පිරිමි ඇසක සැඟවූ ගැහැනුන්ගේ ලෝකය

පිරිමි ඇසක සැඟවූ ගැහැනුන්ගේ ලෝකය

වර්තමානය වන විට අප කාන්තා දින අනන්ත, අප්‍රමාණ ප්‍රමාණයක් පසුකර ඇත්තෙමු. බොහෝ වැඩසටහන් ආරම්භ කර නිමාවක් නොදැකම අතරමඟ ද නතර කර ඇත. කාන්තා දිනය සමරන ලෝකවාසී ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම තමා මේ දෙරණ මත දෙපා තබා සිටින්නේ තවත් කාන්තාවක් නිසා බව සිහියේ තබා ගත යුතු ය.

ඕනෑම කාන්තාවක් තවත් කෙනෙකුගේ මවකි. බිරිඳකි. නැතිනම් දියණියකි. එහෙයින් කාන්තා දිනයේ දී කාන්තාවන්ගේ කාර්ය භාරය වඩාත් අගය කළ යුත්තේ. වටිනාකම් ගැන කතා කළ යුත්තේ කාන්තාවන්ගේ අනපේක්‍ෂිත ගැටලුකාරී අවස්ථාවන් හඳුනාගෙන ඒවාට පිළිසරණ සෙවිය යුත්තේ පුරුෂ පක්‍ෂයයි.

මෙදින සැමරීම සඳහා රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන ඉදිරිපත් වී විවිධ වැඩසටහන් පවත්වනු ලබයි. නමුත් ලෝකයේ ඉතා අසරණ වූ කාන්තාවන් හසරක් නැතිව කල් මරනු ඇත. ඔවුන්ව හඳුනාගෙන ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, පිළිසරණ පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් කොතරම් වටීද?

කාන්තාව ආරක්‍ෂා කළ යුතු බව ආරක්‍ෂා විය යුතු බව නොකිවමනා ය. එසේ නොවන විටක සිදුවන්නේ විවිධාකාර ගැටලු සිත් වේදනා පීඩාකාරී තත්ත්වයන් පමණක් නොව මරණය පවා උරුම කර ගැනීමට ය.

මින් පෙනෙන්නේ සිදු වී ඇති සමාජ පරිහානියේ තරමයි. රන් භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කළ යුත්තේ යම් සේද කාන්තාවන් ද ඒ ආකාරයට රැකිය යුතු ය. කිසියම් කාන්තාවකට තමාගෙන් හිංසා, පීඩා, නින්දා අපහාස සිදුවන විටක දී සිහියට නැගිය යුතු වන්නේ අනාගතයේ දී දිනක “තමාගේ දියණිවරුන්ට එවැන්නක් සිදුවුවහොත්” යන්නයි.

කුඩාම ඒකකය වන පවුල තම යුතුකම් අයිතිවාසිකම්වලට ගරු කරන විට මුළු සමාජයම නිවැරදි මාවතේ ගමන් කරන බව පැහැදිලි ය. ඉන් පසුව බිහිවන පරම්පරා තුළින් හමුවන්නේ හොඳ කායික මානසික වශයෙන් නිරෝගී පරපුරයි.

අනතුරුව මෙවැනි දරු පිරිසකගෙන් තවත් කාන්තාවකට අනතුරු අතවර උද්ගත වන්නේ නැත. එම දරුවන් තම ආදරණීය අම්මා, සහෝදරිය, යෙහෙළිය කාලයක් ඉක්ම ගිය පසුව තම ආදරණීය බිරිඳ, දියණිය ආදී වශයෙන් කාන්තාවන්ට ගරු කරනු ඇත. නිසි ලෙස තම යුතුකම් ඉටුකරමින් කිසියම් වරදක දී සමාව දෙමින් ආරක්‍ෂා කරනු ඇත.

කාන්තාවන් ගේ පිහිටට ඉදිරිපත් වී ඇති කාන්තා පිහිට ආයතන හා වැඩි රාජ්‍ය නොවන සංවිධානවලට වුව ද ඉටුකළ හැකි වන්නේ සීමා සහිත සේවයකි. තම සමීපතමයින් ආත්මාර්ථකාමීත්වය මුදුන්පත් කර ගැනීම තුළ ඇය ගේ ගැටලුව ඉදිරිපත් කළ ද ලැබෙන විසඳුම හමුවේ නැවත ඒ පිරිස් සමඟ ජීවත්වන්නේ කෙසේද? නැවත ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙබඳු වේද? තත්ත්වය තවත් වැඩි නොවන්නේද? ආදී විවිධාකාර ගැටලු හමුවේ නතරවන්නට එම සංවිධානවලට සිදුවෙයි.

කාන්තාවට ස්වභාවයෙන් උරුම වූ දුක් පීඩාවන්ට අමතරව තම හිතෛෂීන්ගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් අත්විඳින්නට ලැබෙන තාඩන පීඩන ජනමාධ්‍යවලින් ඕනෑ තරම් පෙන්වා දෙයි. එවැනි සිදුවීම් හමුවේ කාන්තා පිහිට ආයතන වැනි සංවිධාන සමාජයට කළ හැකි දේ පිළිබඳ මීට වඩා කතිකා කර ගත යුතු නොවේ ද?

ස්වාමිපුරුෂයාගේ අකටයුතුකම් හමුවේ ජීවිතයෙන් පලා යන හෝ දරුවන් වෙනුවෙන් සියල්ල විඳ දරා ගන්නා අම්මාවරුන් සමාජයේ කොතෙකුත් ඇත. කෙසේ නමුත් වීරයින් ලෙසින් අසරණ කාන්තාවන් විවිධ පීඩාවන්ට පත්කර නීතියේ සිදුරු අතරින් රිංගා ගොස් ඉහළ සමාජයේ ප්‍රසිද්ධියේ නිවැරදි අය ලෙස ජීවත්වන්නෝ කොතෙකුත් සිටිති. එසේත් නැතිනම් නීතියට හසුවන්නේවත් නැතිව සිටිති.

මේ නිසා කාන්තා දිනය සැමරීමේ දී කළ යුතු වන්නේ විශේෂයෙන් මෙවැනි ගැටලුවලට මුහුණ දෙන මධ්‍යම පන්තියේ හා පහළ පන්තිවල කාන්තාවන්ට පිළිසරණක් වීමයි. මේ සඳහා ප්‍රභූ පන්තියේ කාන්තාවන් ගේ සිත් ආගමික නැඹුරුවකින් යහපත් පැත්තට යොමුකිරීම, නීති ප්‍රතිපාදන මීට වඩා නවීකරණය කරමින් ලබා දෙන විසඳුම් සාධාරණව හා යුක්තිගරුක කිරීම, අධ්‍යාපනය මගින් යහපත් ආකල්ප ගොඩනැංවීම, විශේෂයෙන් ජනමාධ්‍ය මගින් කාන්තාව කෙළිබඩුවක් කර ගන්නා අවස්ථාවන් දුරුකරලීම හා වැඩිහිටි රැකවරණය ක්‍රමවත්ව සිහිබුද්ධියෙන් ලබාදීම ආදී දේ තුළින් සිදුකළ හැකි ය.

මෙවන් පෙළඹවීම් හා උපස්ථම්භන ක්‍රියාත්මක කිරීමට කාන්තාව වෙනුවෙන් එක් දිනක් සුවිශේෂී කර ගැනීමට වඩා සෑම දිනකදී ම ඇය සුවිශේෂි කර ගන්නේ නම් වඩා ඵලදායී වනු ඇත. එවිට වැඩදායක සමාජයකට ඇයගේ දායකත්වය යහපත් ලෙසින් පිරිනැමෙනු ඇත.

පවුලේ දියුණුව වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් ඇය ඉටුකරන කාර්ය භාරය හඳුනාගෙන ඇයටත්, ඇගේ දරුවන්ටත් කායික, මානසික සුවය, සැනසීම ලැබගෙන යහපත් අනාගතයක් උදාකර ගැනීමට ඇය අවට සිටින සහායකයින්ගේ උදව් උපකාර සහයෝගය ලැබෙන්නේ නම් ඉතා අගනේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා