ජනාධිපතිගේ රුසියානු සංචාරයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්

ජනාධිපතිගේ රුසියානු සංචාරයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්

ඩො: මිලියන 300ක ආධාර

තෙල් ගවේෂණයට සහාය

ජනමාධ්‍ය දියුණුවට ගිවිසුම්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැති දිගුකාලීන මිතුදම් වඩාත් වර්ධනය කරලීමට මඟපෑදු සාර්ථක රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් නිම කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (09) සිය මවුබිමට පැමිණියේ ය.

මෙරට ආර්ථික, ආයෝජන, ජනමාධ්‍ය, වාණිජ, සාමාජයීය සහ සංස්කෘතික අංශවල නවෝදයට රුසියානු රජයේ සහාය ලබාගැනීමට මුලපිරූ මේ අති සාර්ථක සංචාරය පිළිබඳව අදහස් දක්වන ජනපති මාධ්‍ය අංශය මෙසේද කියා සිටියි.

ජනතා විජයග්‍රහණයෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිරත වූ රුසියානු නිල සංචාරය තුළදී ශ්‍රී ලංකාවට වාසිදායක ප්‍රතිලාභ රැසක් අත් කර ගැනීමට අවස්ථාව සැළසිනි.

ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ වේගයෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ලබාදීමට මෙහිදී රුසියානු රජය එකඟවීම ජනාධිපතිවරයාගේ සංචාරයේ සුවිශේෂී සිදුවීමකි.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණයට රුසියාවේ සහය පළවීම ද මෙහිදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් වන අතර ලෝකයේ විශාලතම ගෑස් සමාගම වූ රුසියාවේ ගෑස් ප්‍රෝම් ආයතනය ඊට ඉදිරිපත්වී සිටී.

දෙරට අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය හුවමාරු කර ගැනීමට විශේෂ ගිවිසුමකට එළඹීම ද ජනාධිපතිවරයා මේ සංචාරයෙන් ශ්‍රී ලංකාව ලද තවත් ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ රැව් පිළිරැව් දෙන තවත් සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරව උපාධියක් පිරිනැමීමට ද රුසියානු මිත්‍රත්ව සරසවිය මඟින් කටයුතු කර තිබුණි.

ලෝක සාමය උදෙසා කරන ලද මහඟු සේවාවත්, ත්‍රස්තවාදය සාර්ථකව මැඬලීමත් දෙරටේ අධ්‍යාපනික, සංස්කෘතික ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් සඳහා කරන ලද මහඟු සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ විශේෂ ගෞරව උපාධිය පිරිනැමූ අතර මෙය දිනාගත් ලෝකයේ 06 වැනි රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ලද මහත් ගෞරවයකි.

ලෝකයට සාමය ගෙන ආ රජුන් ලෙස සළකා රුසියානු රජ පෙළපත සංකේතවත් කරමින් රනින් නිම කළ මැණික් ඔබ්බවූ ඔටුන්නක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට ද රුසියානු මිත්‍රත්ව සරසවිය මඟින් මෙහිදී කටයුතු කෙළේය.

රුසියානු ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් යුගයේ නව පරිච්ඡේදයක් අරඹමින් රුසියානු ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් පළමුවරට රුසියාවේ දී මූණගැසුණු අතර දෙරටේ සබඳතා තවදුරටත් තර කර ගැනීමට ද රාජ්‍ය නායකයෝ මෙහිදී කථිකා කර ගත්හ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය උදෙසා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයා කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන බවට ද එතුමා පොරොන්දු විය.

මුළු ලෝකයේම සාමයට තර්ජනයක් වී තිබූ ත්‍රස්තවාදය තුන් කර නැවතත් අපේ රට තුළ සාමය හා සංවර්ධනය ගොඩනැඟෙමින් පවතින මේ අවස්ථාවේ රුසියාව සමඟ ඇති හිතවත්කම් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළහ.

සිය සංචාරය අතරතුරදී එරට ඓතිහාසික ස්ථාන රැසක් නැරැඹීමටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටයුතු කළ අතර පළමුවෙන්ම මොස්කව් අගනුවර ඇති ලස්සන චතුරශ්‍රය ලෙසින් නම් කරන ලද රතු චතුරශ්‍රය නැරැඹීමට ගිය අතර එහිදී රුසියානු නායක ලෙනින්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට ගොස් ඒ සඳහා සිය ආචාරය පුද කිරීමට ද ජනාධිපතිවරයා අමතක නොකෙළේ ය.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තිබුණු මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධූර කාලයේ ලද විජයග්‍රහණයෙන් පසු ඇරඹි ප්‍රථම නිල සංචාරය සඳහා රුසියානු සමූහාණ්ඩුව තෝරා ගැනීම සමගම ඈත අතීතයේ පටන් පැවත ආ ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්වයේ නැවුම් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් විය.

ජනාධිපතිවරයා සමඟ මේ සංචාරයට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද, ඇමැතිවරුන් වන රෝහිත බෝගොල්ලාගම, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, ජී. එල්. පීරීස්, මහින්දානන්ද අළුත්ගමගේ, පා.ම. විමල් වීරවංශ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ, ජනාධිපති විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සජිත් වාස් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා