මුද්‍රණය සඳහා

 
පරිකල්පනයෙන් තොර නිර්මාණ බංකොලොත්


 

පරිකල්පනයෙන් තොර නිර්මාණ බංකොලොත්

ප්‍රවීණ සාහිත්‍යධර ටෙනිසන් පෙරේරා

අපගේ සාහිත්‍ය නිර්මාණකරණය තුළ සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂික ලේඛනයෙහි සමත්කම් පාන ලේඛකයෝ ඉතා විරල ය. පසුගියදා අප අතරින් වියෝ වූ ඊවා රණවීර ද්විභාෂික ලේඛන කලාවේ නියැලුණු අතිවිශිෂ්ට ගනයේ ලේඛිකාවකි. එවන් අතළොස්සක් වූ ලේඛක පිරිස අතරේ ප්‍රවීණයකු ලෙස අපට ටෙනිසන් පෙරේරා හමුවෙයි.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ස්වතන්ත්‍ර නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, පරිවර්තකයකු, ළමා කතා රචකයකු සේ සිංහලෙන් සේම ඉංග්‍රීසියෙන් ද පතපොත ලියන්නෙකි. විචාරක ඇගැයීම්වලට ද පාත්‍ර වී ඇති ටෙනිසන් පෙරේරා විසින් මේ වනවිට විවිධ විෂයය සහ ක්ෂේත්‍ර අළලා ග්‍රන්ථ හැටකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇත.

ඔහු විසින් ලියන ලද නවතම කෘති ද්විත්වය ‘කැලණි නදිය ගලා බසී’ සහ ‘භවාන්තරය’ පනස් වසරක සාහිත්‍ය චාරිකාවේ අද්විතියීය තවත් පියවරකි. මෙම පොත් දෙකම සම්මානනීය පොත් ප්‍රකාශක ඇස්. ගොඩගේ සමාගමේ ප්‍රකාශනයන්ය.

‘කැලණි නදිය ගලා බසී’ සහ ‘භවාන්තර’ බිහිවීමේ පසුබිම මොකක්ද?

මා උපන් කැලණි මිටියාවතේ මීට වසර හැත්තෑවකට අසූවකට පෙර ජීවත් වූ ගමේ වීරයන් නැත්නම් ගමට පණ දුන් ඇත්තන්ගේ ජීවිත පසුබිම් කරගෙන ‘කැලණි නදිය ගල බසී’ නවකතාව බිහිවුණේ. ඒ කාලේ කැලණි ගඟත් මිනිස්සුන්ගේ ජීවිතත් අතරේ තිබුණේ සමීප සබඳතාවයක්.

කැලණි මිටියාවතේ ජීවත් වන්නන්ගේ සෞභාග්‍ය වගේම දුර්භාග්‍යයත් දුන්නේ කැලණි ගඟයි. ඒත් මේ මිනිස්සු කවදාවත් කැලණි ගඟට සාප කළේ නැහැ. මේ විවිධ වූ ගති ස්වභාවයෙන් යුත් කැලණි මිටියාවතේ මා දුටු කතන්දරය දේශපාලනික, ආගමික හා වෙනත් සිදුවීම්, ඓතිහාසික වර්ණයන් හා මුසු කරමින් ඉදිරිපත් කරන්නට මම ගත් වෑයමක් ; ‘කැලණි නදිය ගලා බසී’ නවකතාව. මෙය කැලණි මිටියාවතේ සත්‍ය කතාවක්.

‘භවාන්තරය’ මම ලියූ විසි දෙවැනි ප්‍රබන්ධ කතාවයි. ප්‍රධාන වශයෙන්ම අද්‍යතන පවුල කියන ඒකකයේ සම්බන්ධතාවය බිඳී විසිරී යන හැටි මේ පොතේ මම කතා කළා. මේ වෙනස්වීමේදී බිරිඳ හා ස්වාමියා අතර දරුවන් හා දෙමාපියන් අතර ඇතිවන පීඩනයත් ආධ්‍යාත්මික පරිහානියත් මැනැවින් දෝලනය වෙමින් කතා පුවත ගලාගෙන යනවා.

භවාන්තරය’ මම ලියන්න හිතුවේ මීට අවුරුදු පහකට විතර කලින්. ගිය අවුරුද්දේ මම අමෙරිකාවට ගියා. ඒ ගිහින් මම අවුරුද්දක් විතර හිටි කාලය තුළ තමයි මේ නවකතාව ලිව්වේ.

‘භවාන්තරය’ මා ලියූ අනෙකුත් පොත් සියල්ලටම වඩා සුවිශේෂී වෙනවා. ඒකට ප්‍රධානම හේතුව මා ලියූ නවකතා අතුරින් දිගම ප්‍රබන්ධ කතාව ‘භවාන්තරයි’. ඒවගේම මම විදේශයකදී ලියා හමාර කළ එකම නවකතාවත් ‘භවාන්තරය’ යි.

සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නවකයන්ගේ පිවිසුම අද බහුල ලෙස දකින්නට ලැබෙනවා. නමුත් මේ සියලු දෙනා ලේඛකයන්ද යන ගැටලුව අපට නැතුවා නොවෙයි. පොතක් පළ කළ පමණින් ලේඛකයකු වෙනවාද? නවක ලේඛකයකුට නිවැරැදි මඟපෙන්වීමක් ඇති කරලීම සඳහා කුමක් කළ යුතුද?

අද ලංකාවේ පොත පත බිහිවීම ශීඝ්‍රයෙන් දක්නට ලැබෙනවා. පොත් ලියන එක හොඳයි. මේ ලියන පළවන පොත් පත්තරවලට යැව්වම පළ වෙනවා. ඒ ක්‍රමය ඇත්තටම හොඳ දෙයක්.

නමුත් මට හිතෙනවා මෙහෙම දෙයක් ගැන. ඉස්සර කාලේ පත්තරවල අලුතෙන් පිටවන පොත් ගැන විස්තරයක් පළවෙන තීරුවක් තිබුණා. මේ ‘කොලම්’ එක ඉංග්‍රීසි පත්තරවලත් සිංහල පත්තරවලත් තිබුණා. ‘එහෙම පොත්පත් ගැන හොයලා ඒ පොත ගැන හොඳ නරක මධ්‍යස්ථව ලියන ‘කොලම්’ නැවතත් පත්තරවල ඇරැඹෙනවා නම් හොඳයි.

මේ විශේෂාංගය වඩාත් වැදගත් වෙන්නේ නවක ලේඛකයන්ටයි. මොකද ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගේ පොත්පත් ගැන පත්තරවල ලොකු විස්තර පළ කෙරෙනවා. නමුත් නවකයන්ට එවැනි ඉඩකඩක් ලැබෙන්නේ නැහැ.

මෙවැනි තීරුවක් හරහා ලේඛකයන්ට දිරියක් ලැබෙනවා. ඒවගේම තමන් තෝරාගත යුතු පොතපත පිළිබඳව පාඨකයාටත් කිසියම් මඟපෙන්වීමක් (Gideline) ලැබෙනවා. නවක ලේඛකයකුට එයාගේ කුසලතා වර්ධනය කර ගන්නට යම් උපදෙසක් ලබාදීමත් මේ හරහා කළ හැකියි. ඇත්තටම මෙවැනි විශේෂාංග හරහා සිද්ධ වෙන්නේ; සාහිත්‍යයට විශාල සේවයක්.

පරිවර්තන සාහිත්‍යයේ නියැළෙන ලේඛකයින් ස්වතන්ත්‍ර නිර්මාණ තරමක් ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙනවා. එහෙම වෙන්නේ ඇයි?

පරිවර්තන සාහිත්‍ය කියන්නේ ලෝකය හඳුනා ගන්නට කරන උත්සහයක්. ලොව සිටින විවිධ මානව වර්ගයාගේ ගති ස්වභාවයන්, සංස්කෘතීන්, චරිත ස්වභාවයන් හඳුනාගැනීමට අපට පරිවර්තන කෘති හරහා ඉතා පහසු වෙනවා.

නමුත් මම හිතන විදියට නම් ලේඛකයකු එක් නිර්මාණයකට කොටුවිය යුතු නැහැ. ලේඛකයා කියන පුද්ගලයා තුළ ඔහුගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ ශෛලිය තුළ ක්ෂේත්‍රය තුළ විශේෂත්වයක් තිබෙන්නට පුළුවනි.

නමුත් ඔහු විශ්ව සාහිත්‍යයේ විවිධ ක්ෂේත්‍ර හඳුනාගත් පුද්ගලයෙක් විය යුතුය. ඒනිසා පරිවර්තිත ලේඛකයා ඒ කටයුත්තට පමණක් සීමාවිය යුතු නැහැ. කෙටිකතාව ලියන්නට පුළුවන් කෙනාට නවකතාවක් ලිවිය හැකියි.

මේ කොයික ගත්තත් නිර්මාණාත්මක උත්සහයන්. එනිසා මම හිතන්නේ කිසිම ලේඛකයකු එක දේකට සීමාවිය යුතු නැති බවයි. පරිවර්තන සාහිත්‍යකරුවා කෙටිකතාවක් හෝ නවකතාවක් ලිවීම ඔහු හෝ ඇගේ ප්‍රතිරූපයට කිසියම්ම විදියක හානියක් නෙමෙයි.

ඒ හරහා ලැබෙන්නේ ආලෝකයක්. පරිවර්තනයක් කළත් කෙටිකතාවක් ලිව්වත් ළමා කතාවක් ලිව්වත් නවකතාවක් ලිව්වත් කවි පංතියක් ලිව්වත් ඒකෙන් වෙන්නේ ලේඛකයා සතු සමර්ථය ඉස්මතුවීමයි.

ඒවගේම නවකතාකරුවෙක් හෝ කෙටිකතාකරුවෙක් පරිවර්තන කිරීමට පෙළඹීමත් ඉතාම හොඳ දෙයක්. හේතුව ඔහුට හෝ ඇයට ලේඛනයට ඉතා හොඳ පුහුණුවක්. එනිසා කෙටිකතා, නවකතා ලියන කෙනෙකුට පරිවර්තන සාහිත්‍ය හුඟක් පහසුයි.

පාඨකයාගේ වැඩි කැමැත්ත සහ ඉල්ලුම තිබෙන්නෙත් පරිවර්තන සාහිත්‍යටයි. අද සමාජය තුළ පරිවර්තන සාහිත්‍ය කෘතියක් පරිශීලනය කිරීම කියවීමේ ප්‍රමිතියෙහි උසස් මිම්මක් බවට පත්වී තිබෙනවා. ඇත්තටම පාඨකයෝ මේ තරමටම පරිවර්තන කෘතිවලට ඇල්මක් දක්වන්නේ ඇයි?

පාඨකයා නිතර කැමැතියි, හැමදාම දකින දේට වඩා අලුත් දෙයක් දකින්න. එතැනදී ඔහු හිතනවා පරිවර්තන සාහිත්‍ය තුළින් ඒ වෙනස අත්දකින්න පුළුවන් වෙයි කියලා. විශ්වය පිළිබඳ වෙනස් අත්දැකීමක් සහ ලොකු පෝෂණයක් ලැබේවි යැයි සිතන නිසා පරිවර්තන සාහිත්‍යයට ලැදියි; ප්‍රියයි.

ඒවගේම අපගේ නිර්මාණ සාහිත්‍යයේ ඇති අඩුපාඩුත් පරිවර්තන සාහිත්‍යයට අසීමිත ලෙස පාඨකයා යොමුවීමටත් ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. අපේ නිර්මාණ සාහිත්‍යයේ ගැඹුරු අත්දැකීම් පලකරන ස්වභාවය අඩුවෙලා. පසුගිය කාලසීමාව තුළ ජීවන අත්දැකීම් පරිකල්පනය හා දැක්වීමේදී අප රටේ ස්වතන්ත්‍ර නිර්මාණ දුර්වල මට්ටමකට වැටී තිබෙනවා. එවැනි හේතුන් පරිවර්තන සාහිත්‍ය ජනප්‍රිය වන්නට බලපෑවා.

ඒවගේම ඉංග්‍රීසි යනු ජාත්‍යන්තර භාෂාවක්. ඉංග්‍රීසි පිරිශීලනය කරන්නට බැරි අයට ඒ සංස්කෘතිය හඳුනා ගන්නට පුළුවන්කම ලැබී තියෙන්නේ පරිවර්තන හරහායි. ඒකත් එක හේතුවක්.

කොහොම වුණත් පරිවර්තන සාහිත්‍ය සිංහල සාහිත්‍යයට අලුත් දෙයක් නෙමෙයි. අපේ පැරණි සාහිත්‍යයේ බහුතරයක් තියෙන්නේ පාලි භාෂාවෙන් හෝ සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය වූ ඒවායි. අපි කතාකරන අමා වතුර, බුත්සරණ, ජාතක කථා, රාමායනය, මේ සියල්ල පරිවර්තිත සාහිත්‍ය කෘතියි. එනිසා පරිවර්තන සාහිත්‍ය කියන්නේ අපට අමුතු දෙයක්වත් අලුත් දෙයක්වත් නෙමෙයි.

සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේදී නිර්මාණකරුවෙකුට වඩා වැදගත් වන්නේ අත්දැකීම් ද නැතහොත් පරිකල්පන ශක්තියද?

නිර්මාණ කටයුත්තකදී ලේඛකයකු හට අත්දැකීම් වැදගත් සාධකයක්. අත්දැකීම් තිබූ පමණින් ඔහුට උසස් නිර්මාණයක් බිහි කරන්නට ලැබෙන්නේ නැහැ. උසස් කෘතියක් නිර්මාණය කළ හැකි වන්නේ ඒ අත්දැකීම් පරිකල්පනය කරන ආකාරය අනුවයි. අපට ගොඩක් අත්දැකීම් තියෙන්න පුළුවන්. අත්දැකීම් තිබූ පළියට පරිකල්පනය කරන්නට බැහැ. පාඨක සිත් පැහැර ගැනීමට සමත් උසස් නිර්මාණයකදී අත්දැකීම් තරමටම පරිකල්පනයත් වටිනවා. පරිකල්පනයෙන් තොර කලාව බංකොලොත්.

ලෝක සාහිත්‍යයේ අතිශය ජනප්‍රිය චරිතාපදාන සාහිත්‍ය කලාව හා සසඳා බලන විට මෙරට බිහිවන චරිතාපදාන සාහිත්‍ය පිළිබඳ ඔබේ අදහස කෙබඳු ද ?

ලෝකයේ චරිත කතා සාහිත්‍ය කියන්නේ විශේෂ සාහිත්‍ය අංගයක්. ඒ සාහිත්‍යාංගය විවිධාකාරයෙන් ලියනවා. ස්වයං ලිඛිත චරිතාපදාන ලෙස හඳුන්වන්නේ තමන් විසින් ලියන ලද ලේඛනයයි.

බටහිර ලේඛකයන් හුඟක් ස්වයං ලිඛිත චරිතාපදාන ලියා තිබෙනවා. ඒවායේ බොහෝ වෙලාවට තියෙන්නේ සත්‍යයි. ලංකාවේ ස්වයං චරිතාපදාන සාහිත්‍ය ස්වයං වාරණයෙන් යුක්තයි.

වෙන අර්බුද නිසා තමන්ට ඇත්ත කියන්න බැහැ. අනෙක් කාරණය අපේ සංස්කෘතිය. නමුත් බටහිර ස්වයං චරිතාපදනාවල ඒ බොහෝ දේ තිබෙනවා. ඒ නිසා ඒ චරිතාපදානවල බොහෝ වටිනාකමක් තියෙනවා.

යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ගැන වෙන කෙනෙකු ලියන චරිතාපදාන තව එකක්. එතැන දී තොරතුරු ලබා ගන්නේ අධ්‍යයන හරහායි. පවුලේ අයගෙන් තොරතුරු ලබා ගන්නවා. ලංකාවේ බහුතරයක් තියෙන්නේ මෙයාකාරයේ චරිතාපදානයි.

මගේ හැඟීම නම් මේ බහුතරයක් අසම්පූර්ණ බවයි. ගැඹුරින් අධ්‍යයන නොකරන නිසා අඩුපාඩු හුඟක් තියෙනවා. මෙවැනි චරිතාපදාන ශාස්ත්‍රීය අන්දමින් ලියන විට වඩාත් සාර්ථක වෙනවා.

තවත් චරිතාපදාන වර්ගයක් ඒභබධ ඕඪධඨපචනඩරජචත (ප්‍රබන්ධ චරිතාපදාන) ‘කැලණි නදිය ගලා බසී’ එවැනි කතාවක්. තමන්ගේ ජීවිතය කලාත්මක ඇසින් විවරණය කර ලිවීම මෙහි අදහසයි. එවැන්නක තිබෙන්නේ ප්‍රබන්ධ ස්වරූපයක්. එහි සත්‍ය සහ මායාව අතර දෝලනය වන බවක් තියෙනවා.

ඉහත චරිතාපදානවලට අමතරව යුරෝපයේ තව එක් චරිතාපදාන සාහිත්‍යාංගයක් තියෙනවා. ඒ තමයි දින සටහන්. යුරෝපීය ලේඛකයන් බොහෝ දෙනෙක් දින සටහන් ලියා තිබෙනවා.

ෆ‍්‍රාන්ස් කෆ්කාගේ දිනපොත එයාගේ සාහිත්‍යයට වඩා වටිනවා. ඒවායෙත් ගැඹුරක් තියෙනවා. ලෙනාඩ් වුල්ෆ්ගේ බිරිඳ වර්ජිනිය, වුල්ෆ් ගේ දිනපොත එයාගේ ප්‍රබන්ධවලට වඩා ප්‍රබලයි. මෙම සාහිත්‍යාංගය ස්වයං ලිඛිත චරිතාපදානවලට වඩා ප්‍රබලයි. 100% ක්ම සත්‍ය තොරතුරු තියෙන්නේ.

ඔබ විශාල කෘති සංඛ්‍යාවක් ලියා ඇතත් සම්මානයට බඳුන් වී ඇති අවස්ථා ඉතාම අල්පයි.

මම කිසි දවසක සම්මාන බලාපොරොත්තු වෙලා නැහැ. නමුත් කිහිප විටක් ලැබිලා තියෙනවා. අනෙක සම්මාන ලැබීමට සම්මත ආකෘතියක් තියෙනවා. ලංකාවේ ඉන්නේ අධිපතිවාදී සාහිත්‍යකරුවන්.

ඒ කියන්නේ තමන් ලියනදේ තමයි විශිෂ්ට. මේ පිරිස හැම තිස්සේම තමන් ලියන හැම දේම උසස් කියලා හිතන නිසා සම්මාන බලාපොරොත්තු වෙනවා. සම්මාන නොලැබුණොත් කැරලි ගහනවා.

මීට අමතරව තවත් කණ්ඩායමක් ඉන්නවා. අපේ සමහර ලේඛකයෝ කල්ලි ගැහිලා ඉන්නවා. තම කල්ලියේ එක් කෙනෙක් කබල් පොතක් ලිව්වත් ඒකට සම්මාන ලැබුණම කෑ ගහන්නේ නැහැ.

තම කල්ලියෙන් පිටස්තර කෙනෙකු උසස් පොතක් ලියලා සම්මාන ලැබුණොත් කෑ ගහනවා. සම්මාන දෙනකොට විශේෂ අර්බුද ඇති වෙන්නේ සතර අගතියෙන් යුක්ත අදහස් ඇති මේ පිරිස් නිසයි.

ඔබ අයිති මේ කුමන කණ්ඩායමට ද ?

මට කණ්ඩායමක් නැහැ. මම ස්වාධීන ලේඛකයෙක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]