දඹර අමිල හිමි අත්අඩංගුවේ

රට රැකියා දෙන බව කියා කෝටි ගණනක් වංචා කළැයි

දඹර අමිල හිමි අත්අඩංගුවේ

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකපිට දඹර අමිල හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයන් රවටා විවිධ රටවලට යවන බවට පොරොන්දු වී දඹර අමිල හිමියන් මුදල් ලබාගත් බවට මේ වන විට පැමිණිලි 15 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න මහතා පැවැසීය.

එක් එක් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන පසුව විදෙස් රැකියා සඳහා යවන බවට සැකකරු පොරොන්දු වී ඇතත් මුදල් ලබාගෙන පොරොන්දු වූ අයුරින් එම පුද්ගලයන්ට විදේශයන් වෙත යාමට අවස්ථා සලසා නොදීම හේතුවෙන් වංචාවට අසු වූ අය විසින් මෙසේ පොලිීසියට පැමිණිලි කැර ඇත.

මේ පැමිණිලි ලැබීමෙන් පසු සිදුකළ විමර්ශන මඟින් සැකකාර හිමියන් තවත් කීප දෙනකුගේ සහාය ඇතිව දිගුකලක සිට මේ වංචාව සිදුකර තිබෙන බවට හෙළිව ඇතැයි පොලීසිය කියයි.

සැකකරු ඊයේ පෙරවරුවේදීී තලංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුට වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට සහාය වූ අනෙකුත් සැකකරුවන් පිළිබඳව ද පුළුල් ලෙස පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් කීය.

සැකකාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ඊයේ සවස වන විටත් වැඩිදුර ප්‍රශ්න කළ බව පවසන පොලීසිය වංචාවට හසු වූ තවත් පුද්ගලයන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයිි විශ්වාසය පළ කෙළේය. සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කැර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා