මුද්‍රණය සඳහා

 
කාන්තාවන් ආවම දේශපාලනයත් ලස්සනයි


 

කාන්තාවන් ආවම දේශපාලනයත් ලස්සනයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. මෙවර ශශ්‍රී ලංකාව එය සමරන්නේ මැතිවරණ සමයකයි. එහෙයින් මේ කාන්තා දිනයේ දී කාන්තාවන්ගේ පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත.

සෑම වසරකම සම්ප්‍රදායික ව සිදු කෙරෙන කාන්තා දින සැමරුම් වලදී අසන්නට ලැබෙන ඉතාමත් ආකර්ශනීය මෙන්ම අගය කළ හැකි යෝජනා යථාර්තයක් බවට පත්කරගැනීම සමඟ ද මේ කාරණය සම්බන්ධ වන නිසා එය වඩාත් අවධානයට ලක් කළ යුතු කාරණයකි.

ඒ සමඟ ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ව ගොඩනැඟෙන අලුත් ශශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ද එය අදාළය.

එහෙයින් මීළඟ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ ව සමාජය මීට වඩා ගැඹුරින් අවධානය යොමුකළ යුතු බව අපගේ වැටහීමයි.

නියෝජනය

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳ සංවාදයට ලක්වන මෙම වකවානුව තවත් සුවිශේෂී කාරණයක් නිසා වැදගත් ය. ඒ ලෝකයේ පළමු අගමැතිවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වීමෙන් පනස් වසරක් සපිරෙන්නේ මේ වර්ෂයේ දී වන බැවිනි.

තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරන බව ලෝකයට දක්වමින් ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහිකිරීමේ ගෞරවයට රටක් හැටියට අපි හිමිකම් කීවෙමු. එමෙන්ම මේ කාරණය ලෝක ඉතිහාසයේ අගනා සන්ධිස්ථානයක් ද වේ.

මැතිනියගෙන් පසු ඉන්දියාවේ ඉන්දිරා ද ඇතුළු එදා මෙදා තුර බිහි වූ රාජ්‍ය නායිකාවන් ගණන සැළකිය යුතු ප්‍රමාණයකි. ඉන් ඇතැම් නායිකාවන් තමන් නියෝජනය කරන රටවලට සීමා නොවෙමින් ජගත් දේශපාලන කරළියේ ද කැපී පෙනෙන කාර්ය භාරයක් සපුරාලීය.

මේ පිළිබඳ ලෝකයට ම මහඟු ආදර්ශයක් ලබාදුන් නමුදු ඉන් දශක පහකට පසුවත් දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ යම් ප්‍රශස්ත මට්ටමකට අප ළඟා වී නොසිටීම පිළිබඳ අප කණගාටු විය යුතුය.

1994 දී ශශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය තේරී පත්වීම මේ ගමන් මෙඟ් හමුවන විශේෂ සන්ධිස්ථානයක් බව සැබෑවකි . එහෙත් කාන්තාවක් රටේ මුල් පුටුව හෙබ වූ දශකයකට මඳක් වැඩි කාල වකවානුව තුළදීවත් සතුටුදායක කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කර ගැනීමට අප සමත් ව නැත.

තවත් විශේෂ ම හා ඓතිහාසික කාරණයක් වන්නේ ආසියා අපි‍්‍රකා හා ලතින් අමෙරිකා රටවලින් කාන්තාවන්ට මුලින් ම ඡන්ද බලය හිමි වූ රටවල් අතරට ශශ්‍රී ලංකාව ද එක්ව තිබීමයි. 1931 දි මෙරටට සර්වජන ඡන්ද බලය ලැබිණි.

සිරිමාවෝ බණ්ඩාරනායක

කාන්තාවට ඡන්ද බලය හිමිවීම දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් ද බොහෝ ඉදිරිගාමී කාරණයක් විය. එහෙත් පොදුවේ සෑම ප්‍රධාන දේශපාලන පක්‍ෂයකින්ම පාහේ කාන්තාවන් සඳහා මැතිවරණ නාමයෝජනා ලබාදීමේ දී යොමු වී ඇති අවධානය පිළිබඳ සතුටුවිය නොහැකිය.

එසේම මෙරට ඡන්ද දායකයන්ගෙන් පිරිමි පාර්ශවය හා සම මට්ටමක හෝ ඊටත් වැඩි පිරිස කාන්තාවන් වුවද ඔවුන් සිය ඡන්දයෙන් කාන්තාවන් පාර්ලිමේන්තුවට තෝරා ගැනීමට තරම් සැළකිලිමත් වී තිබේ ද යන කාරණය ද අවධානයට ලක්විය යුතුය.

බොහෝ විට මේ කාරණය පිළිබඳ කාන්තා පාර්ශවය තුළ ම පවා එතරම් උනන්දුවක් ඇති වී නැති බව පසුගිය මැතිවරණ දත්ත විමසා බැලීමෙන් පැහැදිලි වේ.

දත්ත

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන අතර ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 56% ක්ද කාන්තාවන්ය. එසේ වුව ද පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් ගණන (2004 වන විට) 13 ක් තරම් අඩු සංඛ්‍යාවකි.

පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රතිශතයක් ලෙස එය 5.8% කි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දෙන අයගේ අදහස වී ඇත්තේ මේ සංඛ්‍යාව අවම වශයෙන් දෙගුණයක් වත් විය යුතු බවය.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ ඉතිහාසය දෙස විමසා බැලීමේදී මේ ගැන යම් අදහසක් ඇතිකර ගත හැකි වෙයි. 1947 දී නියෝජිතයන් 95 දෙනෙකු ගෙන් කාන්තාවන් සිටියේ 03 කි. 1956 වනවිට එය 04 දක්වා ඉහළ ගියේය.

විවියන් ගුණවර්ධන

1960 දී නියෝජිතයන් සංඛ්‍යාව 151 දක්වා වැඩි වුවද කාන්තා නියෝජනය 02 දක්වා පහත වැටිණි. යළිත් 60 ජූලි මැතිවරණයේ දී එය 03 දක්වා ඉහළ ගියේය. 1965’ වනවිට මේ සංඛ්‍යාව දෙගුණයක් විය. යළිත් 1977’ දී පාර්ලිමේන්තු නියෝජිතයන් සංඛ්‍යාව 168 දක්වා වැඩි කෙරිණි.

එහෙත් එම පාර්ලිමේන්තුවේ ද කාන්තාවන් සිටියේ 7 ක් පමණි. 1989 දී මන්ත්‍රීධූර සංඛ්‍යාව දැනට සිටින ප්‍රමාණය වන 225 දක්වා ඉහළ දැමීම සිදුවිය. කාන්තා නියෝජනය ද 12 දක්වා ඉහළ ගියේය.

එහෙත් ඉන්පසු ගත වී ඇති දශක දෙකක කාලවකවානුව තුළ වරින්වර අඩු වැඩි වීම් සිදුවී 1989’ සිටි සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණේ එකකින් පමණක් වීම සැළකිල්ලට භාජනය විය යුතුය. පළාත් පාලන ආයතන හා පළාත් සභා තුළ ද කාන්තා නියෝජනය වර්ධනය වෙමින් ඇති බව පෙනෙන්නට ඇත.

පසුබිම

ශශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ ආසියාතික රටවල කාන්තාවන් දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලන හේතූන් මත ඝාතනය වීම හෝ ඔවුන්ගේ අභාවයන් සිදුවූ පසුය. ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වූයේ සිය සැමියා වූ බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසීමෙනි.

94’ දී ජනාධිපති ධූරයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කළෙක පටන් දේශපාලනයේ නියැළි නමුදු ඇය වඩා ක්‍රියාකාරී ලෙස දේශපාලනයට යොමුවන්නේ සිය සැමියා වූ විජය කුමාරතුංග මහතාගේ ඝාතනයත් සමඟයි.

ඉන්දීය දේශපාලනයේ අයෝමය භූ®මිකාවක් ඉටුකරමින් සිටින සෝනියා ගාන්ධි මහත්මිය දේශපාලනයට පිවිසියේ සිය සැමියා වූ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයෙන් පසුවය. මෙවැනි උදාහරණ ගණනාවක්ම ඇත.

එක් අතකින් මව්වරුන් බිරින්දන් ලෙස එවැනි අවස්ථාවන්හිදී තමන් අත්විඳි පීඩනය දරාගත් වේදනාවන් සහ බාහිර මතුවූ ඉල්ලීිම් ද එම කාන්තාවන් දේශපාලනයට රැගෙන ඒමට හේතුවූ බව පෙනෙයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දේශපාලනයට සෘජු ව අවතීර්ණ වූයේ ද සිය සැමියා වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා ඝාතනයවීමෙන් පසුවයි.

අභියෝග

මේ සමඟ ම සඳහන් කළ යුතු කාරණයක් වන්නේ ඉකුත් දශක දෙකක තුනක පමණ කාලසීමාව තුළ මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය සීමා වීමට පැවැති යුදමය වාතාවරණය 89 - 90 භීෂණකාරී අඳුරු යුගය වැනි හේතූන් බලපෑවේ ද යන්නයි. එම සිද්ධීන් නිසා කාන්තාව දේශපාලනයට අවතීර්ණවීම අධෛර්යමත් කරන සමාජ පසුබිමක් නිර්මාණය වී තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක

දේශපාලනික හා සමාජමය වශයෙන් සක්‍රිය භූමිකාවක නියැළෙමින් සිටි කාන්තාවන් ගණනාවක් මේ වකවානු තුළ ඛේදනීය ලෙස ඝාතනයට ලක්විය. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වන රාජිනී තිරාණගම, යාපනය හිටපු පුරපතිනි සරෝජනී යෝගේෂ්වරන් ඇතුළු විවිධ සමාජ ක්‍ෂේත්‍ර නියෝජනය කළ කැපී පෙනෙන කාන්තා චරිත ගණනාවක්ම රටට අහිමි විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඝාතනය කිරීම සඳහා දරණ ලද මරාගෙන මැරෙන ප්‍රයත්නයේ දි ඇය දිවි ගලවා ගත්තේ නූලෙනි. එහෙත්, ඇයගේ ඇසක් දරුණු ලෙස තුවාල ලැබීය.

මේ බොහොමයක් ඝාතන හා ඝාතන ප්‍රයත්න සඳහා වගකිව යුත්තේ එල්. ටී . ටී. ඊ. ත්‍රස්තවාදයයි.

මේ සාධක හැරුණුවිට ශශ්‍රී ලංකාවේ ඇති ඕනෑවටත් වැඩි දේශපාලන පක්‍ෂ වලින් කාන්තා නියෝජනය සඳහා ලැබෙන ඉඩ ප්‍රස්තා සීමාවි තිබීම ද කාන්තාවගේ දේශපාලන ප්‍රවේශය අවහිර කිරීමට බලපාන ගැටලුවක් වී ඇත.

සංසන්දනය

කලාපයේ සෙසු රාජ්‍යයන් හා සසඳන විට සමාජ දේශපාලන - ආර්ථික කාරණාවලින් අප සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් හා ඉදිරිගාමී තත්ත්වයක් පෙන්නුම් කිරීමට සමත්ව සිටි. එහෙත්, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ කාරණය හමුවේ ශශ්‍රී ලංකාව සිටින්නේ සෙසු කලාපීය රටවල් බොහොමයකට වඩා පිටුපසිනි.

කලාපයේ වැඩිම කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් සිටින නේපාලයේ නියෝජිතයන්ගෙන් 1/3 ක් පමණ කාන්තාවන්ය. ප්‍රතිශතයක් ලෙස එය 33% කි. පාකිස්තාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 76 කි.

ඒ නියෝජිතයන් 338 ක් අතරිනි. ඉන්දීය පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරියන් 58 ක් සිටි. ඒ 543 ක් අතරිනි. මේ හැරුණු විට ඉන්දියාවේ ජනාධිපතිවරියක ද පත් ව සිටී. නියෝජිතයන් 345 කගෙන් 64 ක් කාන්තාවන්ය.

මේ තත්ත්වය මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල තියුණු අවධානය ට ලක්විය යුතු බව අපගේ අදහසයි. ඒ සමඟ ම ජගත් කීර්තියට පත් රාජ්‍ය නායිකාවක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, සටන්කාමී දේශපාලනයේ පුරෝගාමී භූමිකාවක් ඉටු කළ විවියන් ගුණවර්ධන මැතිනිය වැනි චරිත කාන්තා දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන අයගෙ පුළුල් හැදෑරීමට ලක්වීමද සුදුසුය.

ඉදිරි මහ මැතිවරණය සඳහා සැළකියයුතු කාන්තා නියෝජනයක් ලැබී තිබීම සතුටට පත්විය හැකි කාරණයකි. කලා , ක්‍රීඩා, වෛද්‍ය ආදී විවිධ වෘත්තීන් නියෝජනය කරන ප්‍රකට කාන්තාවන් ගණනාවක් ම මේ මැතිවරණයට මුල්වරට ඉදිරිපත් ව සිටී. ඒ කළින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් හා ඇමැතිවරියන් ට අමතරව ය.

ඉදිරි ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ දී ඊට කාන්තා දැක්මක් ද එක් කිරීම ඔවුන්ට පැවරෙන සුවිසල් කාර්යභාරයක් වනු ඇත.

කාන්තා රැකවරනය උපරිම අන්දමින් තහවුරුවන අන්දමේ ශිෂ්ට සම්පන්න සමාජයක් නිරමාණය කිරීමෙහිලා ඔවුනට වැඩි දායකත්වයක් සැපයීමටද හැකිවනවා ඇත. යහපත් සමාජයක් නිර්මාණය කිරීමේදී මවකට පැවරෙන වගකීම හා ඇය අතින් ඉටුවිය යුතු සමාජ මෙහෙවර අවබෝධ කරදීම ද එහිදී වැදගත්ය. මේ මැතිවරණයේ දී අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන සඳහන් වීම නිසා ද කාන්තා නියෝජනය අතිශයින් ඵලදායකය.

මේ සැම දෙයක්ම කිරීමේ දී මාතෘත්වයට නිසි ගරුත්වය ලබාදෙන සෑම දෙයකම පළමු තැන අම්මාට බව කල්පනා කරන රාජ්‍ය නායකත්වයක් බිහි කැර ගැනීමට මේ රට සමත්වීම සුවිසල් ජයග්‍රහණයකි.

එකී නායකත්වය තුළ මේ කාරණයේ දී ඇති නිවැරැදි දැක්ම ක්‍රියාත්මක කිරීමේ දී ඊට මනා පිටුබලයක් විය හැකි ප්‍රමාණවත් බුද්ධිමත් කාන්තා නියෝජනයක් ඊළඟ පාර්ලිමේන්තුවට ලබාදීම පැවරෙන්නේ අප්‍රේල් 8 දා ඡන්ද පොළට යන ඔබටය, අපටය.


කාන්තාව දේශපාලනයේ සැබෑ සක්‍රීය බලවේගයක්

නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි - තරුණ කටයුතු ඇමැතිනී

ශ්‍රී ලාංකේය දේශපාලනයේ කාන්තා නියෝජනය ඈත රජ දවස කුවේණිය දක්වා පැතිරුන එකක්. බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණ මුල්ම රාජ්‍යයත් ශ්‍රී ලංකාවයි.

ඒ අපේ කාන්තාවන්ගේ බලවත් උද්ඝෝෂණය හා සටන්කාමීත්වය නිසයි. ඒ නිසාම ලොව පළමු අගමැතිනිය බිහි කරන්න ශ්‍රී.ල.නි.පක්ෂයට හැකි වුණා. මේ ආඩම්බරය තියෙන්නේ ශ්‍රී.ල.නි. පක්ෂයේ අපටයි.

ඒ වගේම පසුගිය පළාත් සභා ඡන්ද විමසීමේදී එ.ජ.නි සන්ධාන ලැයිස්තුවේ ප්‍රබල කාන්තා නියෝජනයක් ලබා දෙන්න ජනාධිපතිතුමා පියවර ගත්තා. මේ තීරණය මොන තරම් නිවැරදි ද කියා තහවුරු වුණේ ඉදිරිපත් කළ කාන්තා අපේක්ෂිකාවන්ගෙන් 90% ජය ගැනීම නිසයි.

ජනාධිපතිතුමා අපේ පක්ෂය තුළ කාන්තාව පිළිබඳ තිබූ පසුගාමී මානසිකත්වය බිඳ දමා විප්ලවීය වෙනසක් ඇති කළා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන්ට දේශපාලනයේ ගෞරවනීය තැනකට එන්න ජනාධිපතිතුමා නිර්ලෝභී ව ඉඩ දුන්නා.

අද වන විට ජාතික දේශපාලනයට ද කාන්තාවන්ට ඇතුල්වීමට ඉඩ දෙමින් ජනාධිපතිතුමා විද්වතුන්, ක්‍රීඩකයින්, කලාකරුවන් වැනි පුර්ව දේශපාලන උරුමයන් නැති ජාතික තලයේ ගෞරවනීය චරිතවලට ඉඩ දුන්නා.

ශ්‍රී.ල.නි. පක්ෂ කාන්තා සංවිධානය තරම්, ප්‍රබල කාන්තා දේශපාලනික බලමුළුවක් මේ රටේ කිසිම පක්ෂයක නැති බව අපි විශ්වාස කරනවා. අප පක්ෂයේ කාන්තා සංවිධානය දේශපාලනයෙන් ඔබ්බට යමින් මේ රටේ සමාජ ආර්ථික, සංස්කෘතික ව්‍යුහයන් තුළ දී කැපී පෙනෙන වැඩ කොටසක් පසුගිය කාලය තුළ ඉටු කළා.

අපේ රටේ ජනගහනයෙන්, ඡන්ද දායකයන්ගෙන් බහුතරය කාන්තාවන් වුවත් මේ රටේ මහජන නියෝජිත ආයතන තුළ කාන්තා නියෝජනය සෑහීමකට පත් විය හැකි තරමක නැති බව සත්‍යයක්. එයට ප්‍රධාන හේතුව ඡන්දය දී හැමදාම රට බේරා ගන්න අපේ කාන්තාවන් ඡන්ද පොළට ගියත්, ඡන්ද ඉල්ලන්න, දේශපාලනය කරන්න ඉදිරියට එන්න අපේ කාන්තාවන් තරමක උදාසීන බවක් දක්වනවා.

ඒ වෙනස කරන්න කාන්තාව දේශපාලන වශයෙන් බල ගැන්විය යුතුය. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධන තුළින් මහජන නියෝජිත ආයතන තුළ කාන්තා නියෝජන ප්‍රතිශතය වැඩි කළ යුතුයි.

ඒ වෙනුවෙන් අපේ පක්ෂය- කාන්තා සංවිධානය අවශ්‍ය මැදිහත් වීම් උපරිමයෙන් කරනවා. විශේෂයෙන් අපේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විශාල උනන්දුවකින් අපට ශක්තිය ලබා දෙනවා.

ඒ වෙනුවෙන් කාන්තාවන් දේශපාලනයට ගැනීමට පමණක් නොව, ඔවුන් රාජ්‍ය පාලනයේ සැබෑ සක්‍රීය බලවේගයක් බවට පත් කර ගනිමින්, ගෞරවනීය ස්ථානයක ස්ථානගත කිරීමටත් ජනාධිපතිතුමා සැබෑ අවංක උත්සහයක් ගන්නවා.

එවැනි ධනාත්මක ව සක්‍රීය සමාජ බලවේගයක්, ලෙස ඉදිරියට ගැනීමට බොහෝ නායකයන් නොසිතන යුගයක, අපේ ජනාධිපතිතුමා කාන්තා නියොජනය ඉහළ නැංවීමට සත්‍ය ලෙස ම උනන්දු වෙනවා.

අපේ කාන්තා සංවිධානයේ නායිකාවන් රැසක් අද රටේ ඉහළ දේශපාලන හා පරිපාලන ස්ථානවලට පත් කිරීම තුළින් ම ජනාධිපතිතුමා ඒ බව ඔප්පු කර තිබෙනවා. රටේ ඉහළ පැලැන්තියේ කාන්තාවන් නොව පහළ පංතියේ කාන්තාවන්ට ඒ උත්තරීතර අවස්ථා ලබා දීම අනෙක් පක්ෂවලට ආදර්ශයක් ලෙස ගන්න පුළුවන්.


අලුත් දේශපාලන සංස්කෘතියක්

ෆේරියල් අෂ්රෆ් - නිවාස හා පොදු පහසුකම් ඇමැතිනී

මේ වතාවේ කාන්තාවන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඒක හොඳ ප්‍රවනතාවක්. කාන්තාවන් දේශපාලනයට නොඑන්න පැවතුන ගැටුම්කාරී තත්ත්වයන් විශාල ලෙස බලපෑවා.

ඒත් දැන් රට නිදහස්, කාන්තාව දේශපාලනයට ආ යුතුයි කියද්දී මම නිතරම අහන ප්‍රශ්නයක් තමයි, මේ තියෙන දේශපාලනයටමද එසේත් නැත්නම් මේ තියෙන දේශපාලනයේ වෙනසක් ඇති කරන්නද කාන්තාවට එන්න කියන්නෙ කියලා.

විකෘති දේශපාලන සංස්කෘතියක් වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙමින් තියෙද්දී කාන්තාව වැඩියෙන් දේශපාලනයට පිවිසෙමින් සිටීම මම සුබවාදී ව දකිනවා.


සම තැන වෙනුවට නිසි තැන

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

දේශපාලනය සඳහා කාන්තාවන් යොමු වන්නේ අඩුවෙන්. ඊට හේතු වෙලා තිබෙන්නේ කාන්තාවන් ඒ සඳහා යොමුවීමට තිබෙන අකමැත්ත. දේශපාලන ක්ෂේත්‍රයට යොමු වූ කාන්තාවන් ඒ සඳහා බොහෝ විට යොමු වෙලා තිබෙන්නේ පවුල් පසුබිමත් සමඟයි.

බොහෝ විට දේශපාලනයට යොමු ව තිබෙන බොහෝ් කාන්තාවන්ගේ පියා, ස්වාමිපුරුෂයා එහෙත් නැත්නම් සහෝදරයෙක් හෝ දේශපාලනයේ නිරතවෙලා තිබෙනවා. ඔවුන්ගෙන් ලත් ආභාෂය ඒ සදහා බලපා තිබෙනවා. වර්තමාන දේශපාලන තත්ත්වය බැලූවත් මේ තත්ත්වය ඉතා පැහැදිලි ව හදුනාගත හැකියි.

මා විශ්වාස කරන හැටියට අද කාන්තාවන්ට හිමිවිය යුත්තේ සම තැන වෙනුවට නිසි තැනයි. දේශපාලන ක්ෂේත්‍රයට ද එය පොදුයි. කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ නිසි තැන හිමි විය යුතු ව තිබෙනවා.

පසුගිය කාලයේ එය නිසි ලෙස සිදුනොවුණත් මේ වන විට ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් එය ඉටු කෙරෙමින් පවතින බව කියන්න පුළුවන්. 2005 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්තිමය ලියවිල්ලේ කාන්තාවන් ඉලක්ක කර ගත් විශේෂ ව්‍යාපෘති රැසක් යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන් ම කාන්තාවන්ට නිසි තැන ලබාදීමට නිසි දැක්මක් හා නිසි වැඩපිළිවෙළක් ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව පැහැදිලියි. පසුගිය වසර තුළ දී කාන්තාවන්ට විවිධ ක්ෂේත්‍රවල නිසි තැන ලබාදීමට කටයුතු කෙරුනෙත් මෙම වැඩපිළිවෙළ නිසයි.

කාන්තාව මූලික ලෙස කටයුතුª කරන්නේ සිය පවුල කේන්ද්‍ර කර ගනිමින්. මේ නිසා දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට තමන්ට උවමනාව තිබුණත් පවුල තුළ එවැන්නකට ඇති ඉඩකඩ සීමිතයි. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි.

සාමාන්‍යයෙන් අපි ඉන්නේ පීතෘ මූලික සමාජයක වුණත් පවුලේ තීන්දු තීරණ ගැනීමේ දී කාන්තාව ඉන්නේ ඉදිරියෙන්. බොහෝ විට කාන්තාව එහෙමත් නැත්නම් අම්මා තමයි මේ පවුලේ ඉදිරිය පිළිබඳ යම් යම් තීන්දු තීරණ ගන්නේ.

අනෙක සමාජයට හොඳ දරුවෙක් නිර්මාණය කිරීමේ කාර්යයේ දී කාන්තාවගේ කාර්යය භාරය අතිශයින් වැදගත්. දරුවාට සමාජය හදුනා ගැනීමට හුරු පුරුදු කරන්නේ කාන්තාවන්. මේනිසා ඇයගේ ධෛර්ය හා ශක්තිය අවතක්සේරු කළ නොහැකියි.

දැනට වඩා ඉදිරියේ දී කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට වැඩි ඉඩ කඩක් අප සලසා දිය යුතු ව තිබෙනවා. මහජන නියෝජන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ දී අදාල ලැයිස්තුවට අනිවාර්ය කාන්තා නියෝජනයක් තිබුණත් ඇතැම් විට කාන්තාවන් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා එය නොසලකා හරින අවස්ථා ද අප දැක තිබෙනවා.

මේ තත්ත්වයන් අප වෙනස් කළ යුතුයි. කාන්තාවන් තමන්ට හිමි නිසි තැන ලබාගැනීමට කටයුතු කළ යුතු වුණත් ඇය සතු යුතුකම් හා වගකීම් පැහැර හැර ඒ වෙනුවෙන් කටයුතු කිරීම ගැන එකඟවිය නොහැකියි. මේ නිසා කාන්තාවන් වශයෙන් අප ප්‍රමුඛත්වය දිය යුත්තේ අපේ යුතුකම් හා වගකීම් ඉටු කරමින් අපට හිමි නිසි තැන ලබාගැනීමටයි.

කාන්තාව සමාජය වෙනස් කිරීම සඳහා දායක වන ආකාරය පසුගිය ජනාධිපතිවරණයේ දී ද අපට තහවුරු වුණා. ජනාධිපතිවරණයේ දී දිගු කාන්තා පෝලිම් අපි දැක්කා. ඒ සියලු දෙනා ජනාධිපතිතුමාට කෘතවේදීත්වය පළකරන්නයි එලෙස පෙළගැසී සිටියේ.

ඒ නිසා කාන්තාවන්ගේ ශක්තිය විදහා දැක්වුණු මැතිවරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. එය මෙවර මහා මැතිවරණයට පොදු කාරණයක් වේවි.

මේ නිසා කාන්තාව හා දේශපාලනය යන මාතෘකාවේ දී අවධාරණය කළහැකි කරුණු තමයි, කාන්තාවන් දේශපාලනයට මීට වඩා ක්‍රියාකාරී ව සම්බන්ධ විය යුතුය යන්නයි. කාන්තාවන් දේශපාලනයට වැඩි වශයෙන් පිවිසීම රටේ අනාගතයට සුබ ප්‍රවනතාවයක් ලෙස මම සලකනවා.


දැන් පෙනෙන්නේ අනාගතයේ සුබ ලකුණු

ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ

දේශපාලනයේ කාන්තා නියෝජනය අපේ රටට අමුතු දෙයක් නොවේ. ලොව ප්‍රථම අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් ඒවගේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කැපී පෙනුණ චරිත බවට පත්වුණා.

සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩුයි. ඒ සඳහා හේතු කිහිපයක්ම බලපානවා. ඉන් ප්‍රධාන වන්නේ පිරිමින් සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීමට යෑමේදී සිදුවන නොයෙකුත් හැලහැප්පීම්. මේ හැලහැප්පීම්වලට අකමැති නිසා කාන්තාව දේශපාලනයෙන් ඈත් වෙනවා.

ඒවගේම මෙවර මැතිවරණයට අලුත් කාන්තා මුහුණු කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා. එය සුබ ලකුණක්. කාන්තාවකට දේශපාලනඥයකු වීමට හැකියාව තිබෙනවා. එයට ප්‍රධාන හේතුව ඇය ජනතාවගේ ප්‍රශ්න කෙරේ සංවේදීව මෙන්ම ගැඹුරින් කල්පනා කිරීමයි.

මම දේශපාලනයට ආවේ බොහෝ දේ කැප කරලා. මට අවශ්‍ය ජනතාවට අවංකව සේවයක් කිරීමටයි. එය ඉටු කිරීමේ හැකියාව මට තිබෙනවා.


කාන්තා නියෝජනය - ශ්‍රී ලංකාව ඉදිරියෙන්

මහින්ද අබේසුන්දර - දිනමිණ ප්‍රධාන කර්තෘ

කාන්තාවට නිසි තැනදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන් සිටී. ලොව ප්‍රථම අගමැතිනිය පත් කළේද ශ්‍රී ලංකාවයි. එම පත්වීම මොනතරම් සාධාරණදැයි කිවහොත් එක්සත් ජාතික පක්ෂය මේ රට ධනපතීන්ගේ පාමුලට ඇදගෙන යාම නතර කළේද කාන්තාවයි.

එමෙන්ම දේශීය කර්මාන්තය නඟා සිටුවීමට ජනපති ව්‍යපාරය ස්ථාපිත කිරීමට මෙරටේ බලගතු වාමාංශිකයන් සමඟ අත්තිවාරම දැම්මේද කාන්තාවකි.

මහින්ද රාජපක්ෂ මහතා යටතේ කාන්තාවන්ගේ ස්ථාවරය තව තවත් තහවුරු කර තිබේ. මේ තත්ත්වය යටතේ ඇතැම් කාන්තාවන්ට රට භාර දී කරගත් වින්නැහියත් අපට සිහිපත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]