෙමළ ජනතාවත් හදවත් නිවාසනහාලුයේ ජනාධිපතිතුමාගේ නායකත්වය තුලින් සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් අනතුරුවය.

මීට වසර හතරකට පෙර එතුමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ සිත තුළ වූ ඒ සැළසුම්වල අංක එකට යොදා ගෙන සිටි ත්‍රස්තවාදය තුරන් කිරීමේ ඒ අරමුණ ක්‍රියාවට නංවා ඉතා කෙටි කාලයක් තුළ ලොවක් මවිතයට පත්කරවමින් එම අරමුණ ජයග්‍රණය කළේය.

එතුමා ඒ සතුට විඳ දරාගත්තේ ජයග්‍රහණයක් සමඟ විදේශ රටක සිට මෙරටට පැමිණ පය ගැසූ අවස්ථාවේ මේ ලක් දෙරණට හිස තබා වැඳ ආචාර කර සිප ගනිමිනි. මේ ලක් දෙරණේ ඉතිහාසයේවත් කිසිඳු නායකයකු එවැනි ආකරයකින් මේ පුංචි රටට ගෞරව කළ බවක් අසා නැත.

දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයාටම පිළලයක් වූ ත්‍රස්තවාදය තුරන් කළ අභිත නායකයා අතිගරු ජනාධිපතිතුමා බව ඉතිහාසයට එක් වූයේ මෙවැනි කුරිරු ත්‍රස්තවාදයත් එතුමා පදවි ප්‍රාප්ත වී සිවු වසක් වැනි කෙටි කාලයක් තුල සිදුකිරීමේ පුදුමය ද ඉතිහාසයට එක් කර වමිනි.

 උතුම් කීර්තියක්

එතුමා එතැනින් නතරවූයේ නැත. මෙරටින් ත්‍රස්තවාදය තුරන් කළත් ත්‍රස්තවාදයේ සෙවනැලි යළි හිස එසවීමට ඉඩ ඇති බව ජනාධිපතිතුමා ලෝකයටම පෙන්වා දුන්නේ ය. ජාත්‍යන්තරයෙන් ද ත්‍රස්තවාදය විනාශ කර දැමීමට අවශ්‍ය මෙහෙයුම් සිදු කිරීමට සහාය ඉල්ලා සිටියා ය.

එතුමාගේ ඒ ඉල්ලීමත් ක්‍රියාකාරීත්වයේත් ප්‍රතිඵල පෙන්වමින් කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායකයා කේ. පී. අත්අඩංගුවට ගැනීමේ සුවිශේෂී ජයග්‍රහණය ද ලබා ගත්තේ ය. එතුමාගේ එඩිතර බව ලෝකයාට තව තවත් පෙනුණේ එවිටය.

කේ. පී. මේ පුංචි රට තුළ ආරක්ෂා සහිතව රඳවාගෙන ජාත්‍යන්තරය පුරා ගිල ගෙන තිබූ ත්‍රස්තවාදයේ සුළ මුල පිළිබඳ තොරතුරු සොයාගෙන ලෝකයාට සිදුවෙන්නට තිබූ අනතුරු ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළි කරවා ගැනීමට සමත් වූයේය.

දශක තුනක් තිස්සේ මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තරය පුරා ද ත්‍රස්තවාදය මොන තරම් ඉහළ තත්ත්වයකින් ගොඩනගාගෙන තිබුණාද යන්න මේ වනවිට හෙළිවී හමාරය.

සාමාන්‍ය ධන කුවේරයන් මෙන් පෙනී සිටිමින් ත්‍රස්තවාදීන් ලෝකය පුරාවට ලඟා කරගෙන තිබූ සම්පත් ප්‍රමාණය මොන තරම්ද යන්න මේ වන විට හෙළිවී හමාරය. අතිගරු ජනාධිපතිතුමා බලයට එන අවස්ථාවේ එතුමාගේ සිත තුළ වූ ත්‍රස්තවාදය තුරන් කිරීමේ අරමුණ මේ ආකාරයෙන් ක්‍රියාවට නැංවී ත්‍රස්තවාදයේ අවසානය දක්වා ගෙන නො ආවානම් අද මේ තරමින් ලෝකය පුරා ගිලගෙන තිබු ත්‍රස්තවාදය ඒ ආකාරයෙන් ම සැඟවී තිබෙන්නට ඉඩ තිබුණි.

ජාත්‍යන්තරයේ සිටින රාජ්‍ය නායකයන්ටත් තම රටේ තිබූ ත්‍රස්තවාදයේ තරම දැන ගැනීමට නොහැකිව තිබියදී එහි සියලු තතු හෙළි කිරීමට පුරෝගාමිවූයේ මේ පුංචි රටේ නායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය. එතුමා නිසා අද නිදහසේ නියම සතුට ලබන මෙරට සහ ජාත්‍යන්තර මිනිස් හදවත් සංඛ්‍යාව කෝටි ගණනකි.

අද අප රටට ජාත්‍යන්තරය පුරා උතුම් කීර්තියක් ලැබී තිබියදී ජාත්‍යන්තරයට පා තබන මේ පුංචි රටේ පුංචි මිනිසුන්ගේ හදවත්වලට දැනෙන්නේ මහත්වූ අභිමානයකි.

ඒ අභිමානය ඉතිහාසයේවත් කිසිදු ලක්වාසී ජනතාවට හිමි නොවූ එකකි. ඒ අභිමානය ලබා දුන්නේ අද මේ පදවි ප්‍රාප්තියෙන් පිදුම් ලබන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය. එතුමා වෙනුවෙන් මේ රටේ ජනතාවගේ හදවත් වල ඇති ගෞරවය භක්තිය වචනයෙන් කියා නිම කළ නොහැකිය.

අකුරින් ලියා නිම කළ නොහැකිය. එතුමා වෙනුවෙන් වූ ඒ ගෞරවය විනාශ කිරීමට කටයුතු කරන කිසිදු බලවේගයකට මේ රටේ ජනතාව බිලි ගැනීමට කිසිදා ඉඩක් නොමැති බව සහතිකය.


සබැඳි පුවත්