මුද්‍රණය සඳහා

 
ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ රට ස්වයංපෝෂිත කරන්නයි

ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ රට ස්වයංපෝෂිත කරන්නයි

වීරකුමාර දිසානායක - සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය

අනුරාධපුර එ. ජ. නි. ස. පාර්ලිමේන්තු මන්ත්‍රී හා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සමඟ කරන ලද පිළිසඳරකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාවේදීම ඔබ ජයග්‍රහණය ලැබුවා. ඔබ බලයට පත් කළ ජනතාව ගැන මොනවද හිතන්නේ ?

ජනතාව මටත් වඩා විශ්වාසය තැබුවේ අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා පිළිබඳයි. පසුගිය කාලයේ ජ. වි. පෙ. කළ පාවාදීමත් එක්ක විමල් සහෝදරයා ජනාධිපතිතුමා සමඟ රටේ පෙර ගමන්කරු වුවා.

යුද්ධය දේශීය විදේශීය කුමන්ත්‍රණ පරාජය කරන්න විමල් වීරවංශ සහෝදරයා පෙරමුණ ගත්තා. රටට මෙතරම් ආදරය කළ නායකයාගේ පක්ෂය නියෝජනය කළ මා කෙරෙහි ජනතාව විශ්වාසය තැබුවා. නොපෙනෙන බලවේගයක් ජනතා හදවත් තුළ තිබුණා. මැතිවරණයේ දී ඒ බලය මතු වුණා.

මම පදවියේ අලි වංගුවේ සිට කලාවැවේ දේවහුව දක්වාත් එතැන් සිට නොච්චියාගමත් අතර මුළු මහත් දිස්ත්‍රික්කයේම ඉතා නිහඬ මැතිවරණ ව්‍යාපාරයක නිරත වුණා.

මට මැතිවරණ කොට්ඨාශයක් තිබුණේ නැහැනේ. එ. ජ. නි. සන්ධානයේ අපේක්ෂකයා වූ මට ගෙඩි පිටින් ඡන්ද වැටුණේ නැහැ. දිස්ත්‍රික්කය පුරාම විසිරි ගිය ඡන්දයි මට ලැබුණේ.

අනෙක මම මනාප පොරයේ හිටියෙත් නෑනේ. ජනතාව ජනාධිපතිතුමාත් විමල් වීරවංශ සහෝදරයාත් කෙරෙහි තැබු පූර්ණ විශ්වාසයයි මගේ ජයග්‍රහණය. මා මන්ත්‍රීවරයකු කළ මා නියෝජ්‍ය අමාත්‍යවරයකු කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට දිවි පරදුවට තබා මා සේවය කරනවා.

ලැබූ අමාත්‍යාංශයේ කාර්යභාරය විස්තර කළොත් ?

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය ඇමැතිකමයි ජනාධිපතිතුමා මට බාර දුන්නේ. ගමක් තුළ පාරම්පරිකව පැවැත එන කර්මාන්තකරුවෝ ඉන්නවා. සමාජයට ජනතාවට අවශ්‍ය සියලු දේම ගම තුළ ප්‍රදේශය තුළ නිපදවනවා.

ඒ පොදු ජන ජීවිතයට අවශ්‍ය දේයි. පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ආ ගැමි කර්මාන්ත මෑත යුගයේ දී සෑහෙන දුරට වෙනස් වුණා. වැඩවසම් යුගයේ සමාජ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ලබාදීම මෙම සම්ප්‍රදායික කර්මාන්තයන්ගේ් මූලික අරමුණයි.

පවුලේ පියා මව දරුවන් එක්වී විවිධ දේ සමාජයට වෙළඳ පොළට ලබා දුන්නා. ඒ අතර හත් අට දෙනා දහ දොළොස් දෙනා එක්ව කුඩා කර්මාන්ත පවත්වාගෙන ගියා. මෙන්ම මේ විෂයන් පිළිබඳයි මගේ අමාත්‍යාංශය කටයුතු කරන්නේ. නියෝජ්‍ය ඇමැතිකම ලැබුණට තවම මට ලැබෙන ආයතන ගැන දැනුම් දී නැහැ. ඉදිරි දින කීපයේදී එය ලැබේවි.

ඉතිං අමාත්‍යාංශය හරහා සිදු කිරීමට අපේක්ෂා කරන මෙහෙවර කුමක්ද ?

ඔව් මම බලාපොරොත්තු වෙනවා. කෙඳීරි ගගා බැරි බැරිගාතේ ගෙවල් වලට වී සිදු කරන කර්මාන්ත කරුවාට ජලය ඔක්සිජන් මුදල් ආදි සම්පත් ලබා දී මෙම සම්ප්‍රදායික කර්මාන්ත නවීන තාක්ෂණය උපයෝගී කොටගෙන දියුණු කරන්න.

විශේෂයෙන්ම යහපත් වෙළඳ පළක් නිර්මාණය කරන්න. අපේ ග්‍රාමීය සම්ප්‍රදායික කර්මාන්ත සඳහා ලෝක වෙළෙඳ පළේ විශාල ඉල්ලුමක් තියෙනවා. නිෂ්පාදන ඩොලර් වලට අලවි වෙන්නෙ. ඒත් දේශීය වෙළඳ පළේ මිලක් නැහැ.

ජාත්‍යන්තර වෙළඳ පලට මෙම නිෂ්පාදන යන්නේ ඉතා සුළු වශයෙන්. ඒවායේ ලාබ ගන්නේ අතර මැදි ව්‍යාපාරිකයන්. නිෂ්පාදකයා එකතැන පල් වෙනවා. අත මිට මුදල් නැහැ. හොඳ ආදායමක් නැහැ.

ඒත් රටට සමාජයට අවශ්‍ය නිෂපාදන, හිඟයකින් තොරව නිපදවනවා. පසුගිය ආර්ථික අර්බුදයේදී ලොව මහා පරිමාණයේ කම්හල් කඩා වැටුණා. අපේ රටේ ආර්ථිකය බිම නොවැටී රැඳුණේ මෙම ගමේ සම්ප්‍රදායික කර්මාන්තකරුවා නිසයි.

තවත් එකක් එදා කැත්ත, උදැල්ල, පිහිය, අලවංගුව, වෙස් මුහුණ, ලාක්ෂා ගල් කැටයම්, හැලි වලං, හට්ටි මුට්ටි, වට්ටි, පෙට්ටි විසිතුරු දෑ නිපදවුණේ් ගමේමයි. රෙද්ද, බැනියම පවා ගමේ නිෂ්පාදනය කළා.

විවෘත ආර්ථිකයත් සමග මේ සියල්ල පසු බෑමකට ලක් වුණා. ලොව තාක්ෂණය දියුණු රටවල් වල නිෂ්පාදන අපේ රටේ වෙළඳ පළ ගිළගත්තා. නිසි ප්‍රමිතිය කෙසේ වෙතත් භාණ්ඩ රටේ ගොඩ ගැහුණා.

ගොරහැඬි නැහැ ලස්සනයි. කල් පැවැත්මක් නැහැ. ඒ විදේශීය නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය වුණා. මෙන්න මේ තත්ත්වය මත අපේ සම්ප්‍රදායික නිෂ්පාදනයට නවීන තාක්ෂණය එක් කළ යුතුයි.

අපේ නිෂ්පාදන විදේශීය නිෂ්පාදන තරමට හෝ ඊට වඩා ඉහළ මට්ටමකට පත් කළ යුතුය. ගමේ රෙදි වියන මධ්‍යස්ථානය වැහිලා සම්ප්‍රදායික රැකියා සමාජයේ අවතක්සේරුවට නින්දාවට අපහාසයට ලක් වෙලා.

දුපුතුන් මෙම අගනා නිෂ්පාදනවලට සම්බන්ධ වෙන්න අකමැතියි. මේ තත්ත්වය වෙනස් කරන්න එම නිෂ්පාදනවලට ඉහළ ආදායම ලැබෙන තත්ත්වයට පත් කළ යුතුයි. ගම කේන්ද්‍රීය කොට ගෙන සිදු වන සියලු කර්මාන්ත නගා සිටුවීම පුහුණු කිරීම මූල්‍ය පහසුකම් සැලසීම නවීන තාක්ෂණය හා දෙස් විදෙස් හොඳ වෙළඳ පලවල් ඇති කිරීමටත් අපේ සම්ප්‍රදායික කර්මාන්ත සමාජයෙන් ගිළිහී යෑමට ඉඩ නොදී අනාගත පරපුර වෙනුවෙන් ගම තුළම සුරක්ෂිත කරන්නත් අපේක්ෂා කරනවා.

වෙළඳ දැන්වීම් විසින් ගිලගත් සමාජය පියවි තත්ත්වයට ගෙන ඒම අසීරු කරුණක්. එම අභියෝග ජය ගන්න සියලු වෙර වීරිය දරනවා. මුළු රටේම අස්සක් මුල්ලක් නෑර යමක් නිෂ්පාදනය වෙනවා නම් එම නිෂ්පාදනය දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් ජනතාවට ලබා දෙනවා.

බලන්න ‘දෙහි’ ගස් යට වැටිලා කුණු වෙනවා. තවත් කාලයක් ගිනි ගණනට අලෙවි වෙනවා. අපි ‘කෝ්ඩියල්’ බොනවා දොඩම් වගාව වැටිලා. ඇයි අපිට බැරි ගමේ නිෂ්පාදනයෙන් ගමේ අස්වැන්නෙන් උපරිම ඵල නෙලා ගන්න. රටේ පවතින වෙළඳ සංස්කෘතිය බිඳ දැමිය යුතුයි. අපේ කමට ජනතාව යොමු කළ යුතුයි.

ගෝලීයකරණයත් එක්ක වේගයෙන් ඉදිරියට ඇදෙන සමාජයක සම්ප්‍රදායික ග්‍රාමීය නිෂ්පාදන සුරක්ෂිත කැර නිෂ්පාදකයාගේ ආදායම ඉහළ මට්ටමකට ගෙන ඒම අරමුණයි. එම කාර්යට ශක්තිය ධෛර්ය තියෙනවා.

මිනිසුන් බොරු සෝබන වලට ව්‍යාජ සුඛෝපභෝගිත්වයට තල්ලු කරන මාධ්‍ය වෙළද ප්‍රචාරය සල්ලි ගිල දමන්නක් මිනිසුන් හිඟන්නන් කරන්නක්. මෙයට හොඳම දේ අපේ දේ අප අගය කිරීමයි. එය ජනතා සිත් සතන් තුළට ගෙන යා යුතුයි.

තවත් හය වසරකට ජනාධිපතිතුමාට ජනතාව විසින් රට බාරදීලා. ජනතා විශ්වාසය ආණ්ඩුවට රකින්න පුළුවන් වෙයිද ?

ඇයි බැරි. ජනතා විශ්වාසය ජනතා අපේක්ෂා ඉටු කළ යුතුªමයි. පළමු වර ජනාධිපති තුමාට රට බාර දුන්නේ යුද්ධය අවසන් කරන්න කියලයි. එතුමා එය කළා. කවුරු ත්‍රස්තවාදයට උදව් කළත් ජනාධිපතිතුමා ගේ ගමන නතර කරන්න උත්සාහ කළත් දේශප්‍රේමීන් ජනාධිපතිතුමා සමඟ හිටියා. විශේෂයෙන් මේ අපේ රට යන හැඟීම තිබූ ජනතාව. දැන් යුද්ධය ඉවරයි.

ජනාධිපතිතුමාට දෙවන වරට රට බාර දීලා තියෙන්නේ මේ රටින් නැති බැරිකම නැති කරන්නයි. ගමේ මිනිහාගේ අත මිට සරු කරන්නයි. රටේ ආර්ථිකය සවිමත් කරන්නයි. ලොව තවත් රටකින් නිෂ්පාදන අපේ රටට ගෙන එන තුරු කට ඇරගෙන සිටි යුගය අවසන් කරන්නයි.

රට බතින් බුලතින් පමණක් නොව සියල්ලන් ගෙන්ම ස්වයංපෝෂිත කරන්නයි ජනතාව බාරදීලා තියෙන්නේ. එම ජනතා හැඟුම ඉටු කරන්න තමයි ‘මහින්ද චින්තනය’ ක්‍රියාත්මක කරන්නේ. ගමේ මිනිසාගේ නිෂ්පාදන ඉහළ නංවා ඔහුගේ ආර්ථිකය උසස් මට්ටමකට පත් වෙනවා කියන්නේ රටේ දැවැන්ත ආර්ථිකයක් ගොඩ නැඟුණා කියන එකයි.

ජනාධිපතිතුමා සමග සියලු ප්‍රගතිශීලීන් දේශප්‍රේමීන් එකතු වෙලා ඉන්නේ ඒකටයි. රට දියුණු කරන්න අකමැති විදේශයන්ට කත් අදින රටට වින කරන දේශපාලකයන් ජනතාව විසින් කුණු කුඩෙට දාලා ඉවරයි.

අපි ජනාධිපතිතුමා පෙරටු කොට ගෙන වහ වහා මහින්ද චින්තන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. කුමන අභියෝග වුවත් ඒ සියල්ල ජනතාවගේ හෙට දවස උදෙසා ජය ගත යුතුයි.

මේ පුණ්‍ය භූමිය මේ උතුම් භූමිය ආසියාවේ ‘ෙඓශ්චර්යමත්’ රට බවට පත් කළ යුතුයි. එය මන්තරයක් සේ ජප කරමින් නොසිට වහ වහා ක්‍රියාත්මක කළ යුතුයි.

රටක් සංවර්ධනය නොවීමේ දියුණු නොවීමේ රහසක් තියෙනවා. ඒ වංචාව දූෂණය හොරකම හා නාස්තිය. මේ සියල්ල ජය ගත යුතුයි. තම බඩ වඩා ගන්නා රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් ‘ගිල’ ගැනීම නතර කළ යුතුයි.

ඒ සඳහා දැඩි නීති ගෙන ආ යුතුයි. රජයක් බලයට පත් වුණත් ‘රජවෙන්නේ’ රටේ නිලධාරින් එම ක්‍රමය වෙනස් කළ යුතුයි. රටේ රජවිය යුත්තේ දේශපාලකයන් හෝ නිලධාරීන් ව්‍යාපාරිකයන් නොව ජනතාවයි.

ජනතාවගේ හිස මත සංවර්ධනයේ ඔටුනු පළඳවන්න නම් මහින්ද චින්තනය ජයග්‍රහණය කරවන්න අප කැප විය යුතුයි. අපේ යුතුකම හා වගකීම ද එයයි. ඉන් එහා විමුක්තියක් නැහැ.

ජනතාවට දෙන පණිවිඩය ?

ජනාධිපතිතුමාත් ජනාධිපතිතුමාට අයෝමය ශක්තියක් ලබා දෙන රජය කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ තැබු විශ්වාසය අකුරටම ඉටු කරනවා. මේ රට ජාතිය ගලවා ගැනීමට ඉන්නේ මේ රජය විතරයි.

පරාජිත රට පාවා දෙන්නන්ට මේ රට නැවත බාර දෙන්න අප ඉඩ තියන්නේ නැහැ. යුද්ධය ජය ගත්තා සේම දැවැන්ත ආර්ථික අභියෝගය ඉදිරි හය වසර ගත වෙන්නට පෙර අපි ජය ගන්නවා.

ඒ විශ්වාසය මත ජීවත් වෙන්න. ඔබේ දරු මුණුපුරන්ට හෙට සුබ දවසක් අපි උදා කරනවා. ඒ විශ්වාසය තබන්නැයි කියා ජනතාවගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]