මුද්‍රණය සඳහා

 
කදිරගාමර් මහතා දිය නෑමට යන පිහිනුම් තටාකයේ සිට බලනවිට තලෙයිසිංහම් නිවසේ ජනේල පෙනෙනවා

කදිරගාමර් මහතා දිය නෑමට යන පිහිනුම් තටාකයේ සිට
බලනවිට තලෙයිසිංහම් නිවසේ ජනේල පෙනෙනවා

දෙවැනි ලුතිනන් ජගත් කුමාර මාරසිංහ සාක්කි දෙමින් කියයි

ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුව

එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් එල්ල වී තිබූ මරණ තර්ජන නිසා නිලධාරීන් 10 දෙනකු ගෙන් සමන්විත වූ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගේ ආරක්‍ෂක අංශය නිලධාරීන් 43 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබූ බව දෙවන ලුතිනන් ජගත් කුමාර මාරසිංහ මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් කීය.

හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ නඩුව යළිත් ඊයේ (11) විභාගයට ගත් අවස්ථාවේ දී සාක්කි දෙමින් එසේ කී සාක්කිකාර මාරසිංහ මහතා, ඇමැතිතුමා සිය පෞද්ගලික නිවසට ගියේ පිහිනීමට බව කීය.

මහාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය හමුවේ මේ නඩුව විභාග කෙරේ. මේ නඩුවෙන් මුත්තයියා සහායදේවන් සහ ඉසිනෝර් ආරෝක්‍යනාදන් යන විත්තිකරුවෝ අධිචෝදනා ලැබ සිටිති.

2005 ජනවාරි 01 සහ අගෝස්තු 12 අතර කාලයේ දී මුලතිව්, කිලිනොච්චි සහ කොළඹ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ විනෝදන් සමග විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම, යන අධිචෝදනා නීතිපතිවරයා විසින් මේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතාගේ මෙහෙයවීම මත සාක්කි දුන් දෙවන ලුතිනන් ජගත් කුමාර මාරසිංහ මහතා මෙසේ කීය.

1994 දෙසැම්බර් මාසයේ දී කමාන්ඩෝ සෙබළෙක් ලෙස මා හමුදාවට බැඳුනා. වසර දෙකක පුහුණුවක් ලැබුවා. 2000 වසරේ දී මා ලාන්ස් කෝප්‍රල් තනතුරේ සිටියා. පෙර ගමන් රාජකාරි, සමීප ආරක්‍ෂක කටයුතුවල යෙදුණා. මුලදි කදිරගාමර් මහතාගේ ආරක්‍ෂක අංශයේ සිටියේ නිලධාරීන් දහ දෙනෙක් පමණයි.

2005 වන විට එහි නිලධාරීන් හතලිස් තුන් දෙනෙක් සේවය කළා. ඔහුගේ ආරක්‍ෂාව වැඩි කිරීමට හේතු වූයේ එල්. ටී. ටී. ඊ සංවිධානයෙන් මරණ තර්ජන ඇති නිසා බවට අපව දැනුවත් කරනු ලැබුවා.

2005 අගෝස්තු 12 දා ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කෙරුණා. කොළඹ 07 විජේරාම මාවතේ ඔහුගේ නිල නිවාසය පිහිටා තිබූ අතර බුලර්ස් ලේන් හි පුද්ගලික නිවස පිහිටා තිබුණා.

රාජකාරියෙන් බැහැර අවස්ථාවල දී ඔහු පුද්ගලික නිවාසයට ගියා. ඔහු නැවතී සිටියේ නිල නිවාසයේ යි. පුද්ගලික නිවසට යාම් ඊම් පටන් ගත්තේ 2004 වසරේ අග භාගයේ සිටයි. ඔහු වැඩිපුරම එම නිවසට ගියේ පිහිනීමටයි. ඊට පෙර නිවසේ අලුත්වැඩියා කටයුතු පිරික්සීම සඳහා එහි ගියා.

ඇමැතිවරයා පුද්ගලික නිවසට යාමට පෙර ඔහුගේ පෙර ගමන් ආරක්‍ෂක කණ්ඩායම ගොස් පරීක්‍ෂා කර ආරක්‍ෂාව තහවුරු කළ පසු ඇමැතිවරයා එහි යනවා. මුර කුළුණු තුනක් ඇති අතර එහි ආරක්‍ෂකයින් යොදවනවා.

මේ කුළුණු තුන පිහිටියේ ගෙවත්තේ කොන් තුනකයි. එම නිවස අවට පිහිටි අනෙක් නිවාස පිළිබඳව මට හොඳ වැටහීමක් තිබෙනවා. එක පසෙකින් හිටපු ඇමැති ඉමිටියාස් බකීර් මාකර් මහතාගේ නිවස පිහිටා තිබෙනවා.

එම නිවස ඉදිරිපසින් තානාපති කාර්යාලයක් පිහිටා ඇති අතර තවත් පසෙකින් තලෙයිසිංහම් මහතාගේ නිවසද කදිරගාමර් මහතාගේ නිවසට යාබද විදේශිකයින් පදිංචිව සිටි තට්ටු නිවසක් ද විය.

පිහිනුම් තටාකයේ සිට බලනවිට තලෙයිසිංහම් නිවසේ ජනෙල් දක්නට පුළුවන්. එම නිවස සහ කදිරගාමර් මහතාගේ නිවෙස අතරින් බුලර්ස් ක්‍රසන්ට් යනුවෙන් පාරක් තිබෙනවා. එම පාරේ පළල අඩි 8, 10 ක් පමණ ඇති.

සිද්ධිය වූ දිනයේ මා ආරක්‍ෂක කටයුතුවල නියැලුණා. එදින උදේ කදිරගාමර් මහතා ජනාධිපතිනිය මුණ ගැසීමට ගියා. ආපසු නිල නිවාසයට ගිය අතර දිවා ආහාරය ගත්තේ එහිදීයි.

දිවා ආහාරයෙන් පසුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගි වුණා. එදින ඇමතිවරයා ගේ සමීප ආරක්‍ෂකවරයා ලෙස කටයුතු කළේ මේජර් මනතුංගයි.

ඔහු ඇමතිවරයා සමග නිල රථයේ ගියා. මා ගමන් ගත්තේ සමීප ආරක්‍ෂක ජීප් රථයකයි. එම උත්සවය අවසන් වී ආපසු පැමිණියේ රාත්‍රී 7.30 ට පමණයි. රාත්‍රි ආහාරයෙන් පසුව පුද්ගලික නිවාසයට යාමට රාත්‍රී 9.00 ට පමණ පිටත් විය. ගෙවත්ත ඇතුළට ගන්නේ නිල රථය පමණයි.

මා ජීප් රථයෙන් බැස පිහිනුම් තටාකය අසල ස්ථානගත විය. මේජර් මනතුංග ඇමතිවරයා සමග නිවස තුළට ගියා. ගෙවත්තේ ප්ලෑෂ් ලයිට් දෙකක් දල්වා තිබුණා.

ලාන්ස් කෝප්‍රල් කුමාරතුංග පිහිනුම් තටාකය අසලද, නිරීක්‍ෂණ කුලුනේ ලා. කෝ. වන්නිනායක ද, පිහිනුම් තටාකය ඉදිරියේ වූ යකඩ ගේට්ටුව අසල නිරීක්‍ෂණ කුලුනේ ලා. කෝ. මහින්දරත්න ද විය. එම අවස්ථාවේ දී මි. මී. 9 යේ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකින් සන්නද්ධව සිටියා.

වැඩිදුර විභාගය මාර්තු 01, 04 සහ 05 යන දිනවලට කල් තැබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]