|
||
ජපන් ශ්‍රී ලංකා සහයෝගිතා සංගමයෙන්
ජංගම පුස්තකාල 18 ක් සෙට්ටිකුලම සහන ගම්මානයට
වවුනියාව, සෙට්ටිකුලම් සහන ගම්මානයේ පෙර පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ් අවශ්‍යතාවය වෙනුවෙන් පොත් ප්‍රදානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) සිදු කෙරිණි. ජපාන ශ්‍රී ලංකා සහයෝගීතා සංගමය මගින් ලබා දුන් මේ පොත් තොගය එම සංගමයේ සභාපති යොෂියාකි කතෝ මහතා අතින් බත්තරමුල්ලේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලයේදී මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා වෙත නිල වශයෙන් බාර දුන්නේය. පෙර පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ඉතා පහසුවෙන් දැනුම ලබා ගත හැකි පරිදි මේ පොත් නිර්මාණය කොට තිබෙන අතර සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඒවා සමන්විත වේ. සෙට්ටිකුලම් සහන ගම්මානය තුළ පෙර පාසල් 25 ක පමණ දරු දැරියෝ 2000 ක් පමණ ඉගෙනුම ලබන බවත් මේ සියලු දෙනාගේම ප්‍රයෝජනයට ගත හැකි පරිදි ජංගම පුස්තකාල 18 ක් ආරම්භ කරන බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවැසීය. පුනකරි, කරච්චි හා තුන්ක්කායි ආදී ප්‍රදේශවල පාසල් විවෘත කොට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි කී ජී. ඒ. චන්ද්‍රසිරි මහතා “උතුරු වසන්තය” යටතේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම උදෙසා විශාල වැඩපිළිවෙළක් උතුරු පළාත් සභාව මගින් ක්‍රියාත්මක කර ඇතැයිද කීවේය. පොත් 25 බැගින් අඩංගු කට්ටල මෙහිදී ප්‍රදානය කරන ලද අතර ඒවායේ වටිනාකම රුපියල් 280000 කි. සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් වී. ජෙගරාජසිංහම්, අතිරේක ලේකම් යමුණා චිත්‍රාංගනී, ජපාන ශ්‍රී ලංකා සහයෝගීතා සංගමයේ උප සභාපති අකිර පිවුරා, ජපාන ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත සංගමයේ සභාපති ටඩසි කොමෙනොයි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූව. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |