මුද්‍රණය සඳහා

 
2005 ජනපතිවරණ ප්‍රතිඵලවලට නොදෙවැනි ජනවරමක් මෙවර ජනපති මහින්දට ලැබෙනවා

2005 ජනපතිවරණ ප්‍රතිඵලවලට නොදෙවැනි ජනවරමක් මෙවර ජනපති මහින්දට ලැබෙනවා

- විමල් වීරවංශ

2005 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට එහා ගිය සුජාත ජනවරමක් මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් මෙරටින් අතුගා දමමින් ආර්ථික, සමාජීය හා සංස්කෘතික පුනරුදයක් ඇති කිරීමට කැපවීමෙන් කටයුතු කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවද හෙතෙම අවධාරණය කෙළේය.

දැනට ත්‍රස්තවාදය අතුගා දැමීම කර ඇතත් මවිබිම අධිරාජවාදී කුමන්ත්‍රණවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැති බව පෙන්වාදුන් වීරවංශ මහතා දෙවැනි නිදහස් අරගලයේ දෙවන පරිච්ඡේදය ආරම්භ කිරීමට කාලය එළැඹ ඇති බවද කීවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ විශේෂ සමුළුවට සහභාගිවෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය. මේ සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (02) සවස පැවැත්විණ.

අධිරාජ්‍ය ගැති බලවේග එකතුවෙමින් දේශපාලන පොරපිටියේදී රනිල් වික්‍රමසිංහට බලය ලබාදීමට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබෙන බවත් එම අපේක්ෂකයා විජාතික ඉත්තෙක් බවට පත්කරගෙන ඇති බවත් ජනිපෙ නායකයා පවසයි.

ජාතික නිදහස් පෙරමුණු විශේෂ සමුළුවට සහභාගි වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම සහ සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරු මෙහි වෙති. ඡායාරූපය - සමන්ත වීරසිරි

මේ සියලු අධිරාජ්‍යගැති කුමන්ත්‍රණ පරාජය කිරීමට ජාතියක් වශයෙන් දෑහිතකාමී පිරිස් එකතු වී කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කෙළේය.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීවේය. අද අපේ රට වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබේ. දේශපාලන පොරපිටියේ සිටින විජාතික ඉත්තෝ මේ රට දෙකඩ කිරීමට කුමන්ත්‍රණයක් දියත් කරමින් තිබෙනවා.

මෙය පරාජය කිරීමට දේශප්‍රේමී බලවේගවල තියුණු මැදිහත්වීමක් අවශ්‍යයි. නිදහසේ දෙවැනි පරිච්ඡේදය නමැති විලිරුදාවෙන් මාතෘභූ®මිය පෙළෙන මෙවන් මොහොතක ඒ මහා සටන වෙනුවෙන් අපගේ ශක්තිය මුදාහල යුතුයි.

ත්‍රස්තවාදය මේ රටින් තුරන් කළ පළමු නිදහස් සටන අංග සම්පූර්ණව අවසන් නැහැ. රට නිදහස් කර ගැනීමේ සටනේ සිටි පිරිස් අද රට වනසන කුමන්ත්‍රණවලට හසුවෙලා.

එම නිසා දෑහිතකාමී පිරිස් එක්වෙලා මාතෘ භූමිය මේ කුමන්ත්‍රණකාරීන්ගෙන් බේරාගත යුතුයි. ත්‍රස්තවාදයෙන් මේරට බේරාගෙන ආර්ථික සංස්කෘතික හා සමාජීය පුනරුදයක් ඇති කිරීමට අවශ්‍ය මිතුරු සේනාංකයක් ලෙස අප කටයුතු කළා.

මෙතෙක් අප රටේ ඉතිහාසයේ නිදහස් අරගලයක් සම්පූර්ණයෙන් නිම කර නැහැ. එහි නැවත අධිරාජ්‍යගැති කොටස් නැවත රට අරාජිකත්වයට ගෙනයාමට කුමන්ත්‍රණ සිදුකරලා තිබෙනවා. වර්තමානයේදීත් එය එලෙසින්ම ක්‍රියාත්මක වෙලා.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් මේරටින් අතුගා දමා ජාතියක් හැටියට සංවර්ධන ගමන් මඟට අවතීර්ණ වෙනකොටම අධිරාජ්‍යවාදී ගැති කුමන්ත්‍රණ ආරම්භ කර රට අරාජික කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම නිසා දෙවැනි නිදහස් සටනේ දෙවැනි පරිච්ඡේදය ලෙස එම කුමන්ත්‍රණ පරාජය කිරීමට අප එකාවන්ව කටයුතු කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනවරමෙන් මේ රටේ සිටි අධිරාජ්‍යවාදී කුලී හමුදාව අතුගා දැමීමට කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය වූ සියලුම ශක්තිය මහින්ද රාජපක්ෂ මහතාට තිබුණා. එතුමා අධිරාජ්‍යවාදී කුලී සේනාංක නැතිකරන්න ගත් තීරණයට එරෙහිව අන්තර්ජාතික බලවේග විවිධ බාධා එල්ල කළා. නමුත් අන්තර්ජාතික බලවේග හමුවේ දණින් වැටීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කෙළේ නැහැ.

ඒ සඳහා දේශමාමක ජනතාව එතුමා වටා සිටගෙන ශක්තිය ලබා දුන්නා. එම කුලී සේනාංක විනාශ කරමින්ම 2005 ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව ඉටුකළා. එයින්ම ඔප්පු වෙනවා මේ රට ඉදිරියට ගෙනියන්න සැබෑ ඕනෑකමක් තිබෙන බව. මෙතෙක් බලයට පත්වූ සියලුම ජනාධිපතිවරු මේ අධිරාජ්‍යවාදී කුලී සේනාංකය විනාශ කිරීමට කටයුතු කෙළේ නැහැ. මොකද? ඔවුන්ට ලැබෙන මුදල් නැතිවෙනවා. හොරකම් කරන්න බැරිවෙනවා.

අන්තර් ජාතික පදේට නටන්නෙ නැතිව රට වෙනුවෙන් කටයුතු කරද්දී අධිරාජ්‍යවාදී බලවේගවලට මෙය දරාගන්න බැරිවුණා. එම නිසා කෙසේ හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කිරීමට එම බලවේග කටයුතු කරමින් සිටිනවා. මේ රට සාමයෙන් දිදුළන බව එම අධිරාජ්‍යවාදීන්ට පේන්න බැහැ. ඔවුන් අධිරාජ්‍යවාදී කල්ලියට රට භාරදීමට සියලු දේ කරමින් සිටිනවා.

ජාතික සමඟියකින් යුතුව අනාගත දූ දරු පරපුරට සෞභාග්‍යවත් අනාගතයක් උදාකරදීමේ උතුම් චේතනාවෙන් රජය කටයුතු කරගෙන යනවා . ඒවා දැකලා අධිරාජ්‍යවාදීන් සුසුම්ලමින් ඉන්නවා. කෘෂිකර්මය නඟාසිටුවීමට කටයුතු කර තිබෙනවා. අද කෘෂිකර්ම විප්ලවයක් මේ රටේ තිබෙනවා. සෑම ගමක නගරයක දරුවන්ට අධ්‍යාපනයක් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. අනාගත පරපුරට වීරවික්‍රම ඉතිහාසයක් උරුමකර දී තිබෙනවා.

නැඟෙනහිර පළාතේ කෘෂිකර්මාන්තය මගින් රට ස්වයං පෝෂණය වන බව ජාතිය බලාගෙන ඉන්නවා. මුදාගත් උතුරු ප්‍රදේශය රටේ සංවර්ධනයට දායක කරගන්නා තුරු ජාතිය බලාගෙන ඉන්නවා. මුහුදේ ශක්තිය ගෙන රට සංවර්ධන වනතුරු ජාතිය බලාගෙන ඉන්නවා.

ඒ සියලු දේවල් සිදුකෙරෙමින් පවතින වෙලාවක දිනාගත් ඓතිහාසික ජයග්‍රහණය ජාතියේ සුරතින්ම උදුරාගන්න දේශද්‍රෝහී කඳවුර බලාගෙන සිටිනවා. දෑහිතකාමී ජාතියෙන් එම ජයග්‍රහණය උදුරාගන්න එම කුමන්ත්‍රණ මාන බලනවා. එයට අප ජාතියක් වශයෙන් ඉඩ දෙන්නෙ නැහැ.

මෙතරම් අතිසාර්ථකව රට ඉදිරියට ගෙන යන රජය පෙරලන්න වත්මන් විපක්ෂයට හැකියාවක් නැහැ. එම නිසා පරණ නළුවා අයින් කරලා අලුත් නළුවෙක් වේදිකාවට එකතු කරලා බලයට එන්න විපක්ෂය උත්සාහ කරනවා.

ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ චරිතාංග නළුවෙක් විදිහට රඟපාන්නත් පිඹුරුපත් සකස් කරලා තිබෙනවා. සියලු දේශමාමක, ප්‍රගතිශීලී බලවේග මෙයට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැහෙමින් සිටින්නේ.

මේ දේශද්‍රෝහී හවුල දැනටමත් අවුල් වෙලා. පොදු අපේක්ෂකයා කියනවා 13 වැනි සංශෝධනයට එහාගිය විසඳුමක් දෙනවා කියලා. නමුත් මේ හවුලේ ඉන්න ජවිපෙ තමන්ගේ ප්‍රතිපත්ති පවා උකස් කරලා තිබෙනවා. පොදු අපේක්ෂකයාගේ ඒ ප්‍රකාශය පිළිබඳ වචනයක්වත් කියලා නැහැ.

දේශප්‍රේමී ඉතිහාසයකට උරුමකම් කියන ජවිපෙ අද තම ප්‍රතිපත්ති පවා දෙමින් සිය පාක්ෂිකයන් දේශපාලනයේ වෙන්දේසි දමා තිබෙනවා. 2001 දී රනිල්ට බලයට ඒම වැළැක්වීමට ශ්‍රීලනිප සමඟ පරිවාසයකට ගියා.

නමුත් ජවිපෙ ප්‍රතිපත්ති පාවාලා දුන්නේ නැහැ. 2004 රජය සමඟ ගිවිසුමකට ගියා. නමුත් ජවිපෙ ප්‍රතිපත්ති පාවලා දුන්නේ නැහැ. අද ජවිපෙ සාමාජිකයන් වෙන්දේසි කිරීමට ජවිපෙ නායකයන් කටයුතු කර තිබෙනවා.

පොදු අපේක්ෂකයා කියනවා ආර්ථිකය ගොඩ නගන්න තිබෙන හොඳම ප්‍රතිපත්ති එජාපයේ කියලා. මේ කතාවටත් ජවිපෙ කට පියාගෙන හිටියා. මේ කියන්නේ සියල්ල එජාපයට ඕන විදිහට සැකසිලා තිබෙන්නේ .

එයට ජවිපෙ නායකයන් ඔලුව වනනවා විතරයි. අපි කියන්නේ ජවිපෙ නායකයන්ට මේ 17 වැනිදා වනතුරු කාලය තියෙනවා හිතල බලලා තීරණයක් ගන්න.

එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 දී ගෙනගියේ ගජ මිතුරු හවුලක්. රාජකීය විදුහලේ මිතුරන් පමණක් එදා රට පාලනය කළා. එදා එජාප ඇමැතිවරුන් පවා අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා හිටියෙ.

එම ගජ මිතුරු හවුල නිසා රට එන්න එන්න අරාජික වුණා. දැන් කියනවා ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. වංචාව දූෂණය වැඩිවෙලා කියලා. බලය ඉල්ලනවා. යහ පාලනයට දොරටු විවෘත කිරීමට බලය එජාපය ඉල්ලනවා. එජාපය බලයට ආවොත් බටලන්දෙ දොරටු විවෘත කරනවා මිසක් වෙනදෙයක් සිදුවෙන්නේ නැහැ.

මෙතෙක් හිඟන්නාගේ තුවාල වී තිබුණු යුද්ධය නතර කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. ඔය කියන රනිල් වික්‍රමසිංහ යුද්ධය නැවැත්වීමට කිසිම දෙයක් කෙළේ නැහැ. යුද්ධය මුවාවෙන් හොරාකපු එකයි කෙළේ. අද මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය, වංචාව දූෂණය ගැන කථා කරනවා. මේවා ජනතාවට අමතක නැහැ.

රනිල් වික්‍රමසිංහ කොතෙක් අධිරාජ්‍ය ගැත්තෙක් කියනවානම් ඔහු ලියූ ' අනාගත අභියෝග' නැමැති කෘතිය මුද්‍රණය කර දෙන්නේ ෆෙඩ්රික් නියුමාන් පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයයි. එහෙව් රනිල් වික්‍රමසිංහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරනවා. මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් තම ප්‍රතිපත්ති ප්‍රකාශන රාජ්‍ය නොවන සංවිධානවල මුදලින් මුද්‍රණය කරලා නැහැ.

රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂක තුරුම්පුව ගහලා කෙසේ හෝ විධායක අගමැතිකම ලබාගන්න අරඅඳීනවා. කොළඹ නගර සභාවට කණ්ණාඩිය ලකුණෙන් තරඟ කරලා ඒ කණ්ණාඩි ගලව ගන්න බැරිවූ වික්‍රමසිංහ ජනාධිපතිවරණය දිනන්න උත්සාහ කරනවා.

රනිල් දන්නවා මේ පොදු අපේක්ෂකය කීයටවත් දිනන්නෙ නැහැ කියලා මේ අපේක්ෂකයා දිනනවා කියලා දැනගත්ත නම් තම පක්ෂයේ අපේක්‍ෂක කම ඔහුට දෙන්නේ නෑ. මොකද රනිල් තව එකදවසක් හරි පක්ෂ නායකකම රැකගන්න උත්සාහ කරමින් ඉන්නේ. මොකද එක පැත්තකින් එස්. බී. නායකකමට එන්න බලාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් කරු ජයසූරිය නායකකමට එන්න බලාගෙන ඉන්නවා.

එම නිසා මේ අපේක්ෂකකම සරත් ෆොන්සේකට දුන්නා. ෆොන්සේකා මහතා මේ කන්නේ අනුන්ගේ පරිප්පුවක්. මේ ඡන්දයෙන් පොදු අපේක්ෂකයා පරාජය වූ ගමන්ම රනිල් ප්‍රකාශ කරනවා. මම ඉල්ලුවනම් මීට වඩා ඡන්ද ගන්නවා. පක්ෂය තෝරපු නිසා මේ පොදු අපේක්ෂකයාට එකඟ වුණා කියලා . එහෙම කියලා එජාප නායකකම රැකගන්නවා. මේ හොර හවුලට එකතු වී සිටින සියලු දෙනාම පුද්ගලික තරහ පිරිමහගන්න අයයි.

මේ ආත්ම කේන්ද්‍රීය වෛරකාරී හවුලක්. මේරට, අවශ්‍යවන්නේ වෛරීය දේශපාලන නොවෙයි. මේ රට ගොඩනගන, රටට ආදරය කරන දේශපාලනයක්. ඒ දේශපාලන සුවද අද ලැබිල තිබෙනවා. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පිබිදෙන දේශපාලන කඳවුරයි. දේශපාලනයේ එදා වේල පිරිමහගන්න අපට මේ රට ගැන කිසිම හැගීමක් නැහැ.

ඉතිහාසයේ මේ වගේ වෛරීදේශද්‍රෝහීන් මේ රටේ සිටියා. 1815 දී ඇහැලේපොළ ඉංගී‍්‍රසීන්ට රට ලියා දෙන්නේ ඔවුන්ට තමන්ට ලබා ගන්නට. නමුත් වුනේ අන්තිම රාජධානියත් ශ්‍රී ලංකේය ජාතියට අහිමිවීමයි. රනිල් වික්‍රමසිංහත් නූතන ඇහැලේපොළ කෙනෙක්. ඔවුන්ගේ මේ වෛරී දේශපාලන හවුල පරාජය කිරීමට දේශමාමක ප්‍රගතිශීලී ජනතාව ජනවාරි 26 පෙළගැසිය යුතුයි.

මේ දේශද්‍රෝහී කඳවුර පරාජය කිරීමෙන් පමණක් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. දේශප්‍රේමී දෑහිතකාමී ජනතාව නිරන්තර අවදියෙන් ඉදිරියට සිතිය යුතුයි. ජාතිය වෙනුවෙන් සුජාත ජනවරමක් ලබාගෙන ඉදිරි පරම්පරාවට සෞභාග්‍යමත් රටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

ඒ සඳහා ප්‍රගතිශීලී දේශමාමක ජනතාවගේ ශක්තිය අපට අවශ්‍යයි. එය අපට ලැබෙන බව විශ්වාසයි. සෞභාග්‍යමත් රටක් බිහි කිරීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා. මෘතෘ භූමියට ජයවේවා ! ජාතික නිදහස් පෙරමුණට ජයවේවා! ජනාධිපතිතුමාට ජයවේවා !

ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජනසේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා

ජාතික නිදහස් පෙරමුණේ විශේෂ සමුළුවට ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සමස්ත සාමාජිකයින්ගේ ප්‍රණාමය මා මේ මොහොතේ පුදකර සිටිනවා.

රටට අවශ්‍ය මොහොතක ප්‍රබුද්ධ පක්ෂයක් ලෙස බිහිවී ජාතික නිදහස් පෙරමුණ ඉටු කළ කාර්යයට සියලු දෙනාගේම පැසසුම් ලැබෙන බව නොඅනුමානයි.

21 වැනි සියවසට පිය මනිමින් සිටි අපට තිබූ ලොකුම ප්‍රශ්නය වූ ත්‍රස්තවාදය අද අවසන් වී තිබෙනවා. එම ප්‍රශ්නය විසැඳීමට ජාතික නිදහස් පෙරමුණ ලබාදුන් සහය අගය කළ යුතුයි.

දේශද්‍රෝහි බලවේග එක කඳවුරකට රොක් වෙමින් සිටි මොහොතක ඊට එරෙහිව පෙළ ගැසුණු ජාතික නිදහස් පෙරමුණ වත්මන් රජය හා එක්වී එම දේශද්‍රෝහීන් පරාජය කරන්න කටයුතු කළ බව මා මේ මොහොතේ ඔබ සියලු දෙනාට මතක් කළ යුතුයි.

ඔබේ පක්ෂයේ දර්ශනය, ප්‍රතිපත්ති ඉතා පැහැදිලියි. එම ප්‍රතිපත්ති හා දර්ශනයන් සමඟ රට ගැන හිතන ඕනෑම අයෙකුට එක්විය හැකියි. රට වෙනුවෙන් රන්වන් කාර්යක් ඉටුකරන ඔබ ඒ වෙනුවෙන් ඉතා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර තියෙනවා.

මා මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගැන විශේෂයෙන් කතා කළ යුතුයි. මීට දශක එක හමාරක පමණ කාලයක සිට තරුණ දේශපාලඥයකු ලෙස එතුමන් තම හැකියාවෙන් උපරිම සේවාවක් රටට සිදුකර තියෙනවා.

කිසි දිනෙක දේශද්‍රෝහි කාර්යන්ට උඩගෙඩි නොදුන් එතුමා සැමදා දේශපේ‍්‍රමී බලවේගයන් ජයග්‍රහණය කරවීමට දිවි හිමියෙන් කැපවුණා.

ඔබේ පක්ෂයට ඉතා දිගු ගමනක් යාහැකියි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව, පිරිස ඔබ සතුව සිටිනවා. ඉදිරියටත් තව තවත් පිරිස් ජාතික නිදහස් පෙරමුණ වටා එක්රොක්වේවි. එම ශක්තිය යොදාගෙන තව තවත් ජයග්‍රහණ ගෙන එන්න කියා මා ඉල්ලා සිටිනවා.

රට හමුවේ අභියෝග පැමිණි සෑම මොහොතක ඔබ පෙනී සිට ජයග්‍රහණ ලබාදුන්නා සේ එළැඹෙන ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණ ලබාදෙන්න එක්වන්නැයි මා ඉල්ලා සිටිනවා.

එළැඹෙන ජනාධිපතිවරණය අප විශිෂ්ට ලෙස ජයගන්නවා. කුමන බලවේග, කුමන ආකාරයෙන් පැමිණියත් එය අපට අභියෝගයක් නොවෙයි. අප සමඟ එක්ව ජාතියේ නායකත්වය ගොඩනැංවීමට එක්වන්නැයි ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබ අප එකතු වුණහොත් ඕනෑම බලවේගයක් පරාජය කළ හැකියි. එය ජනවාරි 27 වැනිදා එළිවෙන විට සනාථ කර පෙන්වමු යැයි ද හෙතම කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා

අප රටේ දේශපාලන ඉතිහාසයේ අලුත්ම පරිඡේදයක් ලිවීමට ජාතික නිදහස් පෙරමුණට හැකිවී තිබෙනවා. එම පෙරමුණ බිහිවූදා සිටම මෙරටට ලබාදුන් ජයග්‍රහණ අප්‍රමාණයි.

දෙස්, විදෙස් බලවේග රට දෙකඩ කරවීමට උත්සහගත් සෑම මොහොතකම එය නිවැරැදිව හඳුනාගනිමින් එම බලවේග පරාජය කිරීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කළ ආකාරය අපට අමතක වන්නේ නැහැ.

එදා දේශපේ‍්‍රමීන්වී සිටි පිරිස් අද දේශද්‍රෝහි කොටස් සමඟ එකතුවී රට විනාශය කරා ඇදගෙන යාමට උත්සාහ ගනිමින් සිටිනවා. මේ තත්ත්වය ගැන රටේ ජනතාවට නිසි අවබෝධය ලබාදිය යුතුයි. තවදුරටත් දේශපේ‍්‍රමීන් ලෙසට ගසාගෙන තිබෙන ලේබලය මෙවැනි පිරිස් කෙරෙන් ඉවත්කළ යුතුයි. එසේ නැති වුණහොත් මොවුන් තවතවත් බොරු බේගල් කියමින් ජනතාව රවටනවා.

දේශද්‍රෝහි බලවේග පරාජය කිරීමට අප සමඟ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ එකතුවී සිටීම අපට විශාල ශක්තියක්.

ලෝකයේ කිසිදු රටක දේශද්‍රෝහීන්ට වැඩි ආයු කාලයක් තිබුණේ නැහැ. විවිධ ස්වරූපවලින් ඔවුන් වෙස් මාරු කර – කර සිටියත් අවසානයේ සැබෑ මුහුණ එළියට එනවා.

අද අපේ රට තුළත් වෙස් මාරුකරමින් හතුරුකම් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටිනවා. එහෙත් ජනතාවට වගකියන රජයක් ලෙස අප ජනතාවට අහිතක් වන කිසි දෙයක් වීමට ඉඩ තබන්නේ නැහැ.

‍්‍රස්තවාදය නැතිකර රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යන නායකයාට කළගුණ සැලකීමට ජනතාවට අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙය අප ලබා දුන් අවස්ථාවක් නොවෙයි. ජනතාව විසින්ම ඉල්ලා සිටි අවස්ථාවක්.

නිදහසින් පසු කිසිම දිනක මෙවැනි සංවර්ධනයක් අත්කරගෙන නැහැ. එකවර මුළු රටම දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන ගිය රජයක් මෙතෙක් බිහිවී නැහැ.

මේ සියලු කාර්යන් තවදුරටත් ගෙනයාමට ඔබගේ ශක්තිය අපට අවශ්‍යයි. එම ශක්තිය දෙගුණ, තෙගුණ කර ලබාදී සංවර්ධන කර්යයට උර දෙන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියෝ

ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත් තැනක් විවර කිරීමට ජ.නි. පෙ කටයුතු කැර තිබෙනවා. මෙම සම්මේලනය පැවැත්වීම ගැන පක්ෂයේ සියලු දෙනාට අපගේ ආශිර්වාදය ලැබෙනවා. අපි නොයෙක් පෙරමුණු හැදුවා. වසර තිහක් දිගට ඇඳීගිය ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කළා. එහි ජයග්‍රහණ ලබා ගන්න එකාවන්ව කටයුතු කළා.

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට අපට ජාතික වගකීමක් තිබෙනවා. ලබාගත් ජයග්‍රහණය නැවත සතුරන් අතට පත් වන්නට ඉඩ නොදිය යුතුයි. ඒ ගමන යාමට අපි අලුත් මාර්ගයක් නිර්මාණය කරගෙන ඉදිරියට යා යුතුයි.

අද අපට ඉදිරි අභියෝගය ජය ගන්නවා වගේම ජනිපෙ සමග සිටින ජනතාව සමඟ එක්ව අපි ලබාගත් ජයග්‍රහණය ආපස්සට ගෙනයාම වැළැක් විය යුතුයි. ඉදිරි කාලය ඉතාම තීරණාත්මකයි. දේශීය ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් ගොඩනැගීමට අප සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා

අද අපට බරපතල දේශපාලන අභියෝගයක් තිබෙනවා. දැන් සටන ආරම්භ වෙලා තිබෙනවා. දේශද්‍රෝහී හා දේශපේ‍්‍රමී කඳවුර සමඟ සටන ආරම්භ වෙලා තිබෙනවා. එදා අපිත් එක්ක හිටපු දේශපේ‍්‍රමී දුර්වලයෝ පහුබැහැල තිබෙනවා. මේක අපට පුරුදු සටනක්.

අප හොඳින් දන්නා සටනක් ජ. නි. පෙ සටනට සූදානම් කියලා අපි කියනවා. ඔබ දන්නවා පක්ෂයක් විදිහට අපේ පක්ෂයට කෙටි ඉතිහාසයක් තියෙන්නේ. එදා 2008 මැයි 01 වෙනිදා ජ. නි. පෙ බිහිකළා. ජවිපෙන් නැගිටල එද්දී අපට දේශපාලන විවේචනයක් තිබුණ ජවිපෙ ගැන.

ඔවුන් උපාය මාර්ගික පීළිපැනලා තිබුණා. අද ජවිපෙ ඔප්පු කරලා තිබෙනවා ජනිපෙ විවේචනය හරි කියලා. ජවිපෙ අදහසට අනුව අධිරාජ්‍යවාදී ගැත්තන්ගේ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්න තරම් ජ. වි. පෙ දේශපාලනය වරද්දාගෙන තිබෙනවා.

එදා අපට ගන්න තිබුණේ අරමුණු තුනයි. එක දේශපාලනයෙන් සමුගන්න එක දෙවැනි කාරණාව තමයි අපි සිවිල් වගකීම් දරන පුද්ගලයෝ අපට අවශ්‍ය නම් ජනාධිපතිතුමාගේ පක්ෂයට එකතු වෙන්න තිබුණා. ඊළඟ කාරණාව අලුත් පක්ෂයක් නිර්මාණය කරන එක. අද අපි අමාරුවෙන් හරි ඒක කළා. අද ජනිපෙ මේ අයුරින් එහෙමයි නිර්මාණය වුණේ.

දේශපාලන පක්ෂ 60ක් තිබෙන අපේ රටේ ජනිපෙ නැමැති පැළය සිටුවීමට අප කටයුතු කරන්නේ කෙසේ ද කියලා අපි හිතුවා අධිරාජ්‍යවාදීගේ මතවාද දරන දේශපාලන ව්‍යාපාර, රට ගැන හිතමින් කරන දේශපාලන ව්‍යාපාර අපි දැක්කා. එයින් අපි තෝරා ගත්තේ ජාතික මතවාදයයි. දේශපේ‍්‍රමී මතවාදය ලාංකීය මතවාදය එයයි' අපේ අරමුණ වුණේ නූතන ජාතික ව්‍යාපාරයේ හොඳ දේශපාලනඥයින් නිර්මාණය කිරීමයි.

එමඟින් අපි ලාංකික සමාජයේ ජනිපෙ පැළය හිටෙව්වා. අද දැවැන්ත කඳවුරක් බවට ජනිපෙ පත්වෙලා තිබෙනවා. අපට පුළුවන් වුණා ලාංකේය මතවාදය සමාජය වේගයෙන් කාන්දු කරන්න පුලුවන් වුණා. මාතෘ භූ®මිය රැක ගන්න ඉදිරියට ආවා. දිස්ත්‍රික්ක 19ක වැඩකරන පක්ෂයක් සාදා ගැනීමට අපට පුළුවන් වුණා. යාපනය හා අනෙක් දිස්ත්‍රික්කවලට අප නිලධාරින් පත්කර ගැනීමට කටයුතු කරනවා.

ශිෂ්‍ය බලවේග කම්කරු බලවේග එක්ක දේශපාලනය කිරීමට අපට පුළුවන් වුණා. ඒ නිසා අපට හෙට අනින්දා එන සටන අමාරු එකක් නොවෙයි. මවුබිමට හතුරු වූ විජාතික බලවේග පරාජය කිරීමට අප සූදානම්.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා ප්‍රියංකා කොතලාවල මහත්මිය ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමද මෙහිදී සිදු විය.

මෙහි දී මහජන එක්සත් පෙරමුණේ් උප සභාපති පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි , ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහත්වරු සිය පක්ෂ වෙනුවෙන් සුබ පැතුම් එක් කළහ.

ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ, සංස්කෘතික කටයුතු ඇමැති පියසිරි විජේනායක , සංචාරක ඇමැති අචල සුරංග ජාගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්ම උදයශාන්ත ගුණසේකර , ජයන්ත සමරවීර, අංජාන් උම්මා, නිමල් පේ‍්‍රමවංශ, සමන්සිරි හේරත් , මොහොමඩ් මුසාමිල්, වීර කුමාර දිසානායක , දීපාල් ගුණසේකර , පළාත් සභා මන්ත්‍රීවරුන් වන රංගන ශිල්පී රොජර් සෙනවිරත්න, ලාල් කුලරත්න , දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරුන් රැසක් සහභාගි වී සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]