බ්‍රවුන් – කැමරන් සමඟ ශ්‍රී ලංකාව

බ්‍රවුන් – කැමරන් සමඟ ශ්‍රී ලංකාව

ආසියාවේ හා අප්‍රිකාවේ බොහොමයක් රාජ්‍යයෝ බ්‍රිතාන්‍ය කිරීටයට භය – පක්ෂපාතකමක් දක්වති. එහි යථාර්ථයක් ද තිබේ. එනම්; මේ රාජ්‍යයන් දීර්ඝ කාලයක් තිස්සේ සුදු අධිරාජ්‍යවාදයට යටත් ව පැවැතීම ය.

එහි කඩඉමක ට අපි දැන් පැමිණ සිටිමු. මහා බ්‍රිතාන්‍යය තවදුරටත් දේශපාලන වශයෙන් ස්ථාවර රාජ්‍යයක් නො වේ. එහි දේශපාලන බලය දියාරු වී වතුර සේ ගලා යන්නට පටන් ගෙන තිබේ. ඊට කදිම නිදසුන අප අත් දුටු අවසන් මැතිවරණය යි. ඉන් ලේබර් පක්ෂය හෝ කොන්සවේටිව් පක්ෂය හෝ පැහැදිලි ජයග්‍රහණයක් ලබා නැත. සභාග රජයක් පිහිටුවීමට ඉඩ තිබේ.

මහා බ්‍රිතාන්‍යය සමඟ අප ගේ කිසිදු තරහක් නැත. එහි කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමඟ අප ගේ වෛරයක් ද නැත. ලේබර් පක්ෂය දිනුව ද කමක් නැත. කොන්සවේටිව් පක්ෂය දිනුව ද කමක් නැත.

ඩේවිඩ් කැමරන් අගමැති පදවියට පත්වුව, ගොර්ඩන් බ්‍රවුන් අගමැති පදවියට පත් වුව විශේෂයක් අපට නැත. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවට මහා බ්‍රිතාන්‍යය පිළිබඳ විශේෂ ගැටලුවක් නැත. ඕනෑ ම නායකයකු සමඟ ගනුදෙනුවකට මෙරට ආණ්ඩුව සූදානම් ය. ඊට බලපාන දේශපාලන කරුණු ගණනාවක් තිබේ.

ශ්‍රී ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයට ඉවක් – බවක් නැතිව හිස නමන දුර්වල රාජ්‍යයක් නො වේ. අපට ගැඹුරු ඉතිහාසයක් තිබේ. අපට ගෞරවනීය වර්තමානයක් තිබේ. ලොව අංක එකේ දේශපාලන ගැටලුව ත්‍රස්තවාදය යි.

අමෙරිකාවට එය මෙල්ල කිරීමට නො හැකි විය. රුසියාවට එය මෙල්ල කිරීමට නො හැකි විය. ගෝලීය ත්‍රස්තවාදය ඉදිරියේ මහා බ්‍රිතාන්‍යය අඟුටුමිට්ටකු ලෙස අපට පෙනී යනු ඇත. ගෝර්ඩන් බ්‍රවුන්ට තබා ලෝකයේ යකඩ ගැහැනිය ලෙසින් හැඳින් වූ මාග්‍රට් තැචර්ටවත් ලෝක ත්‍රස්තවාදය පරාජය කළ නො හැකි විය.

මීට වසරකට පෙර ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම ආදර්ශය ලෝකයට ලබා දුන්නේ ය. ලොව අංක එකේ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ දී පරාජයට පත් විය. මේ වනා හී ලෝක දේශපාලනයේ සාම්ප්‍රදායික හැරවුම් ලක්ෂය වෙනත් ස්ථානයකට ගෙන යෑමකි.

තුන්වැනි ලෝකය ලෙස අවඥාාවෙන් සඳහන් කරනු ලබන රාජ්‍යයක් පළමුවරට ත්‍රස්තවාදය පරාජය කොට ස්වාධීන දේශපාලන හා ආර්ථික ගමන් මාර්ගයක් ඔස්සේ සිය ස්ථාවරත්වය තහවුරු කර ගනිමින් සිටී. මීට අදාළ සාධක හා සංකේත බිහි වන්නේ මහින්ද රාජපක්ෂ දේශපාලන සමය තුළ ය.

ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමේ දී මහා බ්‍රිතාන්‍යයෙන් අපට ලැබුණු විශේෂ සහයෝගයක් නැත. අමෙරිකාවෙන් ලැබුණු ඇත්ත සහයෝගයක් ද නැත. එහෙත් අපට ඇත්ත සහයෝගයක් දැක් වූ වෙනත් රටවල් ගණනාවක් ද තිබේ. එම රටවල් වෙන වෙන ම සඳහන් නො කළ ද වත්මන් සමාජය එය හරි හැටි දනී. මහා බ්‍රිතාන්‍යය දේශපාලන වශයෙන් කඩා වැටීම අපට ඒ හැටි බලපාන්නේ නැත. අමෙරිකාව එලෙස කඩා වැටුණ ද ග්‍රීසිය ආර්ථික වශයෙන් බිංදුවට ම පහළ බැස්ස ද අපට ලොකු දෙයක් සිදුවන්නේ නැත.

1947 න් පසු දේශපාලන වශයෙන් ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් බිහි වු අවස්ථාවක් ලෙස ද දේශපාලන ප්‍රවණතා දීර්ඝ කාලයක් තිස්සේ එක ම දර්ශනයක් අනුව සිදු වන කාල වකවානුවක් ලෙස ද මහින්ද රාජපක්ෂ යුගය හැඳින්විය හැකි ය.

ඊට අදාළ සාධක ලෙස කරුණු කිහිපයක් පෙන්වා දිය හැකි ය. පළමුවැන්න අප ගේ ව්‍යවස්ථාදායකය යි. එය දැන් ශක්තිමත් ය. විනිවිද පෙනෙන සුලු ය. සියල්ල විවෘත ව සාකච්ඡාවට ලක් වේ. කතිකාව විසංවාදය පවතී. දේශපාලන පළිගැනීම් නැත. මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය වෙනත් රටවල දේශපාලනයට වඩා වෙනස් බව පෙනෙයි.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වී ඇත්තේ පක්ෂග්‍රාහී ලෙස නො වේ. මහා බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව පමණක් නො ව ඉරානය, වියට්නාමය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් සමග ද ගැඹුරු සම්බන්ධතා අපට තිබේ.

එලෙස ම නො බැඳි රාජ්‍ය සංවිධානයේ කැපී පෙනෙන සාමාජිකයකු ලෙස ද, දකුණු ආසියා සහයෝගිතා සංවිධානයේ ඉදිරිගාමී රාජ්‍යයක් ලෙස ද ශ්‍රී ලංකාව කටයුතු කරයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අලුත් දේශපාලන ප්‍රවේශයක් ලබාගෙන තිබේ. එය ශ්‍රී ලංකාවේ මෙතෙක් දේශපාලන ගමන් මෙඟහි විප්ලවීය වෙනසක් වේ.

ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ ගැටලුවේ දී ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශ ගණනාවක් ලබා දී තිබේ. බටහිර රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්පවල වෙනසක් ඇතිවීමට ද එය බලපෑවේ ය.

අමෙරිකාව ශ්‍රී ලංකාවේ ආයෝජනයට පෙළඹෙන්නේ ද මහා බ්‍රිතාන්‍යය මෙරට දේශපාලන නායකත්වය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ්ද යුරෝපා සංගමය ජී. එස්. පී. ගැන නැවත සිතා බලන්නේ ද ඉහත තත්ත්වයන් යටතේ ය.

ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍ය පරිපාලනය යටතේ නව දේශපාලන සමබරතාවක් හා දැක්මක් මතුව තිබේ. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යයක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම ඒ යැයි උපකල්පනය කළ හැකි ය.

බටහිර රටවල් මේ සම්බන්ධයෙන් සුබවාදී ලෙස බලනු දක්නට ලැබේ. බටහිර රටවල් කෙරෙහි වෛරයකින් බැලීමේ අරමුණක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට නැත. එහෙත් අප යටත් විජිතයක් නො වන බව පමණක් ඔහු නිතර අවධාරණය කරයි.

දේශපාලන පරිණාමය මත පුදුම ය. එංගලන්තයේ මිලිබෑන් වැනි නියෝජිතයන් වරින් – වර ශ්‍රී ලංකාවට කඩා වැදී කුමන තර්ජන ඉදිරිපත් කළ ද දැන් තත්ත්වය වෙනස් ය. බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව දියාරු වී තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ශක්තිමත් වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා