බෞද්ධ වන්දනා කවි

බෞද්ධ වන්දනා කවි

‘කාව්‍යම් රසාත්මකං වාක්‍යං’’ යනුවෙන් විශ්වනාථ සාහිත්‍ය දර්පණයේ දී දක්වයි. ඒ අනුව රසවත් ආකාරයට කරන ඉදිරිපත් කිරීම කාව්‍යයි. මෙය සංස්කෘතයෙහි ශ්ලෝක, පාලියෙහි ගාථා හා සිංහලයෙහි කවි යනුවෙන් දක්වා ඇත.

ගෞරවයෙන් නැමීම, අවනත බව, යටහත් බව දැක්වීම වන්දනාව යයි රේරුකානේ මහා නාහිමියෝ පවසති. තවද ‘’ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චින්තය වන්දනාමය කුශලය ය’’ මෙලෙස රසවත් නිර්මාණයක් යොදා ගෙන ගෞරව කිරීම කවි කියා වන්දනා කිරීම යනුවෙන් හැඳීන්විය හැකිය. අංගුත්තර නිකායේ කාය වන්දනා, වචී වන්දනා ක්‍රම හා මනෝ වන්දනා යනුවෙන් වන්දනා ක්‍රම තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරති.

‘තිස්සො ඉමා භික්ඛවේ වන්දනා කතමා තිස්සො ? කායෙන වාචාය මනසා ඉමා ඛො භික්ඛවේ තිස්සො වන්දනාති’’ යනුවෙනි.

කාය වන්දනා ක්‍රම කිහිපයකි. සිටගෙන සිටින අතරේ දෙඅත් එක් කොට වැඳීම, එලෙසම සිරුර ඉදිරියට නවා වැඳීම, දෙඅත් නළලේ තබා වැඳීම, දණ බිම තබා හිසත් බිම තබා වැඳීම (පසඟ පිහිටුවා වැඳීම) යනු බොහෝ කාය වන්දනා ක්‍රම අතුරින් කිහිපයක් පමණි. තවද කණ්ඩ නමස්කාරය නම් වැඳීමක්ද ඇත. අප මහ බෝසතාණෝ දීපංකර පාද මූලයේ දී විවරණ ලබා ගැනීම සඳහා සුමේධ තාපස වශයෙන් සිට බිම දිගා වී වන්දනා කළ බව ප්‍රකට ය.

එම වන්දනාව දණ්ඩ නමස්කාරයයි. වචී වන්දනා නම් යමක් පවසමින් වචනයෙන් පමණක් වැඳීමය. මනෝ වන්දනා නම් කය හා වචනය භාවිත නොකොට ම මනසින් පමණක් නමස්කාර කිරීමයි. මෙහි දී අදහස් කරනුයේ කවි කියමින් කරන වන්දනාව සම්බන්ධව විමසීමයි. තවද බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මයද ගද්‍ය හා පද්‍ය වශයෙන් දෙආකාරය. පද්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇති දේශනා තෙවළා දහම තුළ සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි. ඛුද්දක නිකායට අයත් පද්‍යමය වශයෙන් දේශිත පෙළ ග්‍රන්ථ කිහිපයක්ම ඇත. ඒ අතරෙහි ‘සූත්‍ර නිපාත පාලියෙහි සංගෘහිත වූ පද්‍ය (ගාථා) සංඛ්‍යාව එක් දහස් එකසිය සූපනසෙකි’’

එසේම ධම්ම පදය පද්‍ය (ගාථා) 422කින් සමන්විත වූ දේශනාවකි. ථෙර ගාථා හා ථෙරී ගාථා යන ග්‍රන්ථද්වයම පද්‍යමය දේශනාවෝය. ගායනා කිරීමකදී එය ශ්‍රාවකයාගේ ශ්‍රවණයට ආස්වාදයක් ඇති කරයි. එම ගායනය බුදු රජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව හා සංඝයා පිළිබඳව නම් එම ආස්වාදය තුළින් සිතේ පැහැදීම මෙන්ම සතුටද ජනිත කරවයි. නොයෙක් අරමුණු ඔස්සේ නිතරම ගමන් කරන සිතට සැනසීමක් ලබාගත හැකි වන්නේ එක අරමුණක් කෙරෙහි දිගු වේලාවක් මනාව පවත්වා ගැනීම තුළිනි. ඒ සඳහා සිතේ එකඟකම (සමාධිය) දියුණු කිරීම පිණිස භාවනා කළ යුතු බව භාවනා ගුරුවරු පෙන්වා දෙති.

ඒ බව ථෙර ගාථා අර්ථ කථාවෙහි ද ‘’සමථ විපස්සනාසු අනුයෝගෝ භාවනා’’ යනුවෙන් දැක්වේ. මෙහි දී සිතේ එකඟ බව ඇති වන්නේ කෙසේ දැයි විමසීම ප්‍රයෝජනවත් වේ. සිතේ ස්වභාවය නිතරම කුමන හෝ අරමුණක් ගෙන සිටීමයි. ‘චින්තයතී ති චිත්තං’ සිතීම් සිතයි යනුවෙන් දැක්වෙන පාඨයෙන්ම ඒ බව පැහැදිලි වේ. මෙම සිතේ ස්වභාවය ධම්මපදයේද විස්තර කෙරේ.

‘දුරංගමං ඒක චරං - අසරීරං ගුහාසංයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොකඛන්ති මාර බන්ධතා’’

දුර ගමන් කරන, තනිව හැසිරෙන ශරීරයක් නොමැති ගුහාවක් තුළ වාසය කරන සිත යමෙක් සංවර කර ගනිත්ද ඔවුහු මාරයාගේ බන්ධනයෙන් (සංසාරයෙන්) මිදෙන බව එහි දක්වයි. මෙසේ ක්‍රියා කරන සිත සංවර කර ගැනීම, එකඟ කර ගැනීම පහසු දෙයක් නොවේ. මේ සඳහා උපකාරී වන සමාධි භාවනා ක්‍රම 40ක් බුදු දහමේ උගන්වයි. සමසතළින් කර්මස්ථාන යනුවෙන් දක්වනුයේ මෙම භාවනා ක්‍රම වලටයි.

මෙසේ වූ දුෂ්කර ක්‍රියාවන් වන සිත එකඟ කිරීම වන්දනා කවි ගායනයෙන් කෙසේ සම්පූර්ණ කර ගත හැකිද ? යන්න සාකච්ඡා කිරීම මේ කෙටි ලිපියේ අරමුණයි. ගාථා හෝ කවි කියමින් වන්දනා කිරීම එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුම වූවක් නොවේ. ඒ බව රේරුකානේ චන්දවිමල මහා නායක හිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ පුණ්‍යෙීපදේශයේ දී පෙන්වා දෙති. අතීතයේ බොහෝ තොරතුරු අපට හෙළි කොට දෙනුයේ පාලි අර්ථ කථා තුළිනි. ඒ අනුසාරයෙන් විමසා බැලීමේ දී ආදි කාලයේ දී දාගැබ්, බෝධි වන්දනා කිරීමේ දී ගාථා කියා වැඳීමක් දක්නට නොමැත. ඒ බව මනාව ප්‍රකට කෙරෙන අවස්ථාවක් දීඝනිකාය අර්ථ කථාවේ දැක්වේ.

‘’බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං’’

බුද්ධාලම්බණ ප්‍රීතිය ඇති කොට දාගැබ් මළුවට පැමිණ දාගැබ මහත් නම් තෙවරක් ප්‍රදක්ෂිණා කොට සතර තැනකදී වැඳිය යුතු යැයි දැක්වේ. මේ අනුව වන්දනා කවි භාවිතය ඉතා දිගු කාලාන්තරයක පටන් පැවත එන්නක් නොවන බව ප්‍රකට වේ. නමුදු මේ වන්දනා කවි සම්ප්‍රදාය ඇරැඹීම හරහා පුද්ගලයාගේ වන්දනා ක්‍රමවල වර්ධනයක් දක්නට ඇත.

නූතනයෙහි භාවිත වන්දනා කවි හා බැඳුණු මානසික සුවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ සඳහා බලපාන සාධක කිහිපයක් දක්නට ලැබේ. එනම්, කවි කියා වන්දනා කරන මාතෘකාව, එම කවි රචනා වී ඇති ආකාරය, කොතරම් වෙලාවක් කවි කියමින් වඳීද ? යන අයුරිනි.

කවි කියා වන්දනා කරන මාතෘකාව

තුන් ලෝකයේ වැඳීමට සුදුසු වස්තු පිළිබඳව විමසීමේ දී ත්‍රිවිධ රත්නය ඉක්මවිය හැකි අන්‍ය වූ එකඳු වස්තුවක් නොමැත. එමෙන්ම සැදැහැති පුද්ගලයාට වන්දනා කිරීමේ දී පහසුවෙන්ම සිතේ ප්‍රසන්න බව ඇතිවන උත්මයෙක් සිටී නම් ඒ බුදුරජාණන් වහන්සේයි. මේ අනුව බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම සඳහා කවි කියන්නේ නම් එම කවි කීමේ දී හා ඇසීමේ දී අන් සෑම මාතෘකාවට ම වඩා වේගයෙන් සිත සමාධිගත වන බව ප්‍රකටය. කවි රචනා කොට ඇති තේමාව හෙවත් මාතෘකාව වෙනත් එකක් නම් සිතේ එකඟ කම සැනසීම ඇති වීම වෙනස් විය හැකිය. එම නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කිරීමෙන් වන්දනා කිරීමෙන් බුද්ධාලම්බණ ප්‍රීතිය හා ශ්‍රද්ධාව දියුණු වීමෙන් මානසික සැනසීම ලැබේ.

‘’ඒකධම්මො හික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො එක ධම්මො : බුද්ධානුස්සති’’

මහණෙනි එකම ධර්මයක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ ඒකාන්තයෙන් (සසර) කලකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්සිඳීම පිණිස (අනිත්‍යාදි වශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිදීම පිණිස නිවන් පිණිස වන්නේය. කවර එක් ධර්මයෙක ? යත් බුද්ධානුස්මෘතියයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ බුදුගුණ සිහි කිරීමේ අනුසස් දේශනා කළහ. බුදුගුණ පිළිබඳව පුද්ගලයා තුළ පවතින අවබෝධය අනුව වන්දනාමය කුසලයත් පූජාමය කුසලයත් මහත්ඵල වන බව පුණ්‍යෙීපදේශයේ දී රේරුකානේ නාහිමියෝ පවසති. බුදුගුණ ප්‍රකාශිත කවි කියමින් වන්දනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි වීමෙන් බුද්ධාලම්බණ ප්‍රීතියෙන් යුතු එකඟතාවයක් සිතේ ඇතිවේ. මේ අනුව වන්දනා කවි අතරද වඩා ගෞරවනීය තේමාවන් සඳහා සකස් කළ කවි ගායනා කිරීමේ දී හා ශ්‍රවණය කිරීමේ දී සිතේ ඇති වන සැනසීම ඉහළ මට්ටමක පවතී.

බුදු ගුණ අරහං නව ගුණ වේවා
අරහං නව ගුණ හද තුළ වේවා
මරණෙදි මට කිසි බියක් නො වේවා
මරණෙදි බුදු ගුණ මට සිහි වේවා

නමස්කාර වේවා බුදු රුවනට
සැමදා මම බුදුසරණ යමි
නහමස්කාර වේවා දම් රුවනට
සැමදා මම දම් සරණ යමි
නමස්කාර වේවා සඟ රුවනට
සැමදා මම සඟ සරණ යමි
නමස්කාර වේවා තුන් රුවනට
සැමදා තිසරණ සරණ යමි

මෙවැනි කවි කියමින් වන්දනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය හා මහා සංඝරත්නය කෙරෙහි සිතේ ශ්‍රද්ධාව මෙන්ම සතුට ඇති වේ. ඒ තුළින් අධ්‍යාත්මික සංහිඳියාවට නිරායාසයෙන්ම පුද්ගලයා පත්වනු ඇත. අන්‍ය වූ මාතෘකා වෙනුවෙන් රචිත කවි ගායනා කිරීමෙන් බුද්ධාලම්භන ප්‍රීතියට සමාන සැනසුමක් සිතේ ඇති නොවේ. තවද බුදු ගුණ වලින් යුක්ත වූ කවි, ගාථා කියමින් වන්දනා කිරීමේ දී පුද්ගලයාට මහත් කුසලයක් ද ලැබේ.

රේරුකානේ චන්දවිමල මහ නාහිමියෝද එය තහවුරු කරති. ‘බුද්ධ ගුණාත්මක ගාථාදිය කියමින් වඳින්නවුන්ට බුදුගුණ සිහි කිරීමෙන් හා කීමෙන් අතිරේක කුසලයක්ද අයත්වේ. බුදු ගුණ සිහි කරන කියන අවස්ථාවේ දී එසේ කරන තැනැත්තාට කියන වචනයක් පාසාම ඇති වන්නේ කාමාවචර කුසල් සිත්ය ‘’ 8 එසේ බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ කියා වඳින්නන් හට එම ගාථා වල, කවි වල ඇති පදයක් පදයක් පාසාම උසස් වූ කුසල සම්පත්තියක් හිමිවන බව සුමංගල විලාසිනී අර්ථ කථාවේ දැක්වේ.

‘තිට්ඨන්තෙ නිබ්බුතො චාපි - සමෙ චිත්තෙ සමං ඵලං

චෙතෝපණිධිහේතූහි - සත්තා ගච්ඡන්ති සුග්ගතිං’’

යනුවෙන් විමාන වත්ථුවේ දක්වා ඇති ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී හා පිරිනිවි කාලයේ දී වුවත් සිතේ ශ්‍රද්ධා සහගත බව වෙනස් නොකොට පවත්වා ගත හැකි නම් ඒ සමාන වම අනුසස් ලැබිය හැකි බව ප්‍රකාශ වේ.

එසේම බලවත් වූ ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව වඳින සැදැහැවතුනට බොහෝ වූ අනුසස් ලබාගත හැකි බව රේරුකානේ නාහිමිපාණෝ දක්වති.

එම කවි රචනා වී ඇති ආකාරය

වන්දනා කවි රචනා කිරීමේ දී භාවිත කරන ලද භාෂා ශෛලිය, වචන, අනුව සිතේ ඇතිවන සමාධිය වෙනස් විය හැකිය. සිතේ ප්‍රසාදය, එකඟකම ඇති කර ගැනීම සඳහා පහසු වන වචන යොදා ගෙන වන්දනා කවි රචනා කොට ඇත් නම් එය සාර්ථක නිර්මාණයක් වනු ඇත. රමණීය වෘත්තයන්ගෙන් හා සුමිහිරි වූ පද මාලාවන් භාවිතා කොට කවි රචනා කරන්නේ නම් එම කවි පුද්ගල සිත පහන් කරවීමට සමත් වේ.

කොතරම් වේලාවක් කවි කියමින් වඳීද?

නොයෙක් අරමුණු කෙරෙහි නිතරම යොමු වී පවතින සිත එකඟ කර ගැනීමට අපහසුය. එම නිසා දිගු වෙලාවක් උත්සාහ කිරීමෙන්ම සිත එකඟ කර ගැනීමට සිදු වේ. වන්දනා කවි කීමද වැඩි වේලාවක් කිරීමේ දී ක්‍රමාණුකූ®ලව සිත සමාධියට, සන්සුන්භාවයට පත් වේ. ‘ බොහෝ වේලාවක් බුදු ගුණ කියමින් වඳින සැදැහැවතාට බොහෝ කුසල් සිත් ඇති වේ. මඳ වේලාවක් එසේ කරන තැනැත්තාට ඇති වන්නේ කුසල් සිත් ස්වල්පයකි. බොහෝ පින් ඇති කර ගනු කැමතියන් විසින් බොහෝ බුදු ගුණ පාඨයන් පාඩම් කරගෙන ඒවා කියමින් වැඳිය යුතුය’’ 11 බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ හා සංඝරත්නයේ ගුණ කොතෙක් ප්‍රකාශ කළත් නිසරු නොවේ. නිරතුරුව උසස් වූ කුශලයක්ම ලබා දේ. මේ අනුව දිගු වේලාවක් වන්දනා කවි කයමින් වැඳීම සිතේ සැනසීම වැඩි වේලාවක් ආරක්ෂා වීමට මහත්සේ උපකාරී වේ. මානසික සැනසීම ඇතිකර ගැනීම සඳහා වන්දනා කවි කුමන ආකාරයේ දායකත්වයක් සපයනු ලැබේ ද යන්න මනාව ප්‍රකට වන කාරණයකි. එම නිසා ඇතැම්විට ධර්ම දේශනා හෝ අන්‍ය වූ ආගමික කටයුතුවලට වඩා පුද්ගලයා වන්දනා කවි කීමට හා ඇසීමට පෙළෙඹෙනු ඇත. සමාජය දෙස මනාව විමර්ශනය කරන විට මේ බව තහවුරු වනු ඇත.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනතාව වන්දනා කවි හරහා වෙනම ම මඟකට යොමුකළ පාණදුරේ අරියධම්ම හිමියන් පිළිබඳව සඳහන් නොකළොත් උක්ත මාතෘකාවට එය අසාධාරණයක් වනු ඇතැයි හැඟේ.

ශ්‍රී ලංකාවේ සෑම වයස් සීමාවකට ම අයත් සැදැහැතියන් අති විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයකට රැස් කිරීමට උන්වහන්සේ සමත් වූහ. තවද ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සිත් සතන් වන්දනා කවි තුළින් සමාධි ගත කරන්නට ද පාණදුරේ අරියධම්ම හිමියෝ දක්ෂ වූහ. උන්වහන්සේ හඳුන්වා දුන් වන්දනා කවි සම්ප්‍රදාය අන්‍ය භික්ෂුන් වහන්සේලා පවා අනුකරණය කළහ. වන්දනා කවි නිසාවෙන්ම බෝධි පූජාව ප්‍රධාන කරගෙන භික්ෂුවක් ලංකාවේ සුවිශාල ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ නම් ඒ පාණදුරේ අරියධම්ම හිමියෝම ය. මෙලෙස අවධානය යොමුු කිරීමේ දී නූතන වන්දනා කවි හා අධ්‍යාත්මික සංහිඳියාව අතර කෙතරම් ශක්තිමත් සම්බන්ධයක් පවතින්නේ දැයි අවබෝධයක් ලබා ගත හැකිය.

බළන්ගොඩ

ආනන්ද චන්ද්‍රකීර්ති හිමි,

(සහකාර කථිකාචාර්ය)

බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා