සාමාන්‍යාධිකාරීතුමාගේ පණිවුඩය

සාමාන්‍යාධිකාරීතුමාගේ පණිවුඩය

ජනමාධ්‍ය යනු නිත්‍ය ලෙස ම වෙළෙඳාමෙකි. මේ කියමන පුවත්පත් කලාවේ ඓතිහාසික හිමිකරුවන් වන මහා බ්‍රිතාන්‍යයට හා අමෙරිකා එක්සත් ජනපදයට ද එක සේ සමාන ය.

පුවත්පත් කලා වෙළෙඳාම තුළ පැවැතීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු ය. පළමුවැන්න දැන්වීම් පිළිබඳ සාර්ථක තරගකරුවකු වීම ය.

දෙවැන්න තමන් නියෝජනය කරන මාධ්‍යයේ ශිල්පීය නිපුණතාව පිළිබඳ තීව්‍රතාවක් ඇතිකර ගැනීම ය. මේ දෙපාර්ශ්වය නැති ව සාර්ථක ව මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යා නො හැකි ය.

පත්තර මහගෙදර ලෙස අපට විශාල කීර්ති නාමයක් තිබේ. එලෙස ම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස විවිධ විවේචන ද තිබේ. එහෙත් අප ගේ අරමුණ හා ඉලක්ක ඉතා පැහැදිලි ය.

අපට ජාතික කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම එක් අතකින් පවරා තිබේ. තව අතකින් අප ජනප්‍රිය ජනමාධ්‍ය සමඟ අනවරත තරගයක නිරත විය යුතු වේ. බහුවිධ ජනමාධ්‍ය අතර කෙළින් සිට ගැනීමේ ශක්තිය හා ප්‍රවීණතාව අපට තිබේ.

දිනමිණ යනු අප ගේ ප්‍රමුඛතම සිංහල පුවත්පත යි. එහි මාධ්‍යවේදීහු ජාතික කාර්යභාරයක නිරත ව සිටිති. අපි ශ්‍රී ලංකාවේ ඓතිහාසික දේශපාලන සත්‍යය සමඟින් නිරන්තරයෙන් ම බැඳී සිටිමු.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක පවත්නා බලය හා විශ්වසනීයත්වය බොහෝ දෙනකු තේරුම් ගෙන නැත. එය විසංවාදී ප්‍රපංචයක් ලෙස පවතී. අනාගතයේ දී සමාජය එය වටහා ගනු ඇතැයි සිතිය හැකි ය. මගේ සේවා කාලය තරමක් දිගු ය. අත්දැකීම් බහුල ය.

ඒ සියල්ල අනුව දිනමිණ පුවත්පත ගැන සලකා බලන්නට කැමැත්තෙමි. දිනමිණ නිශ්චිත ලෙස ම ඓතිහාසික දේශපාලන කාර්යභාරයක් ඉටුකර තිබේ. එහි සේවය කළ හා දැනට සේවය කරන සියලු දෙනා ට සුබ පතන්නට කැමැත්තෙමි.

අභය අමරදාස සාමාන්‍යාධිකාරී

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්