ජනතාවට රජය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා


 

ජනතාවට රජය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා

ප්‍රභා නානායක්කාර - අතුරුදන්වූවන්ගේ මාපිය දූ දරු සංවිධානයේ ජාතික සංවිධායක

අසූ අට, අසූ නවය භීෂණ සමයේ දී විපතට පත්වූවන්ට සහන සැලසීම, වත්මන් රජය ඉදිරි අභියෝග ජය ගැනීම සහ පොදුවේ රටේ සංවර්ධනය ඇතිකිරීමේ වැඩපිළිවෙළ ජය ගන්නා ආකාරය ආදී කරුණු පිළිබඳ අතුරුදන්වූවන්ගේ මාපිය දූ දරු සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රභා නානායක්කාර මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයකි මේ.

අතුරුදන්වූවන්ගේ මාපිය දූ දරු සංවිධානයේ ඔබ, විවිධ මැතිවරණ අවස්ථාවල දී ප්‍රගතිශීලී නායකත්වයන් සහ ආණ්ඩු බලයට පත් කිරීමට වෙහෙසුණා. එවැනි දේශපාලනයක නියැලීමෙන් ඔබ සංවිධානය බලාපොරොත්තු වන්නේ කුමක් ද?

ඇත්තට ම අසූ හත, අසූ නවය භීෂණ සමයේ පීඩාවට පත් අති විශාල පිරිසක් සිටිනවා. ඔවුන් පවුල් වශයෙන් ගත්තොත් තිස් දහසක්, තිස්පන්දහසක් තරම් වෙනවා. මේ පිරිසට තිබෙන ආර්ථික, සාමාජීය, ප්‍රශ්නවලට විසඳුම් සපයා දීම අපේ අරමුණයි. මේ අරමුණ අපිට ජයගන්නට හැක්කේ ප්‍රගතිශීලී නායකත්වයක් නැත්නම් ආණ්ඩුවක් බිහිකර ගතහොත් පමණයි. ඒ නිසයි අපි ඉතිහාසය පුරාම රටට හිතවත් ජනතාවට හිතවත් නායකත්වයක්, නිර්මාණය කිරීමට කැප වුණේ.

විපතට පත් වූවන්ගේ දුක, කඳුළ මතින් බලයට පැමිණ ඔවුන් අමතක කරන දේශපාලන ඉතිහාසයක් රටේ තිබෙනවා කියා ඇතැමුන් කියනවා. එවන් පිරිසකගෙන් ජනතාවට සහන ලබාගත හැකි යැයි ඔබ විශ්වාස කරනවා ද?

හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි මෙතන දී බැලිය යුත්තේ සර්ව සුබවාදීව මිස අසුබවාදීව නෙවෙයි. සාපේක්‍ෂව බැලුවොත් අපි තෝරා ගත් ප්‍රගතිශීලී කඳවුරේ නායකත්වයන් විසින් පීඩාවට පත් අපේ සාමාජිකයින්ට යම් යම් සහන ලබාදීම් සිදුකොට තිබෙනවා.

එයින් අපි කියන්නෑ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබුණයි කියා. නමුත් අපට හැකි පමණින් ජනතාවට යම් විසඳුම් ලබා දීමට ක්‍රියා කළා. අඩුපාඩු තිබෙනවා.

ඒවා නිවැරදි කර වඩාත් ඉහළ සේවාවක් ජනතාවට ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා යටතේ හැකි බවට දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. ඒ අනුවයි අපි කටයුතු කරන්නේ. මට මෙතැන දී තවත් පැහැදිලි කිරීමක් කරන්නත් හිතෙනවා.

ඔබට තිබෙන ඒ පැහැදිලි කිරීම මොකක්ද?

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දෙවැනි වතාවටත් ජයග්‍රහණය කරවීමට ක්‍රියා කළා. එතැන දී එතුමා සමඟ මැතිවරණ සටනට ඉදිරිපත් වුණු අනෙක් අපේක්‍ෂකයා හිටපු හමුදාපතිතුමා.

එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් ප්‍රමුඛ කර ගත් ඔහු පරාජයට පත්කිරීමට අපි නොපැකිලිව ඉදිරියට ආවා. එසේ ආවේ එවන් නොගැලපීම් සහිත කණ්ඩායමක අයෙක් බලයට ආවොත් යළිත් මේ රට මහා භීෂණයකට මුහුණ දෙන නිසයි.

රට අරාජික වී කැරැළි මතු වී මහා විනාශයක් සිදුවීම වැළැක්වීමටයි එදා අපි ක්‍රියා කළේ. අපි ගත් තීරණය ඉතාම නිවැරදියි. වත්මන් ජනාධිපතිතුමා ජනතාව ගේ දුක කඳුළු හඳුනන අවංක නායකයෙක්, එතුමාගෙන් අප සංවිධානයේ සාමාජිකයින්ගේ බොහොමයක් ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකියි. අපිට ඒ ගැන විශ්වාසයක් පවතිනවා.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස ඔබ සංවිධානය විසින් සාමාජිකයින්ගේ සුබසෙත සැලසීමට සිදු කළ කාර්යභාරය කුමක්ද?

ඇත්තට ම අපි අපට හැකි පමණින් විපතට පත්වූවන්ගේ දුක් ගැනවිලිවලට, විසඳුම් ලබා දුන්නා. විශේෂයෙන් ම මරුමුවට පත්වූවන්ට මරණ සහතිකය පවා ලබා දීම විශාල සේවයක් ලෙසයි ඔවුන් සළකන්නේ.

සමහරුන්ට රුපියල් විසිපන්දහ, පනස්දාහ වන්දි මුදල් ලබා දීමට රජය සමග එක්ව කටයුතු කළා. මෙවැනි දේවල් සිදුකිරීමෙන් පමණක් කිසිසේත් ම සෑහීමකට පත්වීමට බැහැ. අපි තවදුරටත් මේ අහිංසක ජනතාවගේ දුක් ගින්දර නිවන්න වැඩ කළ යුතුයි.

ඇතැම් දෙනෙක් දැන් ජීවත්වන තත්ත්වය ඉතා ම දුක්ඛිතයි. ඒවා කතා කිරීම පවා මහ වේදනාකාරී කටයුත්තක්. නමුත් අපි ඒ සියලු දුක් ගින්දර නිවීමට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරනවා.

අතුරුදන්වූවන් ගේ මාපිය දූ දරු සංවිධානයේ සාමාජිකයින් ලක්‍ෂ දෙකකට අධික පිරිසගේ හඳුනාගත් ප්‍රශ්න මොනවාද?

ඔව් ඇත්තට ම අප සංවිධානයේ බොහෝ පිරිසක් ස්වාමිපුරුෂයන් අහිමිවූවන්, වැන්දඹු කාන්තාවෝ වැඩියි. එදා තරුණ වයසේ සිටි අය අද වයස්ගත වෙලා. අම්මා, තාත්තා වයසට ගිහින්.

ඒ අයට බෙහෙතක් හේතක් ගන්න ක්‍රමයක් නැතිව ඉන්නේ. අනෙක් පැත්තෙන් ජීවත් වෙන්න ජීවනෝපාය ක්‍රමයක් හරිහැටි නෑ. තමන්ගේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක්, රැකියා අවස්ථාවක් නෑ. ඒ නිසා ඒවාට විසඳුම් අපි ලබාදිය යුතුයි.

ඔබ රජයෙන් බලාපොරොත්තු වන සහන සහ විසඳුම් මොනවා ද?

අප සංවිධානයේ දැනට සිටින අවුරුදු 50 ට 55 ට වැඩි කිසිදු ආර්ථික හැකියාවක් නැති වැඩිහිටි දෙමව්පියන්ට යම් කිසි මාසික දීමනාවක් ලබා දීමට රජය යොමු කර ගත යුතුයි. ඒ වගේ ම ජීවනෝපාය නැංවීමට මේ පිරිසට ස්වයං රැකියා ආධාර, බැංකු ණය, ව්‍යවසාය සංවර්ධන උපදෙස්, අතදීම් ආදිය ලබාදිය යුතුයි.

විශේෂයෙන් ම මේ පවුල්වල සිටින තරුණ දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක්, නිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි ජාතික වැඩපිළිවෙළක් අපි හඳුන්වා දිය යුතුයි. රජයේ රැකියා ලබාදීමේ දී මේ පිරිසට යම් ප්‍රමුඛතාවයක් ලැබිය යුතුයි.

අපි ඒ සඳහා රජය සමඟ නිරන්තරයෙන් ම සාකච්ඡා කරමින් සිටිනවා. මේ විසඳුම් ලබාදීම ප්‍රමාද වන්නට ප්‍රශ්න දුරදිග යනවා. එය වැළැක්වීම ජාතික වගකීමක් ලෙසයි අපි දකින්නේ. මේ ආණ්ඩුව ජනතා හඬට කන් දෙන ප්‍රගතිශීලී ආණ්ඩුවක්. ඒ නිසා විසඳුම් ලබාගැනීම පහසුයි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රගතිශීලී ආණ්ඩුවක් බලයට පත්කිරීමට ඔබ සංවිධානය දායකත්වය දැරුවා. ඒ පිළිබඳව ඔබට දැනෙන්නේ කුමන අදහසක්ද?

ඔව්. මේ රට දෙස් විදෙස් අනිසි බලපෑම්වලින් යටපත් කළ නොහැකි රටක් බව අපි ලොවට පෙන්වූවා. ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය පරාජය කළ රටක් බවට පත්කිරීමට දායක වුණා.

අපිට අද තිබෙන්නේ මේ ලැබුණු ස්වර්ණමය අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ලබාගෙන රට දියුණු කිරීමයි. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව මේ රට මෙහෙයවා ආසියාවේ ආශ්චර්ය බවට පත් කළ යුතුයි. ඒ ගමනට යම් දායකත්වයක් ලබා දීමට හැකිවීම ගැන අපට සතුටුයි.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ කාර්යයේ දී ඔබ සංවිධානයේ සහ පොදුවේ මුළුමහත් ජාතියේ ම වගකීම වන්නේ් කුමක් ද?

හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපේ රට බෝම්බ, මර උගුල්, පිපිරෙන සාමය නැති රටක් නෙමෙයි. දැන් සාමකාමී පරිසරයක් රටේ තිබෙන්නේ. ලෝකයේ ඕනෑ ම රටක දියුණු වෙන්න තිබෙන්නම ඕන සාමය.

අද අපේ රටේ ඒ දේ තියෙනවා. දැන් තිබෙන්නේ මේ අනගි අවස්ථාවෙන් පල ප්‍රයෝජන ලබාගැනීමයි. දැන් මෙතෙක් කලක් ප්‍රයෝජනයට නොගත් ගොඩබිම්, සාගරය, නිල් අහස, ස්වභාවික සම්පත් අපේ රටේ දියුණුවට අපි යොදා ගත යුතුයි.

අපේ රටේ තිබෙන වටිනා සම්පත මානව සම්පතයි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකත්වයන් එක මවකගේ දරුවෝ වාගේ සිතා රට නැංවීමට කැපවී ක්‍රියා කළ යුතුයි.

ජාති, ආගම්, කුල භේද ඉවතලා කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ඒ සඳහා නිවැරදි දැක්මක් ඇතිව නායකත්වය සපයනවා. අපි ඒ ඔස්සේ සමඟිව සමානාත්මතාවයෙන් කටයුතු කළ යුතුයි. ඒ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි.

අපේ රට නව ජවයකින් ඉදිරියට යෑමට සූදානම් විය යුතුයි පවසමින් නොසිට එය ක්‍රියාවෙන් පෙන්විය යුතුයි නේද?

අනිවාර්යයෙන් ම ඔව්. අපේ රට නිදහසින් පසු වඩාත් වේගයෙන් ම යටිතල පහසුකම් දියුණු කළ වසර හතර පහුගිය වසර හතරයි. ඊට ඉස්සර කථා කළ දේ ක්‍රියාවන් බවට හරියාකාරව පත් කළේ නෑ. දැන් රට අලුත් දිසාවකට ගමන් අරඹා තිබෙනවා.

ඒ නිසා ජනතාවගේ යම් විශ්වාසයක් රටේ දියුණුවක් ඇතිවේ යැයි මතු වී තියෙනවා. කරන්නට නොහැකි වූ ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ බලාගාර ඉදිකිරීම් ඇරඹුවා. අධිවේගී මාර්ග ආරම්භ කළා.

මොරගහකන්ද, උමා ඔය වැනි දැවැන්ත ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළා. මේ හරහා රටේ විශාල දියුණුවක් ඇරැඹී තියෙනවා. අපි ඒවා වඩාත් වැඩිදියුණු කොට රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියා කළ යුතුයි. එය රජයේ මැති ඇමැතිවරුන්ගේ, නිලධාරීන්ගේ වගකීමයි.

නව ජවයකින් රට ඉදිරියට යෑමට වත්මන් ඇමැති මණ්ඩලය ඇතුළු නිලධාරීන් ක්‍රියාකරාවිද?

ඔව්. ජනතාවට රජය කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා. ඇමැති මණ්ඩලය අඩු කිරීම් වැනි යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන ජනතාව තෘප්තිමත්. වත්මන් ඇමැති මණ්ඩලය මේ ජනතා විශ්වාසය සුරැකෙන ලෙස කැපවීමෙන් රාජකාරි කළ යුතුයි.

ඒ හරහා රටේ පොදු දියුණුව ළඟා කර ගත යුතුයි. එය එලෙසින් ම සිදුවනු දැකීම අපේ ද බලාපොරොත්තුවයි. වැඩ කළ හැකි දක්‍ෂ නවකයන්ට වුව බලගැන්වීම් ලබා දිය යුතුයි. එය රටේ සංවර්ධනයේ සුබ නිමිත්තක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා