රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

කම් සුවයේ විපත දිටිමි

ධම්මසව නමැති තරුණ බමුණා මගධ දේශවාසීහු හොඳින් හඳුනති. ඔහු ගේ මුහුණ හැම විටම මඳ සිනායෙන් පිරී තිබිණ. සිනාව මෙන් ම ඒ මුහුණේ ගැඹුරු කල්පනා කාරී බවක් ද විය. බුදු කරුණා සිත් ඇත්තකු වූ ඔහු දුප්පතුන්ගේ මිතුරෙක් විය.

ඔහුට දිනක් එක් පුවතක් අසන්නට ලැබිණ. මිතුරකු වූ අභය සතුරු කඩු පාරවල් කීපයකින් කෑලි කෑලිවලට කැපී මරණයට පත් වූ බවය ඒ.

අභය එබඳු විපතකට ගොදුරු වූයේ ඇයි ?

අවිවාහකයකු වූ අභය විවාහක කාන්තාවක සමඟ මිතුරු විය. ඇගේ සැමියා රාජ සේවයේ යෙදෙන්නෙකි. ඔහුට විටින් විට රාජකාරී සඳහා දුර බැහැර ගම්වලට යන්නට සිදුවේ. සිය සැමියා නිවසේ නැති බව ඇය අභයට දන්වා එවයි. අභය සියලු කටයුතු අත්හැර ඇය සොයා යයි. ඔහු ඇයගෙන් මත් ව සිටියේ ය. ලොව මිහිරි ම රසය ඇයයි. ඔහු ධම්මසව සමඟ ද කීවේ ය.

දිනක් ඇගේ සැමියා පිට ගමකට යාමට ගොස් පැය හත අටකට පසු ආපසු නිවසට ආවේ ය. අභය ගේ රිය මග අසල තිබිණ. ඔහු ගෙතුළට ගියේ ය. අභය ලොව මිහිරිම රසය විඳිමින් සිටිනු ඔහුට පෙණිනි.

ඔහු කඩුව ඔසවනු අභයට නොපෙනින, ඔහුගේ ඇසේ වූයේ ඇගේ රුවය. කඩුව අභය ගේ හිස මතට වැටිණ. සිරුර දෙපළු විය. ඇය ලෙයින් නැහැවිණ.

රජ අණ අනුව අභය ගේ කැබලි වූ සිරුර බලු - කපුටු කුස් පිරවීමට යෙදින.

ධම්මසව සිතන්නට විය.

කාමය සුව දන්වයි. ඒ සමඟම ඇස වසයි. උවදුර සඟවයි. මහ විපත් ගෙනෙයි.

අභය කාම සුවය ලැබුවේ අසම්මත ලෙසය. සම්මත තාවය වුවද ගෙනෙන්නේ විපතක් නොවේ ද ?

මොහොතක සතුට උදෙසා දින ගණනක් වෙහෙසෙනවා, ඉන් පසු ඒ සතුට දියේ ඇදි ඉරක් වගෙයි. නිත්‍ය වූ සුවයක් කොතැන ද ඇතතේ,

ඔහුට හදිසියේ යමක් සිහිවිය දක්ෂිණාගිරියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිති. බොහෝ දෙනා උන්වහන්සේ හමුවීමට යති. දුකෙන් ඳ;දන වග උන්වහන්සේ පෙන්වා දෙන බව ඔවුහු පවසති.

ධම්මසව හිස එසවීය.

කම්සුවයේ විපත දිටිමි, මම උන්වහන්සේ දැක එය තවදුරටත් වටහා ගතිමි.

ඔහු දක්ෂිණාගිරියට ගියේ ය බුදුරජාණන් වහන්සේ ඔහුට ඔහුගේ අවබෝධයේ නිවැරැදි බව පැහැදිලි කළහ. දහම් දෙසූහ.

ධම්මසව පැවිදි විය. කමටහන් ලබා ගෙන විදසුන් වඩන්නට විය. ටික දිනෙකින් ධම්මසව හිමියෝ රහත් බව ලැබූහ.

රහත් වූ උන්වහන්සේට කම්සුවයේ විපතත්, එයින් මිදීමේ සැපතත් වැඩි වැඩියෙන් දැනෙන්නට විය.

ධම්මසව රහතන් වහන්සේ සිය උදානය පළ කෙළේ මෙසේ ය.

කම්සුවයේ විපත දිටිමි
ඉන් මිදුමේ සැපත දිටිමි
ගිහිගෙය හැර පැවිදි වීමි
තෙවිදු සමඟ නිවන දිටිමි

ගමනක අවසන දුටුවෙමි

පුතා කරගත්ත දේ දන්නවාද ?’ ඇය ඇසුවාය.

‘නැහැ, මොකක්ද කර ගත්තේ ?’ බමුණා පෙරළා ඇසීය.

‘අද උදේ වේළුවනාරාමයට ගිහින් පැවිදි වුණා’

එකසිය විසි හැවිරිදි බමුණා අසුනෙන් නැගී සිටින්නට වෑයම් කළේය. ඔහු අසුන මත ම ඇද වැටිණ.

මහලු බැමිණිය කුඩා අසුනෙක හිඳ ගත්තාය.

‘ඔහොම වෙයි කියල මං හිතුවා හරි කලකිරීමෙන් තමයි පසුගිය දවස්වල ධම්මසව පුතා හිටියෙ. බුදු රජාණන් වහන්සේගේ ධර්මය ඇසුවා පමණයි ගෙදර අමතක කරලා බණ ඇසුව හැටියෙම මහණ වුණා’

බැමිණිය කීවාය.

‘පුතා කලකිරීමෙන් ඉන්න බව මටත් තේරුණා. ඒ ළමයා කලකිරුණේ මොකක් නිසාද කියල මට හිතා ගන්න බැරි වුණා. ඒත් මට දැන් හිතෙනවා මම ගත කළ අවුරුදු එකසිය විස්ස දිහා ආපසු හැරී බැලුවම තියෙන්නේ එකම කලකිරීමක් පමණයි.

ඉපදුනා, ලෙඩ වුණා, වයසට ගියා දැන් මගේ ම ඉන්ද්‍රියන් මට පාලනය කරගන්න බැහැ. මට තියෙන්නේ අන්න ඒ ගැන කලකිරීමක්’ බමුණා කීය.

‘පුතාට පියා ගේ් වයසෙන් තුනෙන් පංගුවක්වත් නැහැ. පුතාට ඇති වූ කලකිරීමත් ඕකම තමයි. පියාට ඒක තේරුණේ අවුරුදු එකසිය විස්සකට පස්සේ. පුතා ඒක ඉක්මනින්ම තේරුම් ගත්තා. පුතා කළ දේ පියාට කරන්නට බැහැ. පියාට වයස වැඩියි’

බමුණා නැගිට්ටේ ය. ඔහු යළි අසුන මත ඇද වැටුණේ නැත. කවුළුව ළඟට ගොස් පාර දෙස බලා සිටියේය.

‘බුදුරජාණන් වහන්සේ කී වාරයක් අපේ ගෙවල් ළඟට ම වැඩම කළා ද ? ඒත් අපි ළඟට ගියේ නැහැ. බණ ඇසුවේ නැහැ. මා පමා වුණා වැඩියි කියල හිතෙනවා. ඒත් මා අද හැන්දෑවේ වේළුවනාරාමයට යනවා. අශ්ව කරත්තය සූදානම් කරවන්න’

බැමිණිය ගේ මුහුණ දුක්මුසු විය.

‘ගියාට කමක් නැහැ. පුතා වගේ මහණ වෙන්න නම් එපා’

ඔහු හැන්දෑවේ වේළුවනාරාමයේ වැලි මළුවේ මහ පිරිසකට බුදු රජාණන් වහන්සේ දහම් දෙසමින් සිටියහ.

බමුණා මෙහෙකරුවකුගේ උදව්වෙන් ඒ පිරිස අතරට ගොස් ගස් මුලක් මත හිඳ ගත්තේය.

සසර බිහිසුණුයි. එයින් මිදීමට අප්‍රමාදවන්න’

බුදු බණ ඔහුගේ සිතට කා වැදින. පැයක් පමණ ඔහු දහම් ඇසුවේය.

‘මට වැටහුණා. මාර්ගය මට පැහැදිලියි. මට ඒ මාර්ගයේ ගමන් කළ හැකියි’

ඔහු ගේ් සිත දැඩි විය. ඔහුට බැමිණිය සිහි වූයේ නැත. එදා ඒ මොහොතේම පැවිදි විය.

ධම්මසව හිමියන්ගේ පියා වූ හෙයින් ඔහුට ධම්මසව පිතු යන නම ලැබිණ.

ධම්මසව පිතු හිමියනට සුදුසු කමටහනක් ලැබිණ. උන්වහන්සේ වහා විදසුන් වැඩීම ඇරැඹූහ.

නොබෝ දිනෙකින් රහත් බව ලැබූහ.

ධම්මසව පිතු රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

එක්සිය විසිවන වියේදී
පැවිදි බිමට මම ආයෙමි
තෙවිදු ලබා ගතිමි
සසර ගමනේ අවසන දුටුවෙමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා