|
||
බෞද්ධ වන්දනා කවි‘කාව්‍යම් රසාත්මකං වාක්‍යං’’ යනුවෙන් විශ්වනාථ සාහිත්‍ය දර්පණයේ දී දක්වයි. ඒ අනුව රසවත් ආකාරයට කරන ඉදිරිපත් කිරීම කාව්‍යයි. මෙය සංස්කෘතයෙහි ශ්ලෝක, පාලියෙහි ගාථා හා සිංහලයෙහි කවි යනුවෙන් දක්වා ඇත. ගෞරවයෙන් නැමීම, අවනත බව, යටහත් බව දැක්වීම වන්දනාව යයි රේරුකානේ මහා නාහිමියෝ පවසති. තවද ‘’ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චින්තය වන්දනාමය කුශලය ය’’ මෙලෙස රසවත් නිර්මාණයක් යොදා ගෙන ගෞරව කිරීම කවි කියා වන්දනා කිරීම යනුවෙන් හැඳීන්විය හැකිය. අංගුත්තර නිකායේ කාය වන්දනා, වචී වන්දනා ක්‍රම හා මනෝ වන්දනා යනුවෙන් වන්දනා ක්‍රම තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරති. ‘තිස්සො ඉමා භික්ඛවේ වන්දනා කතමා තිස්සො ? කායෙන වාචාය මනසා ඉමා ඛො භික්ඛවේ තිස්සො වන්දනාති’’ යනුවෙනි. කාය වන්දනා ක්‍රම කිහිපයකි. සිටගෙන සිටින අතරේ දෙඅත් එක් කොට වැඳීම, එලෙසම සිරුර ඉදිරියට නවා වැඳීම, දෙඅත් නළලේ තබා වැඳීම, දණ බිම තබා හිසත් බිම තබා වැඳීම (පසඟ පිහිටුවා වැඳීම) යනු බොහෝ කාය වන්දනා ක්‍රම අතුරින් කිහිපයක් පමණි. තවද කණ්ඩ නමස්කාරය නම් වැඳීමක්ද ඇත. අප මහ බෝසතාණෝ දීපංකර පාද මූලයේ දී විවරණ ලබා ගැනීම සඳහා සුමේධ තාපස වශයෙන් සිට බිම දිගා වී වන්දනා කළ බව ප්‍රකට ය. එම වන්දනාව දණ්ඩ නමස්කාරයයි. වචී වන්දනා නම් යමක් පවසමින් වචනයෙන් පමණක් වැඳීමය. මනෝ වන්දනා නම් කය හා වචනය භාවිත නොකොට ම මනසින් පමණක් නමස්කාර කිරීමයි. මෙහි දී අදහස් කරනුයේ කවි කියමින් කරන වන්දනාව සම්බන්ධව විමසීමයි. තවද බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මයද ගද්‍ය හා පද්‍ය වශයෙන් දෙආකාරය. පද්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇති දේශනා තෙවළා දහම තුළ සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි. ඛුද්දක නිකායට අයත් පද්‍යමය වශයෙන් දේශිත පෙළ ග්‍රන්ථ කිහිපයක්ම ඇත. ඒ අතරෙහි ‘සූත්‍ර නිපාත පාලියෙහි සංගෘහිත වූ පද්‍ය (ගාථා) සංඛ්‍යාව එක් දහස් එකසිය සූපනසෙකි’’ එසේම ධම්ම පදය පද්‍ය (ගාථා) 422කින් සමන්විත වූ දේශනාවකි. ථෙර ගාථා හා ථෙරී ගාථා යන ග්‍රන්ථද්වයම පද්‍යමය දේශනාවෝය. ගායනා කිරීමකදී එය ශ්‍රාවකයාගේ ශ්‍රවණයට ආස්වාදයක් ඇති කරයි. එම ගායනය බුදු රජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව හා සංඝයා පිළිබඳව නම් එම ආස්වාදය තුළින් සිතේ පැහැදීම මෙන්ම සතුටද ජනිත කරවයි. නොයෙක් අරමුණු ඔස්සේ නිතරම ගමන් කරන සිතට සැනසීමක් ලබාගත හැකි වන්නේ එක අරමුණක් කෙරෙහි දිගු වේලාවක් මනාව පවත්වා ගැනීම තුළිනි. ඒ සඳහා සිතේ එකඟකම (සමාධිය) දියුණු කිරීම පිණිස භාවනා කළ යුතු බව භාවනා ගුරුවරු පෙන්වා දෙති. ඒ බව ථෙර ගාථා අර්ථ කථාවෙහි ද ‘’සමථ විපස්සනාසු අනුයෝගෝ භාවනා’’ යනුවෙන් දැක්වේ. මෙහි දී සිතේ එකඟ බව ඇති වන්නේ කෙසේ දැයි විමසීම ප්‍රයෝජනවත් වේ. සිතේ ස්වභාවය නිතරම කුමන හෝ අරමුණක් ගෙන සිටීමයි. ‘චින්තයතී ති චිත්තං’ සිතීම් සිතයි යනුවෙන් දැක්වෙන පාඨයෙන්ම ඒ බව පැහැදිලි වේ. මෙම සිතේ ස්වභාවය ධම්මපදයේද විස්තර කෙරේ. ‘දුරංගමං ඒක චරං - අසරීරං ගුහාසංයංයෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොකඛන්ති මාර බන්ධතා’’දුර ගමන් කරන, තනිව හැසිරෙන ශරීරයක් නොමැති ගුහාවක් තුළ වාසය කරන සිත යමෙක් සංවර කර ගනිත්ද ඔවුහු මාරයාගේ බන්ධනයෙන් (සංසාරයෙන්) මිදෙන බව එහි දක්වයි. මෙසේ ක්‍රියා කරන සිත සංවර කර ගැනීම, එකඟ කර ගැනීම පහසු දෙයක් නොවේ. මේ සඳහා උපකාරී වන සමාධි භාවනා ක්‍රම 40ක් බුදු දහමේ උගන්වයි. සමසතළින් කර්මස්ථාන යනුවෙන් දක්වනුයේ මෙම භාවනා ක්‍රම වලටයි. මෙසේ වූ දුෂ්කර ක්‍රියාවන් වන සිත එකඟ කිරීම වන්දනා කවි ගායනයෙන් කෙසේ සම්පූර්ණ කර ගත හැකිද ? යන්න සාකච්ඡා කිරීම මේ කෙටි ලිපියේ අරමුණයි. ගාථා හෝ කවි කියමින් වන්දනා කිරීම එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුම වූවක් නොවේ. ඒ බව රේරුකානේ චන්දවිමල මහා නායක හිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ පුණ්‍යෙීපදේශයේ දී පෙන්වා දෙති. අතීතයේ බොහෝ තොරතුරු අපට හෙළි කොට දෙනුයේ පාලි අර්ථ කථා තුළිනි. ඒ අනුසාරයෙන් විමසා බැලීමේ දී ආදි කාලයේ දී දාගැබ්, බෝධි වන්දනා කිරීමේ දී ගාථා කියා වැඳීමක් දක්නට නොමැත. ඒ බව මනාව ප්‍රකට කෙරෙන අවස්ථාවක් දීඝනිකාය අර්ථ කථාවේ දැක්වේ. ‘’බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං’’ බුද්ධාලම්බණ ප්‍රීතිය ඇති කොට දාගැබ් මළුවට පැමිණ දාගැබ මහත් නම් තෙවරක් ප්‍රදක්ෂිණා කොට සතර තැනකදී වැඳිය යුතු යැයි දැක්වේ. මේ අනුව වන්දනා කවි භාවිතය ඉතා දිගු කාලාන්තරයක පටන් පැවත එන්නක් නොවන බව ප්‍රකට වේ. නමුදු මේ වන්දනා කවි සම්ප්‍රදාය ඇරැඹීම හරහා පුද්ගලයාගේ වන්දනා ක්‍රමවල වර්ධනයක් දක්නට ඇත. නූතනයෙහි භාවිත වන්දනා කවි හා බැඳුණු මානසික සුවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ සඳහා බලපාන සාධක කිහිපයක් දක්නට ලැබේ. එනම්, කවි කියා වන්දනා කරන මාතෘකාව, එම කවි රචනා වී ඇති ආකාරය, කොතරම් වෙලාවක් කවි කියමින් වඳීද ? යන අයුරිනි.
කවි කියා වන්දනා කරන මාතෘකාව තුන් ලෝකයේ වැඳීමට සුදුසු වස්තු පිළිබඳව විමසීමේ දී ත්‍රිවිධ රත්නය ඉක්මවිය හැකි අන්‍ය වූ එකඳු වස්තුවක් නොමැත. එමෙන්ම සැදැහැති පුද්ගලයාට වන්දනා කිරීමේ දී පහසුවෙන්ම සිතේ ප්‍රසන්න බව ඇතිවන උත්මයෙක් සිටී නම් ඒ බුදුරජාණන් වහන්සේයි. මේ අනුව බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම සඳහා කවි කියන්නේ නම් එම කවි කීමේ දී හා ඇසීමේ දී අන් සෑම මාතෘකාවට ම වඩා වේගයෙන් සිත සමාධිගත වන බව ප්‍රකටය. කවි රචනා කොට ඇති තේමාව හෙවත් මාතෘකාව වෙනත් එකක් නම් සිතේ එකඟ කම සැනසීම ඇති වීම වෙනස් විය හැකිය. එම නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කිරීමෙන් වන්දනා කිරීමෙන් බුද්ධාලම්බණ ප්‍රීතිය හා ශ්‍රද්ධාව දියුණු වීමෙන් මානසික සැනසීම ලැබේ. ‘’ඒකධම්මො හික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො එක ධම්මො : බුද්ධානුස්සති’’ මහණෙනි එකම ධර්මයක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ ඒකාන්තයෙන් (සසර) කලකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්සිඳීම පිණිස (අනිත්‍යාදි වශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිදීම පිණිස නිවන් පිණිස වන්නේය. කවර එක් ධර්මයෙක ? යත් බුද්ධානුස්මෘතියයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ බුදුගුණ සිහි කිරීමේ අනුසස් දේශනා කළහ. බුදුගුණ පිළිබඳව පුද්ගලයා තුළ පවතින අවබෝධය අනුව වන්දනාමය කුසලයත් පූජාමය කුසලයත් මහත්ඵල වන බව පුණ්‍යෙීපදේශයේ දී රේරුකානේ නාහිමියෝ පවසති. බුදුගුණ ප්‍රකාශිත කවි කියමින් වන්දනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි වීමෙන් බුද්ධාලම්බණ ප්‍රීතියෙන් යුතු එකඟතාවයක් සිතේ ඇතිවේ. මේ අනුව වන්දනා කවි අතරද වඩා ගෞරවනීය තේමාවන් සඳහා සකස් කළ කවි ගායනා කිරීමේ දී හා ශ්‍රවණය කිරීමේ දී සිතේ ඇති වන සැනසීම ඉහළ මට්ටමක පවතී.
බුදු ගුණ අරහං නව ගුණ වේවා
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |