මුද්‍රණය සඳහා

 
තැචර් උගස් තැබූ කිරීටය සින්න වෙයි

තැචර් උගස් තැබූ කිරීටය සින්න වෙයි

බ්‍රිතාන්‍යයේ දේශපාලනය දියාරු වෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය හා එය ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කරන්නේ නම් ඒ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සමඟ කළ කතාබහකි මේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව දිනාගත නොහැකි වී තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 650ක් වන ආසන සංඛ්‍යාවෙන් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යම් පක්ෂයක් හිමිකරගත යුතු අවම සංඛ්‍යාව 326 කි.

ප්‍රීතියෙන් පිනායමින්...

එහෙත්; මෙවර මැතිවරණයේ දී කලකට පසු ඉදිරියෙන් සිටින කොන්සර්වෙටිව් පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 306 කි. හිටපු අගමැති ගොඩ්න් බ්‍රවුන්ගේ කම්කරු පක්ෂය ආසන 258 ක් දිනාගත්තේ ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 57 ක් ලැබී ඇත.

මේ ප්‍රතිඵලය අනුව බ්‍රිතාන්‍යයේ ශක්තිමත් ආණ්ඩුවක් බිහි නොවන බව ද, සභාග රජයක් බිහිවන බව ද පැහැදිළි ය. මෙවැනි අවස්ථාවක පළමුව සභාග රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට නෛතික ඉඩකඩ ලැබී ඇත්තේ, බලයේ සිටි පක්ෂයටයි.

එම අවස්ථාව උපයෝගී කර ගනිමින් කම්කරු පක්ෂය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සාකච්ඡා අරඹා තිබිණි. එහෙත්; කම්කරු පක්ෂය පැහැදිලිව පරාජයට පත් වී ඇති නිසා, ඔවුනට ආණ්ඩුවක් පිහිටුවීමේ සදාචාරාත්මක අයිතියක් නැති බව කොන්සර්වෙටිව් පක්ෂ නායක ඩේවිඩ් කැමරන්ගේ අදහස විය. ඒ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහාය කොන්සර්වෙටිව් පක්ෂයට ලැබීමේ ඉඩකඩ වැඩි බවක් ද පළවිය.

එහෙත්; මේ සාකච්ඡාව කරන විට දැනගන්නට ඇත්තේ කොන්සර්වෙටිව් පක්ෂය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සාකච්ඡා බිඳ වැටී ඇති බවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක නික් ක්ලෙජ් පවසන පරිදි සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා සඳහා දින කිහිපයක් ගතවනු ඇත. මැතිවරණ පරාජයත් සමඟ හිටපු අගමැති ගොඩ්න් බ්‍රවුන් කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට යන බව ද වාර්තා විය.

කෙසේවුව ද බ්‍රිතාන්‍යයේ කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වයෙන් යුතු සභාග රජයක් බිහිවීමේ වැඩි ඉඩකඩක් අත. ඒ අනුව වසර 30 කට පසු යළිත් වරක් බ්‍රිතාන්‍යයේ බලයට පත්වන්නේ අස්ථාවර ආණ්ඩුවකි.

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය (ලේබර් පක්ෂය) කම්කරු වුව ද, එය 1997 දී බලයට පැමිණි පසු අනුගමනය කළේ 1970 ගණන්වල දී බලයට පත් මාග්‍රට් තැචර් හඳුන්වාදුන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියමය.

එම පිළිවෙත බ්‍රිතාන්‍යයේ බහුතර ජනතාවට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵල හෝ ප්‍රතිලාභ අත්කරදුන්නේ නැත. එහෙත් අතීතයේ දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අප හැඳිනගන්නේ වාමාංශික පක්ෂයක් ලෙසයි.

නික් ක්ලෙග්, ඩේවිඩ් කැමරන් සහ ගෝඩ්න් බ්‍රවුන්

මාක්ස්වාදය මත පදනම් වූ පක්ෂයක් නොවුණ ද, එය සමාජවාදී නැඹුරුවක් සහිත වාමාංශික හෝ මධ්‍ය වාමාංශික පක්ෂයක් විය. මාග්‍රට් තැචර් හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්ති නිසා බ්‍රිතාන්‍ය ආර්ථිකය කෙටි කලකට වර්ධනයක් පෙන්නුම් කළ ද, 1997 පමණ වන විට එරට අඩු ආදායම් ලබන පන්තිවලට බරපතළ පීඩනයක් දැනෙමින් තිබිණි.

තම ප්‍රශ්නවලට කම්කරු පක්ෂයෙන් පිළියම් ලැබේ යැයි කල්පනා කළ බ්‍රිතාන්‍ය ජනතාව, 1997 දී ටෝනි බ්ලෙයාර් බලයට පත් කළේ විශාල ආසන සංඛ්‍යාවක් එම පක්ෂයට ලබා දෙමිනි.

එහෙත් ජනතාවගේ ප්‍රශ්නවලට පිළියම් යෙදීමට ගත වූ වසර 13 තුළ කම්කරු පක්ෂය සමත් වූයේ නැත. සෞඛ්‍ය අධ්‍යාපනය, රැකියා සම්පාදනය ආදී සෑම ක්‍ෂේත්‍රයකින් ම ඔවුන් ඉදිරියට ගෙන ගියේ තැචර් පිළිවෙතයි. එහි ප්‍රතිඵලය වූයේ අර්බුද තවත් උග්‍රවීමය.

බ්‍රිතාන්‍යයේ තවමත් දිළිඳු ජනයා මිලියන ගණනක් සිටින්නේ එබැවිනි. මෙවර මහමැතිවරණයේ දී කම්කරු පක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට බලපෑ එක් හේතුවක් වන්නේ, ඔවුන් අනුගමනය කළ එම අසාර්ථක ආර්ථික මාදිළියයි.

එහෙත් 1997 දී කම්කරු පක්ෂයට ලැබුණු අන්දමේ අති විශිෂ්ට ජයග්‍රහණයක් මෙවර කොන්සර්වෙටිව් පක්ෂයට ලැබී නැත. හේතුව, බ්‍රිතාන්‍ය ජනයාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එම ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි ම අවිශ්වාසයකින් පසුවීම බව පෙනී යයි.

2008 දී අමෙරිකාවෙන් ආරම්භ වූ ආර්ථික අර්බුදය බ්‍රිතාන්‍යයට ඉතාමත් නරක අන්දමින් බලපෑවේ ය. ඉන් ගොඩ ඒම සඳහා කම්කරු පක්ෂ ආණ්ඩුව හඳුන්වාදුන් ප්‍රතිපත්තිවලින් අත්වූ සෙතක් නැත.

නිදසුනක් ලෙස අමෙරිකාවේ මෙන් ම බ්‍රිතාන්‍යයේ ද බැංකු කඩාගෙන වැටෙන විට ඔවුන් කළේ මහජන මුදල් එම බැංකු ගොඩනැගීම සඳහා පොම්ප කිරීමයි. එංගලන්තයේ ප්‍රධාන පෙළේ බැංකුවකින් එක් දිනක් තුළ එහි තැම්පතුකරුවන් පවුම් බිලියනයකටත් වැඩි මුදලක් ඉවත් කර ගත්තේ්ය. මේ පසුබිම තුළ සමස්ත බැංකු ක්‍රමය බරපතළ අවදානමට ලක්වන බව පැහැදිලි විය.

එහෙත් එම ආගාධයෙන් බැංකු ගොඩගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ගය ජනතාවගේ සතුටට හේතු වූයේ නැත. මේ අර්බුදය තුළ පෙර පරිදි විදේශ වෙළෙඳ පොළ තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට ද බ්‍රිතාන්‍ය අසමත් විය. එහෙයින් අපනයන ආදායම ද අපේක්ෂිත මට්ටමට ළඟාවූයේ නැත. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අපේක්ෂා භංගත්වයට පත් ව සිටියේ ය. එහෙත්, මේ කාරණා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මතු කරන්නේ නැත.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඹ්ච්ර්‍ථ) දෙවැනි ලෝක යුද්ධයට පෙර බලවත් පක්ෂයක් විය. එක් කලෙක ඔවුන් විපක්ෂය බවට ද පත්විණි. මෙවර යළිත් ඔවුන් යම් මට්ටමකින් ඉදිරියට පැමිණීමක් දැකිය හැකි වූවත්, විවේචන මිස සැබෑ විසැඳුම් යෝජනා කිරීමට එය අසමත් ව සිටී.

2008 මුල්වකවානුවේ වොෂිංටනයේ පැවැති ට් - 20 සමුළුවේ දී අගමැති ගෝඩ්න් බ්‍රවුන් කීවේ ‘අප ක්‍රීඩාවේ නීති – රීති වෙනස් කළ යුතු බවයි.’ තවදුරටත් ඔහු එය පැහැදිලි කළේ ධනවාදය නම් ක්‍රීඩාවේ ඇතැම් නීති මේ ආර්ථික අර්බුදයට බලපෑ ඇතැයි යනුවෙනි. එසේ කීව ද එම නීති වෙනස් කිරීම ඔවුන් අතින් සිදු නොවීය. එසේ කිරීමට සැලැස්මක් ද නොතිබිණි.

කම්කරු පක්ෂය ලැබූ පරාජයට තවත් හේතුවක් වන්නේ ටෝනි බ්ලෙයාර් බලයට පත් වීමෙන් පසු බ්‍රිතාන්‍ය අනුගමනය කළ විදෙස් පිළිවෙත එරටට ඉතා අහිතකර එකක් වීමය. අගමැති බ්ලෙයාර් කරුණු විමසීමකින් තොරවම ජනාධිපති බුෂ් ගේ ආක්‍රමණකාරී, ව්‍යාප්තවාදී ව්‍යාපෘතිවලට සහාය දැක්වීය. කාටුන් ශිල්පීන් බ්ලෙයාර් නිරූපණය කළේ ජනාධිපති බුෂ් ගේ ‘ඔඩොක්කු කුක්කකු’ ලෙසයි.

බ්ලෙයාර්ගේ මේ පිළිවෙත කම්කරු පක්ෂයේ ම ඇතැම් ප්‍රබලයන්ගේ විරෝධයට හේතුවිය. සමහරු පක්ෂයෙන් ඉවත්වීම පවා සිදුවිය. ඉරාකය ආක්‍රමණය කිරීම පිළිබඳ ඔහු විශාල වශයෙන් අසත්‍ය ප්‍රකාශ කළේ ය.

ඊට එරෙහි ව පසුව පරීක්ෂණයක් පවා ආරම්භවිය. බ්ලෙයාර් රජයේ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාව මෙන් ම, බ්‍රිතාන්‍යය ද ලෝක ජනතාවගේ පිළිකුලට ලක්විය. එසේ ම බ්‍රිතාන්‍ය සෙබළු විශාල පිරිසකගේ ජීවිත ඇෆ්ගනිස්ථානයේදී ඉරාකයේ දී අහිමි විය.

බ්‍රිතාන්‍ය මැතිවරණ ප්‍රතිඵලය මඟින් පිළිබිඹු වන කාරණා, ලෝකයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින සෑම රටකම පාහේ් දැකිය හැකි ලක්ෂණයි. ජනතාව ආණ්ඩු බලයට පත්කරන්නේ එම ආණ්ඩුවේ ප්‍රතිපත්ති හොඳ නිසා ම නොව, කළින් ආණ්ඩුව පිළිබඳ අප්‍රසාදය බලවත් බැවිනි.

නිදසුනක් ලෙස 1977 දී මෙරට එජාපය ඉහළින් ම බලයට පත්වූයේ එම ප්‍රතිපත්ති හොඳ නිසා ජනතාව සහාය දැක්වීමෙන් නොවේ. එය සිදු වූයේ පෙර තිබු ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති නිසා ජනතාව මත පැටවුණු අමතර පීඩනය නිසයි. මේ තත්ත්වය සෑම රටකම මෙපරිදිය.

බැරැක් ඔබාමා ඓතිහාසික ජයක් ලබමින් අමෙරිකාවේ ජනාධිපති ධූරයට, පත් වුයේ ද ඒ හේතුව නිසාමය. ‘වෙනසක්’ සඳහා ඔබාමා බලයට පත් කළ ද, එම අපේක්ෂාවන් බිඳ වැටෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.

එම රටවල් අනුගමනය කරන සුළු පිරිසකගේ සුඛ විහරණය අරමුණු කළ ලාභ චේතනා ඔස්සේ ගොඩනැඟුණු ආර්ථික ක්‍රමය පෙරට ගෙනයාමක් මිස, අන් යමක් දකින්නට නැත.

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිඵලය අපට බලපෑමක් ඇති කරයි ද යන කාරණය ගැනත් අවධානය යොමුව ඇත. ඇතැම් දෙනා විශ්වාස කරන්නේ ගෝඩ්න් බ්‍රවුන් පාලන සමය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ආධානග්‍රාහී, ආධිපත්‍යවාදී පිළිවෙත, කොන්සර්වෙටිව් ආණ්ඩුවක් යටතේ වෙනස් වනු ඇති බවයි.

එහෙත් මා එය එපරිද්දෙන් විශ්වාස කරන්නේ නැත. හේතුව, බලයේ සිටින්නේ කම්කරු, කොන්සර්වෙටිව් හෝ ලිබරල් යන කුමන පක්ෂය වුව ද, ඒ කවර හෝ පක්ෂයක් බ්‍රිතාන්‍යයේ ගොඩනඟාගත්, ලෝක ආධිපත්‍යය අත්හැරීමට නොකැමැති බැවිනි. යම් හෙයකින් එසේ අත්හරින්නේ නම්, එසේ කරන්නේ නොකරම බැරි නිසයි.

1999 දී හොංකොං විජිතය ඔවුන් ආපසු චීනයට භාර දුන්නේ, එය තමන් ට එපා නිසා නොව, චීනය ඉතා බලසම්පන්න රාජ්‍යයක් බවට පත්වීම නිසා ය. එම වකවානුවේ හොංකොංහි ආණ්ඩුකාරයාව සිටි ක්‍රිස් පැටන් දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ චාන්සලර් (කුලපති) වරයාය.

ඔහු පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්, කීවේ යුද්ධය පැවැති වකවානුව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් විය යුතුව තිබූ බවකි. ඔහු එවැන්නක් සාධාරනීකරණය කළේ R2P (Responsibility to Protect)  පිළිවෙත යටතේ ය. ක්‍රිස් පැටන් දැඩි කොන්සර්වෙටිව්වාදීයෙකි.

ඔබාමා බලයට පත් වූව ද කැමරන් බලයට පත්වූව ද ඒ පක්ෂ නියෝජනය කරන්නේ ඒ රටවල ධනේශ්වර ඉහළ ප්‍රභූ පන්තියයි. එම පන්තිය එතැනට පැමිණ ඇත්තේ ලෝකයේ ඇති ධනය හා සම්පත් තම රටේ විශාල ලෙස ගොඩගසා ගැනීමෙනි.

වරෙක වින්ස්ටන් චර්චිල් කැබිනට් මණ්ඩල සංදේශයක කීවේ (එවිට ඔහු අගමැති නොවේ) අපි සාපේක්ෂව කුඩා ජාතියක් වුව ද, අපේ ජාතියේ විශාලත්වය හා ජනගහනය මෙන් කිහිප ගුණයක ධනස්කන්ධයක් ගොඩනඟා ගෙන ඇති බවයි. තමන් ඒවා ගොඩනඟාගත්තේ සාමකාමී මාර්ගවලින් නොවන බව ද ඔහු පවසා ඇත.

සත්‍යය මෙයයි. බ්‍රිතාන්‍යයේ බලය ස්වභාවික – ආර්ථික - දේශපාලන කාරණා නිසා පිරිහී ඇතත්, තවමත් ඔවුන් ද අන් ධනවාදී රාජ්‍යය මෙන් ම, තම බලය ගිලිහී යනවාට අකමැතිය. කම්කරු පක්ෂ රජය ශ්‍රී ලංකාව පිළිබඳ අනුගමනය කළ පිළිවෙත ද ඒ ඔස්සේ අපට පැහැදිලි කරගත හැකිය.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට ද පැමිණියේ ය. ඔහු Global Tamil Forum  නම් සමුළුවකට එරටදී සහභාගිවෙමින් කතාවක් ද කළේය. හිටපු අගමැති බ‍්‍රවුන් ද ඊට සහභාගි විය.

ඔවුන් එසේ කළේ ශ්‍රී ලංකාව තවදුරටත් මෙල්ල කර තබා ගැනීමේ අධිරාජ්‍යවාදී වුවමනාව නිසයි. ඒ නිසා මේ මූලික මූලධර්මය බ්‍රිතාන්‍යයේ කවුරු බලයට පත්වූව ද, බරපතළ අන්දමින් වෙනස් වේ යැයි මා නම් විශ්වාස කරන්නේ නැත. එහෙත්, මේ අවස්ථාව ඥානාන්විත අන්දමින් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රයෝජනයට ගතහොත්, එම පිළිවෙත වෙනස් කිරීම සඳහා යම් ප්‍රයත්නයක් දැරීමට හැකිය.

හේතුව, දැන් යුද්ධය ද අවසන් ව ඇති බැවිනි. ඔවුන් ට නැවතත් දීර්ඝ කාලයකට එල්. ටී. ටී. ඊ. ය පණගැන්විය නොහැකිය. ඒ නිසා, මේ මොහොතේ ලංකාණ්ඩුව නිවැරැදි හා දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් අනුගමනය කළහොත්, ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය අවබෝධ කර දී, අප පිළිබඳ වත්මන් ආකල්පය වෙනස් කර ගැනීම සඳහා ඔවුන් පොලඹවාලිය හැකිය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය නොපමාව රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රහාරාත්මක පිළිවෙතකට (Diplomatic offensive)  යා යුතුව ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]