ධර්ම දානයේ ආනිශංස

ධර්ම දානයේ ආනිශංස

ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.

දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. දිවි හිමි කොට ධර්ම දානය කළේ ද අඩු වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලවුන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.

ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දානය ඇසිල්ලකින් කර නිම වන කුසල කර්මයක් නොවේ. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.

එළු, කුකුළු, ඌරු, බලු, බළල්, ගව ආදි තිරිසන් සතකුට දුන් ආහාර ආදිය සියයක් ජාතියෙහි ආයුවර්ණ, සැප, බල, ප්‍රඥා වශයෙන් පන්සියයක් විපාක දෙයි. වැදි කෙවුල් ආදී දුශ්ශීල මනුෂ්‍යයකුට දුන් දානය දහසක් ජාතියෙහි පන් දහසක් ආනිශංස දෙයි. බාහිර සිල්වත් දැහැමි මනුෂ්‍යයකුට දුන් දානය ලක්ෂයක් ආත්ම භාවයන්හි පන්ලක්ෂයක් විපාක වෙයි. අෂ්ට සමාපත්ති ලාභී බාහිර තාපසයකුට දුන් දානය කෙළ ලක්ෂයක් ජාතියෙහි උපදවා පස්කෙළ ලක්ෂයක් විපාක දෙයි. ඔවුන් සියයකට දුන් දානයට වඩා මේ සසුනෙහි තිසරණයෙහි පිහිටියකුට දෙන දානය උසස් වෙයි.

පන්සිල්හි, අටසිල්හි, දසසිල්හි පිහිටි උපාසකයින්ට දුන් දානය එකිනෙකට ආනිශංසයෙන් වැඩිවෙයි. අසංඛෙය්‍ය අප්‍රමෙය්‍යවූ විපාකම දෙයි. එයට වඩා මේ ශාසනයෙහි පැවිදි බවට ඇතුළත් වූ සාමණේරය, සාමාන්‍ය උපසම්පන්නය, ව්‍රතසාර උපසම්පන්නය, ආරබ්බ විදර්ශකය, මාර්ග සමන්ගීය, සොතාපන්නය, සකදාගාමීය, අරහත්ය, ප්‍රත්‍යෙක බුදධය යන දක්ෂිණාර්හ පුද්ගලයන්ට දුන්දානය පිළිවෙළින් එකිනෙකට සියක් දහසක් ගුණෙන් වැඩිවෙමින් අනන්ත අප්‍රමාණ ආනිශංස දෙයි. පසේ බුදු වරුන් සියක් දහසකට දුන් දානයට වඩා එක ලොව්තුරා බුදු කෙනෙකුට දුන් දානයම අනන්තාපරිමාණ ආනිශංස දෙයි.

බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දුන් සාංඝික දානය එයටත් වඩා අසීමිත ආනිශංස දෙයි. සතර දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කර දුන්නේ නම් එහි ආනිශංසය එයටත් වැඩි වෙයි. ඇසිල්ලක් සියලු සතුන් වෙත මෛත්‍රීය වැඩුවේ නම් එයට සත සහශ්‍ර ගුණයෙන් වැඩි ආනිශංස වෙයි. විදර්ශනා වැඩුවේ නම් එයටත් වඩා අප්‍රමෙය්‍ය වූ ආනිශංස දෙයි. යමෙක් ධර්ම දානය දුන්නේ වී නම් හෙ දෙවුයේ වී නම් ඒ ධර්ම දානමය කුශල කර්මය ඉහත කී සියලුම දානයන්ට වඩා මහත් ඵල මහානිශංස වෙයි. ප්‍රමාණකල නොහැකි වූම සැප විපාක ඇති වෙයි.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනයද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්‍යංගද කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය.

ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.

ධර්ම දානය නිර්වාණ දානයකි

බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්‍යාපාද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්‍රිපිටකයෙහි නොයෙක් තැන සදහන්ව ඇත.

යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවා ලුවාක්මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.

නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛය

ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්‍යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ. අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය.

සදධමම දේශනා කාලෙ
සාධු සාධුති හාසනො
මුඛතො වායතෙ ගනෙධා
උපපලංව යථොදකෙ

ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාධු ! සාධු !! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය. ධර්ම ශ්‍රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර ප්‍රමාණකර නොකිව හැකි බවම ත්‍රිපිටකයෙහි සඳහන්ය.

අනුශාසනා ප්‍රාතිහාර්යය

සෘද්ධිප්‍රාතිහාර්යය, ආදේශන ප්‍රාතිහාර්යය (අනුන්ගෙ සිත් දැන කීම) අනුශාසනා ප්‍රාතිහාර්යය යනුවෙන් ප්‍රාතිහාර්ය තුන්වර්ගයක් බුද්ධ දේශනාවෙහි දැක්වේ. එයින් අනුශාසනා ප්‍රාතිහාර්යයම ශ්‍රේෂ්ඨ යයි ද උතුම් කුසල යයි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ධර්ම දේශකයා උපනූපන් තැන සියලු යස ඉසුරු පිරිවර සම්පත්තියෙන් ආඪ්‍ය වන්නාක් මෙන්ම ඒවා සැපසේ අනුභව කරන මහා ප්‍රඥාවන්තයෙක් ද වන්නේය. ලෞකික ලෝකෝත්තර සියලු සම්පත දෙන්නාට සියලු සම්පත් නිතැතින්ම ලැබේමය. එහෙයින් එබඳු උතුම් ධර්ම දානය දෙන්නට වටී. බාහිර වස්තුව දීම ගැන කවර කථාද ? අසංඛ්‍ය ගණන් ජීවිත සැපවත් කරවා සදාකාලික සැපත වූ නිර්වාණයටත් පමුණුවන ඒ ධර්මය උදෙසා එක ජීවිතයක් දීම ඉතා සුළු දෙයක් දීමකැයි දත යුතුයි.

පිරිස් වලට ධර්ම දේශනා කිරීම කාටත් කළ නොහැකි බව සැබෑය. එහෙත් ධර්ම දානය කාටත් සිදු කළ හැකි වෙනත් විධි බොහෝ තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා