දිනමිණට නම දුන්රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ

දිනමිණට නම දුන් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති සහ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය

වලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමි

 

‘දිනමිණ දිනපතා ජාතික පුවත්පත සිය ශත සංවත්සරය අද මහත් අභිමානයෙන් යුතුව සමරයි. ඒ අනුව පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනත් දිනමිණ පුවත්පතත් අතර සහසම්බන්ධතාවටද සියවසක් සපිරේ. දිනමිණ නිර්මාතෘ හා ආරම්භක කර්තෘවරයා වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී එච්. එස්. පෙරේරා මහතා මුලින්ම කටයුතු කළේ එකල ප්‍රකට පුවත්පතක් වූ ‘සරසවි සඳරැස’ කතුවරයා වශයෙනි.

සඳරැස පළ කළ කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ ප්‍රධානීන් සමඟ මත ගැටුමක පැටලීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුකලෙක තනතුර හැරපියා යන්නට පෙරේරා මහතාට සිදුවේ. මේ අරගලයට මුල් වූයේ ප්‍රකට පඬිවරයකු වූ අධිනීතිඥ ඩී. බී. ජයතිලක මහතා විසින් සඳරැසට ලියන ලද ලිපියක් බව ඉතිහාසගත කරුණු අනුව අනාවරණය වේ. ඩී. බී. ජයතිලක මහතා විද්‍යාලංකාර මහා පිරිවෙන සෙවණේ හැදුණු වැඩුණු දේශපේ‍්‍රමී ජන නායකයෙකි.

විද්‍යාලංකාර සභාවේ සභාපති ධූරය වැඩිම කලක් හෙබවූ ඔහු විද්‍යාලංකාර ඉතිහාසයේ කීර්තිමත්ම ගිහි ආදි ශිෂ්‍යයා වශයෙන් හැඳින්වීම වඩා යුක්ති යුක්තය. දිනමිණ හා විද්‍යාලංකාරය අතර සහසබඳතාවට පදනම සකස් වන්නේ ද ජයතිලක මහතා හරහාය.

ඔහු පෙරේරා මහතාගේ කල්‍යාණ මිත්‍රයෙකි. තමා සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් පෙරේරා මහතාට සඳරැසින් ඉවත් වීමට සිදුවීම ජයතිලක මහතාගේ මහත් කම්පාවට හේතුවිය. හදිසියේ හිසමත කඩා වැටී මේ තැවුල තුනී කර ගැනීමට දෙමිතුරෝ සමාසන්න දිනෙක විද්‍යාලංකාරයට පැමිණියහ.

එවක විද්‍යාලංකාර මහා පිරිවෙනේ අධිපතීත්වය හෙබවූවෝ ප්‍රමුඛ පෙළේ පැවිදි පඬිවරයාණ නමක වූ සාර්ව භෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් ප්‍රධානීන් තමා සඳරැසින් ඉවත් කළ නමුත් මෙතෙක් පවත්වාගෙන ආ ලේඛන කාර්යය අත්හැරීමට සූදානම් නැති බවක් පිරිවෙන්පති හිමියන් හමුවේ පැවසූ පෙරේරා මහතා නව පුවත්පතක් ඇරඹීමේ තම අදහස මුල්වරට හෙළි කළේය. අභිනව පුවත්පතට නමක් යෝජනා කරන ලෙසද ඔහු නාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

පෙරේරා මහතා සඳරැසින් ඉවත් කිරීමේ පසුබිම් කතාවත් නව පුවත්පත ඊට විකල්පයක් ලෙසින් බිහිකිරීම පිළිබඳවත් ගැඹුරින් කල්පනා කළ ධර්මාරාම නාහිමියෝ “සඳරැසට විරුද්ධව නම් හොඳ දිනමිණ කියා නො වැයි” ගත් කටටම පවසන්නට යෙදුණාහ. මේ කතා ප්‍රවෘත්තියට අනුව දිනමිණ පුවත්පතේ උත්පත්ති ස්ථානයත් ඊට නම් තැබීමත් සිදුව ඇත්තේ විද්‍යාලංකාර පින් බිමේදීය.

ක්ෂණිකව තීන්දු කෙරුණක් සේ දිස්වුවද ශ්‍රී ධර්මාරාම නාහිමියන් ලබා දුන් ‘දිනමිණ’ යන අකුරු සතර සිංහල ශබ්ද ශාස්ත්‍රයටත් අක්ෂර විද්‍යාවටත් අනුකූලවූ ද පුවත්පතකට අන්වර්ථ වන අන්දමේ අරුතකින් ද යුක්ත වූවකි. දිනමිණ පුවත්පත මේසා දීර්ඝ කාලයක් මෙරට දනන් තුඬඟ රැව් පිළිරැව් දෙන නමක් බවට පත්ව තිබීම ම ඊට සාක්ෂ්‍යයක් වැන්න.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් තමන් වහන්සේ අතගැසූ සෑම කාර්යයකදීම අතිශය සාර්ථකත්වයක් අත්පත් කොට ගත් අසාමාන්‍ය වාසනා ගුණයකින් හෙබි පින්බර යතිවරයාණන් නමකි.

විශේෂයෙන් විද්‍යාලංකාර මහා පිරිවෙන පිහිටුවා වදාළ අතිපූජනීය රත්මලානේ ශශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන්ගේ ජාතික ආගමික ධර්ම ශාස්ත්‍රීය සේවාව සඵල කරගත හැකිවූයේ උන්වහන්සේගේ සෙවණැල්ල මෙන් ක්‍රියාකළ අප කථානායක, ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ නිසාය යන්න අවිවාදිත ය.

විද්‍යාලංකාරය අද ලක්දිව ප්‍රාචීන විද්‍යාපීඨ අතර ප්‍රමුඛායතනය වශයෙන් විරාජමානවී ඇත්තේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් සිය ගුරු දේවයාණන්ගේ මඟ පෙන්වීම යටතේ ඊට දමනු ලැබූ ශක්තිමත් අඩිතාලම නිසාය යන්න මුසාවක් නොවේ.

ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වරක් පැවසුවේ තමන් වහන්සේ ධර්ම ශාලාවක් සහ ශාස්ත්‍ර ශාලාවක් තැනූ බවයි. ශාස්ත්‍ර ශාලාව නම් විද්‍යාලංකාර මහා පිරිවෙනයි. ධර්ම ශාලාව වූ කලී අනෙකක් නොව තම අතිජාත ශිෂ්‍යවරයාය.

ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ ගුරු හිමිපාණන් වහන්සේ දැරූ ධනාත්මක ආකල්පයේ තරම කොතෙක්ද යන්න උක්ත ප්‍රකාශයෙන්ම සුපැහැදිලිය.

තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන්ගෙන් පසු ලක්දිව ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ඥානය පුනරුද්දීප්තීයට පත්වූයේ ශ්‍රී ධර්මාරාම මාහිමියන්ගෙන් බව කවුරුනුත් පිළිගනිති. ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර සම්බන්ධයෙන් මෑත භාගයේ බිහිවූ විශාරද ප්‍රාඥයන් අතර උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනුයේ එකී භාෂා ශාස්ත්‍ර හා තදාශ්‍රීත ග්‍රන්ථ පිළිබඳ වූ ශාස්ත්‍ර ගුප්ති හෙවත් ශාස්ත්‍රයෙහි හා පොත පතෙහි සැඟවුණු තතු අනාවරණය කරලීමෙහිලා උන්වහන්සේ සතුව පැවැති ප්‍රතිවේද ඥානයත් ප්‍රතිභානයත් අපූර්ව කෞෂල්‍යයත් හේතු කොටගෙනය.

ශ්‍රී ධර්මාරාම මාහිමියන්ගේ අතිවිශිෂ්ට අමරණීය ශාස්ත්‍රීය සේවය විශේෂයෙන්ම කැපී පෙනෙනුයේ සංස්කෘත භාෂා ශාස්ත්‍ර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහිලාය. ඒ සඳහා එක් නිදර්ශනයක් පමණක් දැක්වීම ප්‍රමාණවත්ය.

එනම් එතෙක් සන්නයට පමණක් සීමා වී තිබූ මහා කවි කුමාරදාසයන්ගේ ජානකීහරණය එම පුරාණ සිංහල සන්නය අනුසාරයෙන් ශ්‍රී ධර්මාරාම නාහිමියන් විසින් ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයයි.

මීට අමතරව සංශෝධන සහිතව ප්‍රකාශයට පත් මහා බෝධි වංශ ග්‍රන්ථි පද විවරණය, සැලළිහිණිය, හංස සංදේශය, පංචිකා ප්‍රදීපය, එළුපාලී අත්තනගලු විහාර වංශ, සිදත් සඟරා සන්නය, උන්වහන්සේගෙන් සිංහල භාෂා ශාස්ත්‍ර විෂයෙහිලා ඉටුවූ සේවයට සාක්ෂ්‍ය කිහිපයකි.

ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන් වහන්සේ විසින් කරන ලද විශේෂ ශාස්ත්‍ර සංග්‍රහය නම් ශුද්ධ සිංහල භාෂායෙහි පෙර පැවැති න, ණ, ල, ළ වර්ණයන් ගේ ව්‍යවහාරය සම්බන්ධ රීතිය එළිපෙහෙළි කොට දීමයි. පුරාතණ පඬිවරයන්ගේ කෘති නිර්දය විවේචනයට භාජනය කළ ඩබ්. ඇෆ්. ගුණවර්ධන මුදලිඳු හා කුමාරතුංග මුනිදාස මහතාද අප මාහිමියන්ගේ න, ණ, ල, ළ, භේද අක්ෂර වින්‍යාසාත්මක හෙළිදරව්ව විශිෂ්ටතම ශාස්ත්‍රිය සේවාවක් ලෙස අගය කළහ.

සිංහලයේ මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් වරක් පැවසුවේ ධර්මාරාම නාහිමියන් සොයා හෙළිකළ පැරණි සිංහල අක්ෂර වින්‍යාසය වූ කලී සිංහල බස වහරන ජනකායක් සිටින තාක්කල් උන්වහන්සේ සිහිකරවනු පිණිස තැනුණු ස්තූපයක් වැනි බවයි.

අභිමානවත් පුවත්පතක ශත සංවත්සරය අළලා සැකසෙන මෙවැනි ලිපි සරණියක ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ පුවත්පත් කලාවේදී භූමිකාව පිළිබඳ යමක් සඳහන් නොකළ හොත් එය බලවත් අඩුපාඩුවකි.

නාහිමියන්ගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පමුණුවන ලද ‘සත්‍ය සමුච්චය’ පුවත්පතක්, සඟරාවක් මෙන්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක වුවමනා ද පිරිමසා ලන්නක් විය. හේතු යුක්ති සහිතව ශාස්ත්‍ර යුක්ති ගරුකව ශාස්ත්‍රීය අන්වේෂණයන්හි යෙදෙන්නවූන්ට මේ සඟරාව ගුරුපදේශ සංග්‍රහයක් වූ බවට සැකයක් නැත.

ශ්‍රී ධර්මාරාම මාහිමියන්ගේ සෘජු මැදිහත්වීම ලද බුද්ධ වර්ෂ ව්‍යවහාරවාදය න, ණ, ල, ළ වාදය, පාරුපන වාදය ආදී නොයෙකුත් වාද විවාද සඳහාද සත්‍ය සමුච්චය කදිම වේදිකාවක් විය.

මෙනයින් බලන කළ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් පැරැණි පොත පත සංශෝධනයෙහි පමණක් නොව තොටගමු යුගයෙන් පසු විචාර බුද්ධිය හා විමංසන ශක්තිය මෙහෙයවා ශාස්ත්‍රීය අන්වේෂණයෙහි යෙදුණු මහා පඬිවරයාය යන්නට විවාදයක් නැත. එවන් උත්තම ගණයේ යතිවරයාණන් වහන්සේ නමක විසින් නම් තබනු ලැබීම දිනමිණ ජාතික පුවත්පතේ අභිමානයටද හේතුවකි.

ආරම්භයේ සිටම විද්‍යාලංකාරය හා අත්‍යන්තයෙන්ම බැඳී සිටි දිනමිණ සියවසක් පුරා අඛණ්ඩව ප්‍රකාශයට පමුණුවනු ලැබීම විද්‍යාලංකාර පාරිවේණිකයන් ලෙස අපගේද නොමද සන්තුෂ්ටියට කරුණකි.

ලේක්හවුස් පාලනාධිකාරිය විසින් විද්‍යාලංකාර පිරිවෙන වෙත අතීතයේ පටන් ම දිනමිණ පුවත්පත නොමිලේ සැපයීම සියවසක් පැරැණි ඒ මිතුදම වඩාලන්නකි. විද්‍යාලංකාර පාරිවේණිකයන්ගෙන් දිනමිණේ දියුණුව උදෙසා සිදුවූ සේවයට කෘතගුණ පළකිරීමකි. එවන් උත්තරීතර දිනමිණ ජාතික පුවත්පත ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන්ට අපේ විශේෂ ස්තුතිය


සබැඳි පුවත්