අසිරිමත් පසේ බුදු පෙළහර-20

අසිරිමත් පසේ බුදු පෙළහර-20

අපගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාරණ ලද පසේ බුදුවරුන්ගේ ගාථාවලින් ඉස්මතු වන චරිතාපදානයන් හි දැක්වෙන්නේ සාමාන්‍ය මිනිසා අභිබවා යන සුවිශේෂ මානසික හැකියාවකින් වුවත් සමන්විත වන බවයි. සුළු සිදුවීමක් ඔස්සේ ජීවිතය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම ඔවුන්ගේ ස්වභාවයයි. මේ කථාව දෙස බලන්න.

බරණැස් නුවර එක්තරා රජ කෙනෙක් හිටියා. ඔහු දිනක් තනියම කල්පනා කරමින් සිටියා.

දැන් මම ඔටුනු පළන් රජ කෙනෙක්. මාළිඟාවට සතුරන්ට ළංවිය නොහැකි පරිදි කිඹුලන් සිටින පළල් දිය අගලක් තනා තියෙනවා. ඉතා උස් වූ ප්‍රාකාරයක් තිබෙනවා. ඒ ප්‍රාකාරය මත මුරකරුවන් ඉන්නවා. නගරය මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් තියෙනවා. අතිශයින් ම නුවණැති දොරටුපාලකයන් ඉන්නවා. මෙතරම් ආරක්ෂා සංවිධාන තිබියදී පවා මම තැති ගන්නවා. බියට පත්වෙනවා. සැකය ඇතිවෙනවා. එතකොට ලෝකයෙහි බිය සැක ඇති නොවන කවුරුවත් නැද්ද ?”

රජතුමා මේ අදහස රාජ්‍යසභාවට දැනුම් දුන්නා. පුරෝහිත බමුණා මෙවැනි පිළිතුරක් දුන්නා.

භවන් රජතුමනි, මිනිසුන් අතරේ නම් බිය සැක, තැතිගැනීම, කම්පා නොමැති අය සොයා ගැනීම අසීරුයි. එහෙත් මං අසා තිබෙනවා වනයේ සිටින මෘගරාජ්‍ය වන සිංහයා අහස පොළොව ගි¼ගුම් දෙන හෙණ හඬට පවා කම්පා වෙන්නේ නැත කියා.”

“එසේනම් පුරෝහිතය අපි මෙය සොයා බැලිය යුතුයි. සැබැවින්ම බිය, සැක, තැති ගැනීම්, කම්පා නොවන කෙනෙක් දකින්න මං හරි ආසයි.”

දිනක් රජතුමා ඈත පිටිසර උද්‍යානයකට යමින් සිටියා. අතරමඟදී නිල්වන් දිය පිරී පස් පියුමින් සැදී පොකුණක් දකින්නට ලැබුණා. රජතුමාට හරි සතුටුයි. ඇතු පිටින් බැස ඒ පොකුණු වෙත ගොස් සිසිල් පැන් වැළඳුවා.

එවේලෙහි සතෙක් පඳුරක් අස්සෙන් වේගයෙන් දිව ගියා. රජුගේ රැකවල් ලත් පිරිස කලබල වී සොයා බැලුවා. රජු පවා තැති ගත්තා.

“මහරජානෙනි, සිංහ ධේනුවක් පැන දිව්වා, මහරජාණෙනි, මෙතනට වඩින මැනැව ඉතා සොඳුරු සිංහ පෝතකයෙක් සුවසේ නිදා සිටිනවා.”

ඉතා සතුටට පත් රජතුමා සිංහ පැටියා බලන්න ගියා.

“ෂා ! හරි අපූරුයි. අපි බලමු. මේ සිංහ පැටියාට බිය සැක ඇතිවෙනවා ද කියා ? ඔව්! අපේ බෙර දවුල් තම්මැට්ටං නළා පිරිස ගෙනැල්ලා දැන් ශබ්ද කළ යුතුයි. මේ පැටියා කැළයට දුවන අයුරු අපටත් බලන්න පුළුවනි.”

ඉතින් සේනාව පැමිණ බෙර ගසන්නට පටන් ගත්තා. නළා පිඹින්න පටන් ගත්තා. සිංහ පැටියා සුවසේ නිදි. ඌ නැගිට්ටේ නෑ. ආයේ වේගයෙන් ශබ්ද කළා. සිංහ පැටියාට ඇහැරුණා. ඔළුව ඔසොවා බැලුවා. ආයෙමත් අත් දෙකෙන් මූණ වසාගෙන නිදාගන්නා. රජතුමාට හරි පුදුමයි. රජු උයන් ක්‍රීඩාවට ගියේ නෑ. ආපසු හැරී මාලිගාවට යන්න පිටත් වුණා.

අතරමග යද්දී ධීවරයන් පිරිසක් මසුන් ඇල්ලීම පිණිස දැල දිගහැර ඈතට විසි කරනවා. එතකොට ඒ දැල සුළගෙහි නොගැටී වේගයෙන් විහිද යනවා. බිය සැක තැති ගැනීම් රජතුමා දුටුවේ මසුන් ඇල්ලීමට එලූ දැලක් පරිද්දෙනි. රජු ඒ ගැන සිතන්නට පටන් ගත්තා.

නැවත රජතුමා මාළිගාවට පැමිණ රාජ උද්‍යානයේ හි පොකුණු තෙර වාඩි වී කල්පනා කරමින් සිටියා. වේගයෙන් සුළං හැමුවා. පොකුණේ පිපී ගිය නෙළුම් සුළඟට නැවී වතුරට පාත් වුණා. එහෙත් සුළං පහ වූ පසු පෙර පරිදිදෙන් ම දියෙහි නොතැවරී නැගී සිටියා. මෙය දුටු රජතුමා කල්පනා කළා.

“මමත් ආසයි සිංහයෙක් වගේ බිය නැති ගැනීම් නැතුව ඉන්න මමත් ආසයි දැලකට හසු නොවන සුළඟක් වගේ ඉන්න. මමත් ආසයි දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ ඉන්න. එහෙත් මම කොහොමද ඒක කරන්නේ ? මේ රජකම තුළින් නම් මට ඒක කරන්න බැහැ. මං අසා තිබෙනවා මුනිවරු කියා පිරිසක් සිටිනවා කියලා. මේ ලෝකය අත්හැර නිදහස සොයා ගිය පිරිස අතරිනුත් ඔවුන් බිහිවෙන්නේ. එහෙම නම් මට කරන්න තියෙන්නෙත් එච්චරයි.

කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි

ඉතින් රජතුමා රජකම අත හැරියා. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. වනගත අඩවි සොයා පිටත් වුණා. ඉසිපතන මිගදා වනයෙහි පසේබුදුවරයන් වහන්සේලාගේ කුටි තිබෙන පෙදෙසට පැමිණුනා. එක කුටියකට පිවිසුණා. එහි කවුරුත් නෑ. මේ ශ්‍රමනයන් වහන්සේ වටපිට බැලුවා. වාඩිවෙන ආසන තිබෙනවා. එක් ආසනයක වාඩි වුණා. දෑස පියා ගත්තා. සිත භාවනාවට යොමු කළා. සමාධිමත් වුණා. නුවණින් විමසුවා. ප්‍රඥාව වැඩුණා. නිකෙලෙස් බවට පත්වුණා. පසේබුදු කෙනෙක් බවට පත්වුණා.

ඉන්පසු ඉර්ධියෙන් මංජුසක රැක සෙවනට වැඩියා. එහිදීත් අනෙක් පසේබුදුවරයන් වහන්සේලා මුන්වහන්සේගේ අත්දැකීම් කුමක්දැයි විමසුවා. එවිට මේ උදාන ගාථාව පැවසුවා.
 

සීහෝ ව සද්දේසු අසන්තසන් තෝ

වාතෝ ව ජාලම්භි අසජ්ජමානෝ

පදුමං ච තෝයේන අලිප්පමානෝ

ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

අහසට පොළොව කම්පාවෙන හෙණ හඬට පවා නොසැලී සිටින සිංහයෙක් වගේ දැලට හසු නොවී පැනයන සුළගක් වගේ දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ ඉන්නැයි මං කැමැති. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ.

ඇත්තටම පසේබුදුවරුන් කියා කොටසක් මිනිස් ලොව වැඩ සිටිය බවට පුරාවිද්‍යාත්මක හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයකින් හෝ දැකගත හැකි ක්‍රමයක් නැහැ. අතීත බුදුවරුන්ගේ ලෝකය වගේ ඒ සියල්ලම අනිත්‍ය වූ සනාගන දහම තුළ සැඟවී යනවා. නමුත් මේ සියල්ල නිරාවරණය කරගත හැකි අනාවරණ ප්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් හෙළිදරව් කරනවා. අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක්‍රමයක් නැහැ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදෙකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යළි සොයා ගන්නවා. ශ්‍රාවකයන්ට හෙළිදරවු කරනවා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත් !

අසිරිමත් පසේබුදු පෙළහර ලිපිපෙළ මෙතැනින් අවසන් වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා