ධර්ම දානය

ධර්ම දානය

‘සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසො ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණහකඛයො සබ්බ දුකඛං ජිනාති’

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කාලයේ තව්තිසා දෙව්ලොව දෙවියෝ ‘දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද, රසයන් අතුරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතුරෙන් කවර ඇල්මක් ශ්‍රේෂ්ඨද, අර්හත් ඵලය කවර හෙයින් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද ? යනුවෙන් ප්‍රශ්න සතරක් ඉපද වූහ. දොළොස් අවුරුද්දක් මේ ප්‍රශ්න සතර විසඳාගත නොහැකි විය.

අන්තිමේදී සක්දෙව් රජුගෙන් විචාරණ ලදුව සක්දෙව් තෙමේ දෙවියන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විචාළේය. බුදුරජාණන් වහන්සේ ‘සබබ දානං ධමම දානං ජිනාති’ යනාදී වශයෙන් ඉහත සඳහන් ගාථාවෙන් ඒ ප්‍රශ්න සතර විසඳූ සේක. ‘සියලු දානයන් අතුරෙන් ධර්ම දානය ජය ගනී. සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී, සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී. තෘෂ්ණාව නැති කිරීම (අර්හත් ඵලය) සියලු දුක් වලින් ජය ගනී’ යනු එහි අදහසයි.

ධර්ම දාන ආනිශංස

ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨකථාවෙහි මෙසේ සඳහන් වේ.

යම් සේ සක්වල ගැබ පුරා බ්‍රහ්ම ලෝකය දක්වා අතර නැතිව වැඩ සිටි බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා කෙසෙල් ගොබ සමාන සිනිඳු සිවුරු දෙන්නේ වේද, එය වඩා ඒ සමාගමයෙහි සිව් පදයකින් යුක්ත ගාථාවකි. කරන අනුමෝදනාව උතුම්ය. එසේම එම විවර දානය එය ධර්ම දානයෙන් සොළොස් වන කලාවෙන් කලාවටවන (දෙසිය පණස් හයෙන් පංගුවක් වත්) නො අගණේය.

එපරිද්දෙන්ම ධර්ම දේශනා කිරීමද, ධර්මය අනුන්ට කියවීමද, බණ ඇසීමද මහත් ඵල වේ. යම් පුද්ගලයකු විසින් ධර්ම ශ්‍රවණය අනුන් ලවා කරවන ලද්දේ ද ඔහුට ලැබෙන ආනිශංසය ද එසේම මහත්ය.

එබඳු වූ විශාල ආර්ය පිරිසට පාත්‍ර පුරවා දුන් ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ගිතෙල්, තල තෙල් ආදියෙන් පාත්‍ර පුරවා දුන් බෙහෙත් දානයට ද වඩා මහා විහාරය සමාන වූ ද ලෝවා මහා ප්‍රාසාදය සමාන වූ ද නොයෙක් සිය දහස් ගණන් ප්‍රාසාද කරවා දුන් සේනාසන දානයට වඩා අනාථ පිණ්ඩිකාදීන් විසින් විහාර උදෙසා කළ පරිත්‍යාගයනට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් අනුමෝදනා වශයෙන් පැවැත්වුණු ධර්ම දානයම උතුම්ය. කුමක් හෙයින් ද යත් එවැනි පින්කම් කරන්නාහු ද බණ අසාම කෙරෙත්. බණ නොඅසා නොකෙරෙත්. ඉදින් මේ සත්වයෝ ධර්මය නොඅසන්නාහු නම් ඔවුහු කිණිස්සක් පමණ කැඳවත් හැන්දක් පමණ බත් වත් අනුන්ට නොදෙන්නාහුය. මේ කාරණයෙනුත් සියලු දානයන්ට වඩා ධර්ම දානයම උතුම්ය.

යලිත් බුදු පසේ බුදුවරයන්වහන්සේ හැර කල්පයක් මුළුල්ලේ වසින්නා වූ වැස්සෙහි දිය බිංදු මෙපමණෙකැයි ගණන් ගන්නට සමර්ථ වූ මහත් ප්‍රඥාවෙන් යුත් ශාරිපුත්‍රාදී ස්ථවිරයන් වහන්සේලා ද ස්වශක්තියෙන් සෝවාන් ආදී මාර්ග ඵලයනට පැමිණෙන්ට අපොහොසත් වූහ.

අස්සජි ආදි ස්ථවිරයන් වහන්සේලා විසින් දේශනා කළ ධර්මය අසාම සෝවාන් ආදි මාර්ග ඵලයන් අවබෝධ කළාහුය. එසේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය කරණකොට ගෙනම ශ්‍රාවක පාරමී ඥානය අවබෝධ කළාහුය. මේ කාරණයෙනුත් මහ රජාණෙනි, ධර්ම දානයම උතුම්ය. එහෙයින් ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ යනාදිය වදාරණ ලදී.

ඒ ධර්ම දේශනාවෙන් අසූ සාර දහසක් සත්වයන්ට ධර්මාවබෝධය විය. එවිට සක් දෙව් තෙමේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කොට ‘ස්වාමිනී, මෙසේ උත්තම වූ ධර්ම දානයෙහි ආනිශංසය අපට නොදෙන්නේ මක්නිසාද ? ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේ ලවාත් කුමක් හෙයින් අපට ධර්ම දානමය පින් අනුමෝදන් නොකර වන සේක්ද ? විචාළේය. බුදුරජාණන් වහන්සේ ද භික්ෂූන්ට අනුදැන වදාරණසේක් මහා ධර්ම දේශනාවන්හිදී ද ප්‍රකෘති ධර්ම දේශනාවන්හිදී ද උපනිසින්නක කතාවන්හි දීද යටත් පිරිසෙයින් අනුමෝදනා ධර්ම දේශනාවන්හි දී වුවද සිය සත්වයන්ට පින්දෙව යි වදාළ සේක. එතැන් පටන් දෙවියන්ට පින්දීම ආරම්භ විය.

තවද බඹලොව තරම් උසට බුදුන් උදෙසා චෛත්‍යය කරනවාට වඩා සතර පද ගාථාවකින් කෙරෙන ධර්ම දේශනය ආනිශංසයෙන් අධිකයයි කියනු ලැබේ.

දානයන් අතුරෙන් ධර්ම දානය දිනීමට හේතු

ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් හෝ ආත්මභාව සිය දහස් ගණන් හෝ සතර අපාය ස්වකීය ගෘහය කොට ගෙන වාසය කරයි. එහෙයින් එකල්හි දූ ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හිදු, පිට සක්වල උපන් කල්හිදු, ගොළු - බිහිරි - මෝඩ – උම්මත්තකව උපන් කල්හිදු, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි දු අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. කය නැතිව සිත පමණක් ඇති දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි ද සිත නැතිව කය පමණක් ඇති අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි වුවද ධර්ම දානය නොකළ හැකිය.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා