මුද්‍රණය සඳහා

 
දිනමිණ ප්‍රධාන කර්තෘතුමාගේ පණිවුඩය

දිනමිණ ප්‍රධාන කර්තෘතුමාගේ පණිවුඩය

දිනමිණට සීයක්. පිරෙන අද. කර්තෘ හැටියට හරිම ආඩම්බරයක් දැනෙන දවසක්. දිනමිණ කර්තෘ හැටියට කවුරු මොනවා කීවත් මොනවා හිතුවත් ලේක් හවුස් පඩි පෙළ නගින්නේ හැංගිච්ච සතුටක් හිත යට තියාගෙන.

පඩි පෙළ නැඟල කාමරයට එන විටත් කාමරයේ ඉඳල දිනමිණ කර්තෘ මණ්ඩලයට යන විටත් හැමෝම ගෞරව සම්ප්‍රයුක්ත සිනාවක් පළ කරන්නේ දිනමිණ කර්තෘට. ලෙන්ගතුව හයියෙන් හිනා වෙලා සුහද බව පළ කරන්නේ මට. ගෞරවයයි - සුහද බවයි එකතු වුණාම දිනමිණ කර්තෘ හැටියට හිතේ තියන කරදර කන්දරාව අමතක වෙනවා.

කන්තෝරුවේ කාමරේ වාඩි වුණාම රෑ හත අට නෙවෙයි නවය දහය වුණත් ගෙදරක් මතක් වෙන්නෙම නෑ. ඒ තරමටම දිනමිණ ට ඇති බැඳීම දැවැන්තයි.

අවුරුදු සීයක් වැනි ලොකු කාලයෙන් පුංචි කාල පරාසයක් දිනමිණේ ගෙවුනේ හරිම වේගයෙන්. මට උදව් වෙච්ච කිසි කෙනෙක් මෙතැන්දි අමතක කරන්න බෑ.

අඩු පාඩුවක් වුණාම ටිකක් සැර වෙලා ආපහු ගිහින් විහිළුවක් කරලා හිනාවෙන්නේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හිත රිදුනද කියන සැකය නැති කර ගන්න.

එදා දිනමිණ කර්තෘ ගේ කාමරය හැමෝටම විවෘත නෑ. විවෘත කර තිබුණත් යන්න එන්නේ කර්තෘ එක්ක කතා කරන්නේ හරිම බයකින්. එහෙම තමයි කර්තෘට සැලකුවෙ.

ඒත් කර්තෘ කියන්නේ පත්තර කාරයෙක්. පත්තර කාරයෙකුට සඟයන් ගෙන් ඈත් වෙන්න බෑ. අප කවුරුත් පත්තරකාරයෝ. නිලයෙන් පමණක් කර්තෘ.

කර්තෘට හැමෝම ආදරය කරන්නේ කර්තෘ හැටියටයි. ඒ නිසා කවුරු කුමන ගැටලු තිබුණත් කර්තෘ සමග ඇසුරු කරන්නේත් කර්තෘ සගයන් ඇසුරු කරන්නේත් පත්තරය මූලික කරගෙන.

මාධ්‍ය ක්‍ෂෙත්‍රයට ඇලුම් කරන අය හැමදාමත් කර්තෘගේ මිතුරෝ. - මිතුරන් අතර සතුරන් ඉන්න විදිහක් නැහැ. දේශපාලනයේ සදාකාලික මිතුරෝත් නැත. සදාකාලික සතුරෝත් නැත.

ඒත් පත්තර කලාවේ සදාකාලික මිතුරෝ සිටිති. සදාකාලික සතුරෝද සිටිති. එසේ වූයේ පත්තර කලාව දේශපාලනකරණය වූ නිසයි. දිනමිණ ට අපි ආදරය කරමු. සුබ පතමු.

මහින්ද අබේසුන්දර ප්‍රධාන කර්තෘ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]