සභාපතිතුමාගේ පණිවුඩය

සභාපතිතුමාගේ පණිවුඩය

සියක් වසරක් වූ දිනමිණ අද දිනපතා පුවත්පතක් පමණක් ම නොව පරිච්ඡේද සියයකින් යුත් ඓතිහාසික වංශ කතාවක් බවට පත් වෙයි.

මේ ශ්‍රී ලාංකේය පුවත්පත් ක්ෂේත්‍රයේ දැවැන්තම වාර්තාවයි. පුවත්පතක් එවැනි වාර්තාවක් තබන විට එම පුවත්පත් ආයතනයේ සභාපතිවරයාට කෙතරම් නම් අභිමානයක් ඇතිවන්නේ ද?

මම එම අභිමානය විසින් ජනිත කරන ලද ප්‍රමෝදය සහ ආනන්දය මේ මොහොතේ දී නිහතමානීව වින්දනය කරන්නෙමි.

දිනමිණ පරිච්ඡේද සියයකින් යුත් වංශ කතාවක් බවට පත්වන්නේ මේ සියක් වසර පුරා ශ්‍රී ලාංකේය ජන සමාජය පූර්ණත්වයට පත් කළ සංස්කෘතිමය, සමාජමය, දේශපාලනමය, ආර්ථිකමය, ආදි සියලු තේමාවන්ගෙන් සංයුක්ත වී ඇති බැවිනි. සියක් වසරක් පුරා පාඨකයෝ මේ වංශ කතාව කිය වූහ. එමඟින් ප්‍රඥාවන්ත වූහ. පරිණත වූහ.

ගෙවී ගිය මේ ඓතිහාසික සන්ධිස්ථානයේ දී වසර සියය පුරා දිනමිණ පුවත් පත හා බද්ධ වූ සැම සිහිපත් කරමි. වෙසෙසින් සභාපතිවරුන් සහ ප්‍රධාන කර්තෘවරුන් සිහිපත් කිරීම මගේ යුතුකමක් කොට සළකමි.

එසේම සියවැනි වර්ෂ පූර්ණය වර්ණවත් ලෙසින් සකසන්නට මූලික වූ දිනමිණ ප්‍රධාන කර්තෘවරයා ඇතුළු කර්තෘ මණ්ඩලයට ද සෙසු අංශවලට ද මගේ කෘතඥතාව හිමි වෙයි.

තවත් සියක් වසරක් නිම කරන්නට අද උපදින නව ශක්තිය හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.

බන්දුල පද්මකුමාර
සභාපති

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්