මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශය

මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශය

ගමේ පුවත් රටට ගෙනෙන

මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශය කියන්නේ ලේක්හවුස් ආයතනයේ සියලුම ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ සම්බන්ධ දෙපාර්තමේන්තුව, අටසියයකට ආසන්න පිරිසක් වූ ප්‍රාදේශීය වාර්තාකාර මහත්ම මහත්මීන්ගේ සියලු පරිපාලන කටයුතු කෙරෙන්නේ මේ දෙපාර්තමේන්තුවෙන්. වාර්තාකරුවන් පත්කිරීම, සේවා දිගු කිරීම, ඉවත් කිරීම ඇතුළු කාර්යයන්ද මේ දෙපාර්තමේන්තුව සතුයි.

මීට අමතරව මෙහි සුවිශේෂී කාර්යයක් ඉටුවෙනවා. එනම් දිනමිණ පුවත්පතේ “පුවත් කොදෙව්ව“ නමින් පිටු දෙකක් සංස්කරණය කිරීම. දිනමිණ මුද්‍රණ තුනේ පිටු හයක්.
ඉදිරිපෙළ වමේ සිට - සමන්මලී ජයතුංග, තමරා ඉන්ද්‍රානි, මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ ප්‍රධාන උප කර්තෘ චන්න බණ්ඩාර දොළපිහිල්ල, මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ ප්‍රධාන කර්තෘ රම්‍යතිලක තල්පිට, ප්‍රබෝධනි ද සිල්වා,

නිමල් වීරක්කොඩි. පසු පෙළ වමේ සිට - උත්තරා ගුණරත්න, මනෝරි අභයසිරි ගුණවර්ධන, හේමලතා බන්නැහැක, රසික සම්පත්, සිතාරා සේනානි, ඉන්දීවරී සෙනෙවිරත්න, ඒ. ටී. එම්. හුසේන්,
ලෙස්ලි අබේකෝන්.

දිවයිනේ සතර දිග් භාගයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සිය ගණනක් දිනකට මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයට ලැබෙනවා.

ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශන සියල්ල සඳහාම ලැබෙන ප්‍රවෘත්ති විශේෂාංග හා ඡායාරූප ලැබෙන්නේ මෙතෙන්ට. ඇතැම් විට සිංහලෙන් ලැබෙන ප්‍රවෘත්ති දෙමළ සහ ඉංගි‍්‍රසියටද, එම භාෂාවලින් ලැබෙන ප්‍රවෘත්ති සිංහලටත් පරිවර්තනය කිරීමක් කෙරෙනවා.

සමහර අවස්ථාවල අපට ලැබෙන ප්‍රවෘත්ති විශේෂාංග හා ඡායාරූපවල විශේෂත්වය නිසාම මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ උදවියට කාලය ගෙවී යන්නේ කොහොමද කියන එකවත් දැනෙන්නේ නැති තරම්.

‘අසවල් ස්ථානයේ බසයක් පෙරළිලා. 06ක් මරුට. 21කට තුවාලයි.’ වාර්තාකරුවෙක් දුරකතනයෙන් කියයි.

එතැන් පටන් අදාළ ප්‍රවෘත්තිය දිනපතා පුවත්පත් වලට ලබාදීමට යුහුසුලුව ක්‍රියාකිරීම අපගේ කාර්යයක්. ඊට අමතරව ඉරිදා පුවත්පත්වලට විශේෂාංගයක් සැකසීමට අවශ්‍ය වටපිටාව වාර්තාකරුවන් හරහා ලබාදීමත්ය.

‘මාතර බස් නැවතුමේ මේ දිනවල හුණු පිරිහම් කෙරේ’... අපට ලිපි මගින් ලැබෙන තවත් ප්‍රවෘත්තියක්. ෂා! මාර ප්‍රවෘත්තියක්නේ...’

ප්‍රධාන උප කර්තෘ චන්න කියයි. තමරා අතින් මුහුණ වසාගෙන සිනාසෙයි. උත්තරා විමසිලිමත්ව වටපිට බලා ඉදිරිපස අසුනේ ප්‍රබෝදනී මිස්ට මොකක්ද කියයි. ඒ ප්‍රවෘත්තිය කියවා රසවිඳීමේ කුහුලින් නදී පුටුවෙන් නැගිට එයි. නිමල් පුටුව කරකවා සිහින් සිනහවක් නගයි.

‘මේ දිනවල අපේ ගෙදරට හුණු පිරියම් කරනු ලැබේ කියලත් එයාගේ ගෙදරට හුණුගාන දවසට ප්‍රවෘත්තියක් එවයිද දන්නේ නෑ’ චන්නගෙන් ඒ ප්‍රශ්නය මටය. සියල්ලෝ සිනාසෙති. ඒ සිනහවට අපගේ කාර්ය මණ්ඩලයේ නෙලුම් සහ රසිකද එක්වෙති.

කෙසේ වෙතත් දිවයිනේ දස දෙස ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සතුටු කඳුළුද පාඨක ජනතාවට සමීප කරන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මගින්. ප්‍රාදේශීය වාර්තාකරුවන් සමග කටයුතු කිරීමට ලැබීම එක් අතකින් සතුටක්.


සබැඳි පුවත්