කර්‍තෘ මණ්ඩල අධ්‍යක්‍ෂතුමාගේ පණිවුඩය

කර්තෘ  මණ්ඩල අධ්‍යක්‍ෂතුමාගේ පණිවුඩය

සන්නිවේදනයෙන් තොර ජීවිතයක් නැතැ’යි කතාවක් තිබේ. එම අදහස ව්‍යාප්ත වන්නේ බටහිර ජන මාධ්‍ය ඔස්සේ ය.

මහා බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ප්‍රංශය වැනි ඓතිහාසික රාජ්‍යයන් ගේ දේශපාලනය සමඟ ඉහත මතය ඉතා සමීප ව ගමන් කරයි. අපි‍්‍රකාවට හා ආසියාවට සාපේක්‍ෂ ව බලන විට එහි යම් වෙනසක් දක්නට ලැබේ.

කෙසේ වුව ජන මාධ්‍ය යනු ලෝක දේශපාලනය හා ආර්ථිකය හසුරවනු ලබන ප්‍රධාන මෙවලම ලෙස සැලකිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යයට ද සැලකිය යුතු ඉතිහාසයක් තිබේ. ඒ අතරින් ද දිනමිණ පුවත්පත විශේෂ වේ.

1927 නොවැම්බර් 13 දා ශ්‍රී ලංකාවට සැපත් වූ මහත්මා ගාන්ධිතුමා කැටුව සම්මුඛ සාකච්ඡාවක් පවත්වන එක ම ජනමාධ්‍ය වේදියා සේවය කළේ දිනමිණ ට ය.

දිනමිණ යනු ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික ක්‍රියාවලියේ දී ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කළ පුවත්පතෙකි. ඒ පිළිබඳ විවාදයක් නැත.

නූතන පත්තර කලාව බොහෝ සෙයින් සංකීර්ණ ය. බොහෝ සෙයින් ඉලෙක්ට්‍රොනික ය. ඊට ඔරොත්තු දෙන ලෙස දිනමිණ සකස් වී ඇති බව මගේ හැඟීම ය.

එහි තරුණ ජනමාධ්‍යවේදීහු ඉතා යුහුසුලුව පරිගණකය සමඟ ගැටෙති. සමාජය කැටුව අරගල කරති. මම ඒ දෙස බලා සතුටු වන්නෙමි. අප ගේ තරුණ ජවයට ලෝකය ජයගත හැකි ය. සත්‍යය අනාවරණය කළ හැකි ය.

ඔව්හු ඉතා රැඩිකල් ය. සත්‍යය පසු පස හඹා යනු මට දක්නට ලැබේ. ආණ්ඩුවේ මතවාදය පමණක් නොව සුදුසු මතවාද ග්‍රහණයට ද ඔව්හු උත්සුක වෙති.

දිනමිණ තරුණ මාධ්‍යවේදියෝ හෙට දින වඩාත් යහපත් ලෝකයක් සඳහා කටයුතු කරනු ඇත. එය මට විශ්වාස ය. එය මට ළෙන්ගතු ය.

නිහාල් රත්නායක
කර්තෘ
මණ්ඩල අධ්‍යක්‍ෂ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්