මුද්‍රණය සඳහා

 
සමාජය වෙනස් වෙනවා වාගේ භාෂාවත් වෙනස් වෙනවා


 

සමාජය වෙනස් වෙනවා වාගේ භාෂාවත් වෙනස් වෙනවා

- ලේඛක පියසින් වත්තගේ

ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී ලේඛනයට පිවිසි පියසින් වත්තගේ මහතා අප මුලින්ම හඳුනා ගත්තේ පරිවර්තන ලේඛකයකු ලෙසිනි. තබීන්ද්‍රනාත් තාගෝර් විසින් ලියන ලද ‘ලවර්ස්’ කෘතිය ඔහු එවකට ‘පෙම් තිළිණ’ ලෙසින් ප්‍රකාශයට පත් කළේ නන්දජී හේමන්ත යන අන්වර්ථ නාමයෙනි. එතැන් සිට ඔහු ලීවේය. ඔහු විසින් ලියන ලද පොත් පත් අතර පරිවර්තන අනුවර්තන කෘති රැසකි. ඔහු ගීත රචකයෙකු ද වෙයි. පියසින් වත්තගේ අතින් ලියැවූ නවතම නවකතා වන්නේ ‘අංජලිකා’ සහ ‘ඩිංගි’ ය. ‘අංජලිකා’ අනුවර්තන නවකතාවකි. ‘ඩිංගි’ ස්වතන්ත්‍ර නවකතාවකි. ‘ඩිංගි’ නවකතාවට තිබෙන බහුතර පාඨක ඉල්ලීම නිසාම පියසින් වත්තගේ මෙය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම ද මේ දිනවල සිදුවෙයි. නවකතාකරුවකු, ගීත රචකයකු වන දිවුලපිටියේ පියසින් වත්තගේ මෙවර ‘ලිව්සැරිය’ සමඟ එක්වෙයි.

ඔබ පොත් ලියන්නට පෙර නිදහස් මාධ්‍යවේදියකු ලෙස පත්තරවලට ලියූ බවත් කියවුණා. මේ කතාව අපි එතැනින් පටන් ගනිමුද?

පුංචි කාළේ ඉඳලම මම පත්තර පොත් කියවන්න හුඟක් ආස ළමයෙක්. තේරෙන කාලේ වෙනකොට සිංහලෙන් විතරක් නෙවි ඉංග්‍රීසි පොත් පත් කියවන්නත් පටන් ගත්තා. මම වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක්.

ඔය අතරේ තමයි පත්තරවලට ලියන්න පටන් ගත්තේ. දවස, රිවිරැස වගේ පත්තරවල මම හුඟක් ලිව්වා. විශේෂයෙන් විදෙස් නිර්මාණකරුවන් ගැන තොරතුරු, කෙටි කතා එහෙම ලිව්වා.

මම මුලින්ම ලිව්වේ ‘පෙම් තිළිණ’ කියලා පොතක්. හැබැයි මගේ නමින් නෙමෙයි. නමුත් පස්සේ මම හැම පොතක්ම ලිව්වේ මගේ නමින්මයි. කොයි තරම් මම පත්තරවලට ලිපි ලිව්වත් පරිවර්තන කළත් මම ලේඛකයකු ලෙස සමාජගත වුණේ ‘අංජලිකා’ සහ ‘ඩිංගි’ නවකතා ලිවීමෙන් පස්සෙයි.

කුළුදුල් නවකතාව අන්වර්ථ නාමයකින් ප්‍රකාශයට පත් කළේ ඇයි?

‘පෙම් තිළිණ’ පොත නමින් මම පරිවර්තනය කළේ ‘ලවර්ස්’ කියන ලෝ ප්‍රකට නවකතාවයි. එහි තේමාව පේ‍්‍රමයයි. ඒ කාලේ මම ගුරුවරයෙක් විදියට රැකියාව කළ නිසා මගේ නමින් එවැනි පොතක් පළ කිරීම එතරම් සුදුසු නැහැ කියලා මට හිතුණා.

එනිසා නන්දජී හේමන්ත යන නමින් තමයි මගේ ප්‍රථම කෘතිය ‘පෙම් තිළිණ’ පාඨකයා අතට පත්වුණේ. මේ පොත කළේ එම්. ඩී. ගුණසේන පොත් ප්‍රකාශකයිනුයි.

ඔබ මුල් අවධියේ සිටම ‘පේ‍්‍රමය’ පදනම් කරගෙන පොත් ලිවීමේ මහත් රුචිකත්වයක් දක්වා තිබෙනවා. ‘පෙම් තිළිණ’, ‘ආලයේ රහස්’ වගේම මෑතකදී ලියූ ‘අංජලිකා’, ‘ඩිංගි’ නවකතාත් එහෙමයි.

බොහෝ පාඨකයන්ගෙන් මට ඉල්ලුම තියෙන්නේ ආදර ප්‍රබන්ධ කතාවලටයි. ඒ ඇසුරේ ලියන පොත්පත්වලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘අංජලිකා’ නවකතාවට පාදක වෙන්නේ පේ‍්‍රම කතාවක්.

මේ කතාව ලිවීමේ අදහස මට ඇති වුණේ ඉතාලියේ ඉන්නා විටදීයි. මගේ පුතයි බිරිඳයි එක්ක මම රෝමියෝ ජුලියට් පෙම් කතාවේ එන ජුලියට්ගේ ස්මාරකය බලන්න ගියා. ඒ ස්මාරකය නරඹන මොහොතේ තමයි ‘අංජලිකා’ නවකතාව ලිවීමේ අදහස හිතේ පසළා වුණේ.

‘අංජලිකා’ ඉතාලි නවකතාවක අනුවර්තනයක්. නමුත් මම එහි එන සියලු චරිත සිද්ධි අපේ බවට පත්කළා. මේ පොත කියවා බොහෝ දෙනෙක් රසවත් කතාවක් බවට ප්‍රශංසා කළා.

කොහොමත් ඉතින් පේ‍්‍රමය කියන්නේ කවදටත් සුන්දර තේමාවක් නේ. ‘ප්‍රේමය’ අපට කවදාවත් කතා කරලා අවසන් කළ හැකි තේමාවක් නෙමෙයි. වයස් භේදයකින්, ජාති භේදයකින්, කුල භේදයකින් තොරව, සීමා මායිම්වලින් තොරව හැමෝම පේ‍්‍රම කරනවා. ‘පේ‍්‍රමය’ කියන්නේ සර්වකාලීන තේමාවක්. කාටවත් එපා වෙන්නේ නැහැ.

‘ඩිංගි’ නවකතාව පේ‍්‍රමයට එහා ගිහින් ශුංගාරාත්මක බවක් ඉස්මතු වනවාද යන ප්‍රශ්නාර්ථය නැතිවාම නෙමෙයි. ඒ මතයට ඔබ එකඟද? නැද්ද?

‘ඩිංගි’ මම ලිව්වේ සත්‍ය කතාවක් පදනම් කරගෙන. මම පුංචි කාලේ දැකපු චරිතයක්. ‘ඩැනී’ රාළහාමි කියන්නේ ලොකු පොඩි හැමෝගෙම හිත දිනාගත්තු පංති භේදයකින් තොරව හැමෝ ගැනම හිතන දුකේදී සැපේදී පිහිට වන කෙනෙක්.

මේ නිසා ගමේ හැමෝම ‘ඩැනී’ මහත්තයාට ආදරෙයි. ඔහු හරිම තේජස් මනුස්සයෙක්. බීමත්කම ඉහවහා ගිය කෙනෙක්. සල්ලාලකමක් ඔහු තුළ දකින්න තිබුණා. අවුරුදු දහය දොළහ කාලේ දැකපු මේ දැවැන්ත තේජස් පෞර්ෂය ගැන සවිස්තරව තරුණ කාලේට ආවට පස්සේ ඔහුගේ දරුවෝ ඇසුරු කිරීමේදී දැන ගන්න ලැබුණා.

දීර්ඝ කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු ඒ අදහස් තමයි ‘ඩිංගි’ නවකතාවෙන් ලියවුණේ. මෙහි කතා තේමාව වැඩිහිටි නැහැ. ශුංගාරය නැහැ. නමුත් ‘ඩැනී’ රාළහාමි සහ සමහර චරිත සමඟ තිබෙන සම්බන්ධතා එක්ක කිසියම් පේ‍්‍රමාන්විත බවක් ඉස්මතු වෙනවා. ඇත්තටම එය විය යුත්තක්.

එහෙම නොවුණා නම් ‘ඩිංගි’ කතාව රසවත්ව ගලාගෙන නොයන්න තිබුණා. එහෙනම් මෙතරම් ප්‍රතිචාර නොලැබෙන්න තිබුණා. මම මුලින්ම ‘ඩිංගි’ නවකතාව මුද්‍රණය කළේ 2008 අවුරුද්දේ ජූලි මාසයේ. නැවතත් මම ඒ අවුරුද්දෙම සැප්තැම්බර්වල දෙවැනි මුද්‍රණයත් කළා.

කිසිම මාධ්‍ය හෝ වෙළෙඳ ප්‍රචාරණයක් නැතිවම ඒ පොත විශාල වශයෙන් විකිණුනා. මේ දවස්වල එහි තුන්වන මුද්‍රණය සිදුවෙනවා. ‘ඩිංගි’ අසභ්‍ය කතාවක් නම් මෙතරම් ප්‍රතිචාර ලැබෙයි ද?

ඔබේ නවකතාවල භාෂාව පිළිබඳවත් සැලකිය යුතුයි. බස හරිම සරලයි. කාව්‍යාත්මක බස ප්‍රතික්ෂේප කර ව්‍යවහාරික බසට මුල්තැන දීලා? එය නොවිය යුත්තක් නේද?

මම නවකතා ලියද්දි යොදා ගන්නේ නිතර හුරුපුරුදු කියන බසයි. භාෂාවට ඕනෑ හැටියට අදහස් පවසන්නට යන්නේ නැහැ. එහෙම ගියොත් වෙන්නේ නැඟිය යුතු බූරුවා කරපිට තබාගෙන යෑමක් වගෙයි.

කලින් කලට සමාජය වෙනස් වෙනවා වගේ භාෂාවත් වෙනස් වෙනවා. එනිසා එහි ඇති ජීවය සදාකාලික නැහැ. පැරැණි බස යොදාගෙන අලුත් අදහස් ප්‍රකාශ කිරීමට යනඑක හරියට මහලු ගොනෙක් රියක බැන්දා වගෙයි.

මේ අදහස හොඳින් තේරුම්ගත් කෙනෙක් ‘වන සතා’ කතුවරයා. ‘වන සතා’ පාඨක සිත් පැහැර ගන්නෙත් එය කියවන්නාගේ සිතුම් පැතුම් මනාව නිරූපණය වන්නෙත් ඒ නිසයි.

මම හිතන හැටියට බුද්ධියට වද දෙමින්, බස පිළිබඳ අනවශ්‍ය තර්ක මතු කරමින් පණ්ඩිත මානයෙන් ලියනවාට වඩා සිංහල රටේ සිංහල මිනිස්සුන්ට සිංහල පොතක් කියවන්නට පුළුවන් ආකාරයට නිතර හුරු පුරුදු කියන බසින් ලිවීම වඩාත් උචිත ක්‍රමය බව මගේ හැඟීමයි.

ඔබ ලේඛකයෙක් විදියට මතුවන්නේ කර්තෘ ප්‍රකාශන හරහායි. මෙය ඔබගේ ප්‍රතිපත්තියක්ද නැතහොත් ප්‍රකාශයන්ගෙන් ආරාධනා නොලැබෙන නිසාද?

මගේ මුල්ම පොත ‘පෙම් තිළිණ’ සහ ‘ආලයේ රහස් ’ කළේ ගුණසේන සමාගම. ඊට පස්සේ පොත් කළෙත් විවිධ ප්‍රකාශක සමාගම්. ‘අංජලිකා’ ‘ඩිංගි’ පොත් දෙක විතරයි කර්තෘ ප්‍රකාශන විදියට කළේ.

ඇත්තටම ලේඛකයකු විසින් පොතක් ප්‍රකාශයට පත්කිරීම හරිම අසීරු කාර්යයක්. ලේඛකයාට මහ වදයක්. කොයිතරම් හොඳට අලෙවි තිබෙන පොතක් වුණත් කර්තෘ ප්‍රකාශ කිරීම නොකළ යුත්තක්.

ලේඛකයාට පොත් අලෙවි කර ගැනීම අපහසුයි. පොත් සාප්පු මුදලාලිලාගෙන් සල්ලි ගන්න අමාරුයි. හැබැයි කර්තෘ ප්‍රකාශකට තමා කළ කෘතියේ සැබෑ අලෙවිය නියම ලෙස දැන ගැනීමේ අවකාශ මේ හරහා තිබෙනවා.

නමුත් මෙය ලේඛකයාට නොපැටවිය යුතු බරක්. පොතක් ලියා ප්‍රකාශකයකුට බාරදීමේදී ගෙවන කර්තෘ භාගය අනිවාර්යයෙන්ම වෙනස්විය යුතුයි. දැනට කර්තෘට ලැබෙන 10% ප්‍රමාණවත් නැහැ.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය සෑම අංශයකටම අතදීමක් කරනවා. ලේඛකයින්ගේ මේ ප්‍රශ්නයේදීත් ජනාධිපතිතුමා මැදිහත් වී යහපත් වැඩපිළිවෙළක් සකසනවා නම් ලේඛකයින්ට එය විශාල ශක්තියක්.

පොත්වලට පාඨකයන්ගේ තිබෙන උනන්දුව ගැන සතුට වෙන්න පුළුවන්ද?

නූතන සමාජයේ තදින්ම ඇබ්බැහි වෙලා තියෙන්නේ මෙගා ටෙලි නාට්‍ය , ‘මෙගා ස්ටාර්’, “සුපර් ස්ටාර්” වගේ රූපවාහිනි වැඩ සටහන්වලට බව පෙනෙනවා. මේ නිසා කියවීම තරමක් දුරට ඈත් වී තිබෙනවා.

මඟ හැරිලා වගේ දැනෙනවා. ඒ කොහොම වුණත් හොඳ පොතක් මිලදී ගෙන හෝ පුස්තකාලයකට ගොස් රැගෙන බලන විශාල පිරිසක් තවමත් අප අතරේ ඉන්න බවත් පෙනෙනවා. ලේඛකයන් විදියට අපි ඒ පිරිස ගැන සතුටු වෙනවා.

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා විනා නැරඹීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් නැහැනේ.

මේ දවස්වල කෙරෙන ලේඛන කටයුතු ගැන මතක් කළොත්?

ලෝක ප්‍රකට චරිත කිහිපයක අප්‍රකට තොරතුරු සම්බන්ධයෙන් පොතක් ලියනවා. ඒබ්‍රහම් ලින්කන්, ක්ලියෝ පැට්රා, බ්‍රින් හැම්යන්ග් (ආගමික නායකවරයෝ) කැරී නේසන් (සුරාවට විරුද්ධව පෙනී සිටි සුපතළ චරිතයක්) නැපෝලියන් බිරිඳ ජොසෆින්, ලෙනින්, ලේඛක එච්. ඩී. වේල්ස් ආදී ලොව සුපතළ චරිත 20 කගේ අප්‍රසිද්ධ සිද්ධි ඇතුළත් පොතක්.

දැන් මම ලියා අවසන්. ඒවගේම “බොදු ලියෝ” නමින් බෞද්ධ ඉතිහාසයේ කාන්තා චරිත ඇතුළත් ග්‍රන්ථයකුත් ලියමින් සිටිනවා. බුද්ධ කාලයේ හිටි ප්‍රධාන කාන්තා චරිත වන මහ ප්‍රජාපති ගෝතමී, යශෝධරා විශාකා, කෝසල මල්ලිකා, පටාචාරා වගේ චරිත ගණනාවක් මීට අදාළයි. එවකට පැවැති බමුණු මත, චාරිත්‍ර විධි මේ ආදී තොරතුරු බොහෝමයක් මේ පොතේ අන්තර්ගතයි.

මේ පොත මම ලිව්වේ මහාවංශය, ථෙරිගාථා, ජාතක කතා වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇසුරුකර ගෙනයි. මේ පොත් දෙකම වයස අවුරුදු දොළෙහේ ඉඳලා ඕනෑම කෙනෙකුට කියවා දැනුමක් එකතු කළ හැකි පොත් දෙකක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]