මුද්‍රණය සඳහා

 
ජීවිතේ කියන්නෙ සල්ලිම නොවේ

ජීවිතේ කියන්නෙ සල්ලිම නොවේ

- විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්

‘පිය-දියණී එදා මෙදා යුග බැඳුම සහිත ‘ඔබේ කටහඬ තාම මතකයි’ කෘතියේ චරිතා ප්‍රියදර්ශනී පීරිස් නම් වූ ළැබැඳි ගායිකාව පිළිබඳව මාධ්‍යවේදිනි සුරම්‍ය මාපිටිය සිත උපන් එවන්අදහස් කිහිපයකි, මේ.

ප්‍රථමයෙන් අප චරිතා හඳුනන්නේ නිවේදිකාවක ලෙසය. චරිතා මෙරට සිටින ජනප්‍රියතම ප්‍රවීණතම නිවේදිකාවකි. අදටත් ඈ නිවේදන වෘත්තියෙහි නියැළෙයි. චරිතා ගායිකාවක ලෙස වඩාත් ඒකාලෝක බවින් අනුනව දිදුළන්නට වූයේ ප්‍රකට ගායන ශිල්පි එඩ්වඩ් ජයකොඩියන්ගේ දයාබර බිරින්දෑ වීමෙන් අනතුරුවය. එහෙත් චරිතා එඩ්වඩ්ගේ පහණින් බැබළුණේ නැත. චරිතා ගී ලොවේ පැමිණ සිටින්නේ ඈටම අනන්‍ය වූ සොඳුරු මාවතක ය.

ළයාන්විතවූත් ආදරණීය වූත් අප දෙසවන් සනහාලන විශාරද චරිතා ප්‍රියදර්ශනී හමුවනු වස් අප ගියේ නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ ආරියදාස පීරිස් මාවතේ පිහිටි එඩ්වඩ් – චරිතා කැදැල්ලට ය.

ගී ලොවේ සොඳුරු හිතැත්තියක වූ චරිතා මෙසේ අප හා එක්වන්නට විශේෂ හේතුවක් ඇත. එනම් මාර්තු 8 වැනිදා සමරන ජාත්‍යන්තර කාන්තා දිනය උදෙසා චරිතාගේ මූලිකත්වයෙන් සිදු වූ අගනා මෙහෙවරක් නිසාය. කාන්තාවන් උදෙසාම වෙන්වූ මේ විශේෂිත දිනයේ දී චරිතාගේ සංවිධානයෙන් සහ තනු නිර්මාණයෙන් දායක වූ ‘ගීතයක්’ කාන්තා පරපුර වෙනුවෙන් තිළිණ කරන්නට චරිතා ගත් වෑයම සාර්ථක විය. ‘දල්වාලමු අපි එක ඉටි පහනක් සියලු ළඳුන් නාමෙන්’ ගායිකාවන් සිය දෙනෙකු ගයන ඒ ගීතය ගැන විමසමින් ම මම කතා බහ ඇරැඹුවෙමි.

ජාත්‍යන්තර කාන්තා දිනය මුළු ලෝකයම සමරනවා. අපිත් සමරනවා. නමුත් මේ විශේෂිත දිනයේ දී අපට පිළිගත් ගීතයක් තිබුණේ නැහැ. මේ දිනයට ම විශේෂිත වූ ගීතයක වටිනාකම ගැන මම සුනිලා අබේසේකර මහත්මියට අවධාරණය කළා. මම මේ අදහස කියන විටත් පුෂ්පා රම්ලනී රත්නායක කාන්තාවනට වෙන් වූ ගීතයක් ලියා තිබුණා. ඒ පද වැල් දැක්කම මට හිතුණේ පුෂ්පාගේ හිතේ ඇති වූ සිතිවිල්ල කොයිතරම් විශිෂ්ට ද කියලා.

හරිම අපූරු සංවේදී පදවැලක් පුෂ්පාගේ ඒ වචනවලට මම තනුවක් නිර්මාණය කරලා අපේ රටේ සිටින ප්‍රවීණ නවක ගායිකාවන් සිය දෙනෙකුගේ හඬින් පටිගත කරමින් රූපරචනය කළා. මේ සිදුවීම සිද්ධ වුණේ 1998 දී. මේ සඳහා එක් වූ කිසිම ගායිකාවක් ගායනයට මුදල් ඉල්ලුවේ නැහැ. කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය තමයි මේ කටයුත්තට මුල් වෙලා හිටියේ. මම හිතුවාටත් වඩා ඒ ගීතය රටේ ජනප්‍රිය වෙමින් ශක්තිමත් වුණා.

* ගායිකාවන් සිය දෙනෙකු සහභාගි කරවාගෙන ගීතයක් ගායනා කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් ඔබ ඒ භාරධූර කටයුත්ත ඉතාම පිළිවෙළකට ලස්සනකට කළා. නමුත් ඔබ හිතනවාද ඒ ගීතය ප්‍රචාරය කිරීමේ දී නිසි දායකත්වය ගුවන්විදුලි සහ රූපවාහිනි නාළිකාවලින් ලැබුණ කියලා?

ඒ ගැන නම් තියෙන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. කාන්තා දිනය දවසට නම් මේ ගීතය එෆ්. එම්. වලට මතක් වෙලා අලු ගසා බසා දාලා ප්‍රචාරය කරනවා. නමුත් අපේ අහිංසක ප්‍රාර්ථනාවක්..... බලාපොරොත්තුවක් වුණේ දවසකට එක්වරක් හෝ මේ ගීතය මාධ්‍යයකින් ප්‍රචාරය වීමයි. මේ රටේ බහුතරයක් සිටින්නේ කාන්තාවන්. නිවෙස්වල වැඩිපුර සිටින්නෙත් කාන්තාවන්.

නමුත් එෆ්. එම්. නාලිකාවලින් මේ ගීතයට තියෙන්නේ කුඩම්මාගේ සැලකිළි. මේ ගීතය රූප රචනය කළේ ජාතික රූපවාහිනියට විතරයි. එනිසා අනෙක් රූපවාහිනි නාලිකාවල ‘දල්වාලමු අපි එක ඉටි පහනක්’ ගීතය විකාශය වෙන්නේ් නැහැ. කවුරු හරි අනුග්‍රහකයෙක් හෝ අනුග්‍රහක ආයතනයක් ඉදිරිපත් වෙනවා නම් අලුතෙන් රූප රචනය කරන්නට කටයුතු සංවිධානය කරන්නට මැදිහත් වෙන්නට මම කැමැතියි. එහෙම කළොත් නම් හැම ටී. වී. චැනල් එකකින් ම මේ ගීතය විකාශය වේවි. අපි මොනවා කළත් වැඩක් නැහැ; මිනිසුන් අතරට යන්නේ නැතිනම්. මේ සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයයි.

* මේ ගීතය සංවිධානය කිරීම උදෙසා ඔබට ඇගැයීමක් එහෙමත් ලැබුණා නේද?

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය විසින් 1998 දී වසරේ ඇගැයුම් සම්මානය ලැබුණා. මේ ගීතය විෂුවල් කරන කොට මට දුව හම්බ වෙන්න හිටියේ.

* ගායිකාවක ලෙස ඔබේ දීර්ඝකාලීන චාරිකාව තුළ ඔබ නිකුත් කර ඇති ගීත සංයුක්ත පට හෝ කැසට් පට දකින්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. නමුත් නව පරපුරේ ශිල්පීන් ගමන් කරන්නේ මීට හාත්පසින් ම විරුද්ධ පැත්තට නේද?

ජීවත් වෙන්න සල්ලි අවශ්‍යයයි. නමුත් මුදල් මතම ජීවිතයේ තීන්දු තීරණ ගැනීම එච්චර ගුණ නැහැ. මිනිසත් බව කියන්නේ මුදලට එහා ගිය දෙයක්. අනෙක් එක සත්‍යවාදී බව. ඒ වගේ ම කියන දේ කරන ගුණගරුක පුද්ගලයෙක් විය යුතුයි. කලා ලොවේ අද ඉන්න පිරිස අතරේ මේ ලක්ෂණ තිබෙන අය ඉන්නවද කියලා හිතලා බලන්න.

මම කලා ක්‍ෂේත්‍රයට එනකොට අවුරුදු 19 යි. අවුරුදු 22 දී මම විවාහ වුණා. අවුරුදු 23, 24 වෙනකොට දරුවෝ ලැබුණා. අපි මහත් වුණා; කෙට්ටු වුණා. බියුටි එක ගැන හිතුවේ නැහැ. නමුත් අවුරුදු 23ක් පුරා අදටත් නිවේදන කටයුතු කරනවා. ඒකට හේතුව අපි ශක්තිමත් ගමනක අඩිතාලමක් දමමින් මේ ගමන පටන් ගත්තේ. එනිසා එදා වගේ ම අදටත් අපට ජනතාව ආදරෙයි. අපිව පිළිගන්නවා.

නමුත් එදා රේණුකා, ඉඳුනිල් අපි ඇති කරගත් පෞර්ෂය මේ නවක පිරිසට ඇති කර ගන්න පුළුවන් වෙලා තියෙනවාද? රූපවාහිනි ආයතනවලට, ගුවන්විදුලියට විවිධ දේශපාලන පක්ෂ සමඟ සභාපතිවරු සහ විධායක නිලධාරීන් ආවා ගියා. නමුත් අපි හැමදාමත් නොවෙනස්ව හිටියා. ඒකට ප්‍රධාන හේතුව අද ඉන්න බොහෝදෙනා වගේ අපට වේගවත් ගමනක් හෝ විශාල ඉලක්ක තිබේබේ නැති නිසයි. අපි ආවේ හෙමින් ගමනක්. මේ ගමන ඉවසීමෙන් ආපු ගමනක්. අපි රටට අහිතකර දෙයක් කරලා නැහැ. රටට හානිදායක දෙයක් කරලා නැහැ. අපිට එහෙම කරන්න පුළුවන් වුණේ ප්‍රවීණයන්ගෙන් ජ්‍යෙෂ්ඨයන්ගෙන් යහපත් දේවල් අපි උකහා ගත් නිසයි. තරුවක් වෙලා එසැනින් බැහැලා යන්න මේ චරිතාට අවශ්‍ය වුණේ් නැහැ.

* මෙවර ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවැනිවරටත් ජනපති කරවන්නට පමණක් නොව ඒ ජය අතිවිශිෂ්ට බවට පත් කරන්නට පෙළ ගැසුණු කලාකරුවන් අතරේ එඩ්වඩ් – චරිතා දෙපළත් කැපී පෙණුනා.

1994 ඉදලා එඩ්වඩ් සහ මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතුවල දී කලාකරුවන් හැටියට එකතු වී වැඩ කළා. මෙවර ජනාධිපතිවරණය එක් අතකින් තීරණාත්මක මොහොතක් වුණා. වසර 30ක් තිස්සේ තිබුණු යුද්ධය අපි දැක්කා. වෙච්ච හානි දැක්කා. මේ ප්‍රශ්නෙදී රටේ නායකයා හැටියට ජනාධිපතිතුමා යහපත් විදියට ප්‍රතිචාර නොදැක්වූවා නම් මේ යුද්ධය දිනන එක හීනයක්. එනිසා මේ රටේ යුද්ධය අවසන් කර අපට නිදහස් රටක් ලබා දෙන්නට ජනාධිපතිතුමා පුමුඛ ඒ කණ්ඩායම කළ මෙහෙවරට අපි සදා ණයගැතියි. රටේ පුරවැසියන් හැටියට අපි හැම කෙනෙකුගේ ම වගකීම ජනපති අපට ලබාදුන් ඒ නිදහසේ ගෞරවය රැක ගන්නට කටයුතු කිරීමයි. දැන් යුද්ධය ඉවරයි. දැන් තියෙන්නේ රටේ සංවර්ධනයයි. ඒ කාර්යයට අපි හැමෝම ජනාධිපතිතුමාට ශක්තියක් වෙමින් වගකීමෙන් කටයුතු කරමු.

ජනපතිට සහය පළ කරන්නට මෙවර කලාකරුවෝ අති විශාල පිරිසක් එකතු වුණා. එනිසා කලාකරුවෝ කණ්ඩායම් හතරක් පහක් මේ ක්‍රියාදාමය වටා හිටියා. 1994 ඉඳලා වරින් වර කලාකරුවෝ මේ කටයුත්තට පෙළ ගැහුණත් ඒ කවර අවස්ථාවකටත් වඩා කලාකරවෝ 99% ක් පක්ෂ පාට අමතක කරලා මෙවර ජනපති වටා පෙළ ගැහුණා. මේ පිරිස් විවිධ අයුරින් රැස්වීම්වලට සහභාගිවෙමින් සහය පළ කළා. ඒ වේදිකාවේ දී සමහරු කතා පැවැත්වූවා. සමහරු කතා පවත්වමින් ගීත ගායනා කළා. තවත් සමහරු ගීත පමණක් ගායනා කළා. සමහරු නිහඬවම හිටියා.

නමුත් මේ හැමෝ ම කළේ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටීමක්. මාසයක් වගේ කාලයක් අපි කිසිම කලා කටයුත්තක් බාර නොගෙන ජනපති වෙනුවෙන් පෙළ ගැහුණේ සද්භාවයෙන්. ඒ පෙළ ගැස්මේ ප්‍රතිඵල දකිමින් ජනපති අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළා. ඒ ගැන තියෙන්නේ ඇත්තට ම සතුටක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]