කැලණියේදී පැහැර ගනු ලැබූ පුංචි සෙනුනි සොයා ගනී

කැලණියේදී පැහැර ගනු ලැබූ පුංචි සෙනුනි සොයා ගනී

සැකකාර කත අත්අඩංගුවට

සෙරෙප්පු ගන්න ගිහින් සිද්ධිය හෙළි වේ

කැලණිය රජමහා විහාරයට බෝධි පූජාවක් පැවැත්වීමට සිය මවුපියන් සමඟ ගොස් සිටියදී පසුගිය ඉරිදා (9) පැහැර ගනු ලැබූ සෙනුනි නිමංශා මාපලගම දැරිය (අවු. 2 1/2) ඊයේ මාරවිල ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකිවී තිබේ.සෙනුනි නිමංශා දැරිය පැහැරගෙන ගිය බවට සැකකරන කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඊයේ (11) මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කෙළේ දැරිය පැහැරගෙන තිබෙන්නේ යම්කිසි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට විකිණීම සඳහා බවට සැකකරන බවයි.

ඊට සම්බන්ධ තොරතුරු සියල්ල හෙළිකර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් මූලස්ථාන අපරාධ අංශය සහ කැලණිය පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වන බවයි.

පසුගිය ඉරිදා (9) දැරිය පැහැරගත් කාන්තාව දරුවාද රැගෙන ගොස් එදින රාත්‍රියේ කැලණිය ප්‍රදේශයේ නිවසක ගතකර තිබේ. නවාතැන් දුන් කාන්තාව සහ දරුවා පැහැරගත් කාන්තාව කැලණිය විහාරයේ සිල් සමාදන් වීමට ගිය අවස්ථාවලදී මිතුරු වූ දෙදෙනෙකි.

ඇය නවාතැන් දුන්නද දැරිය පැහැරගෙන යන බවක් ඇය නොදැන සිටි බව පැවසේ. එදින රාත්‍රියේ එම නිවසේ සිට පසුදින උදෑසන ඇය දරුවාද රැගෙන නිවසින් පිටව ගොස් ඇත. ඇය දරුවාද රැගෙන කැලණිය ප්‍රදේශයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අංක දෙකකට කතා කර තිබේ.

පැහැර ගැනීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිසියට එම දුරකථන අංක දෙක ලැබී තිබුණි. පරීක්ෂා කිරීමේදී එක් අංකයක් ගල්කිස්ස ප්‍රදේශයටද අනෙකුත් අංකය මාරවිල ප්‍රදේශයට අයත් ඒවාය. පොලිසිය ඒ පිළිබඳ අවධානය යොමුකර පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

දැරිය පැහැරගත් කාන්තාව ඊයේ උදේ මාරවිල ප්‍රදේශයේ නිවසකට ගොස් මේ දැරියගේ පයට ගැලපෙන සෙරෙප්පුවක් ඉල්ලා ඇත. එම නිවසේ හිමිකාර තරුණයා කාන්තාව පිළිබඳව සැක සිතී දරුවා කාගේ දැයි ප්‍රශ්න කර තිබේ.

ඒ අවස්ථාවේ ඇය දුන් පිළිතුර ගැන සැක සිතූ තරුණයාට මතකයට පැමිණියේ කැලණි විහාරයේදී අතුරුදන් වූ දැරිය පිළිබඳ මාධ්‍යවලින් කර තිබූ ප්‍රචාරයයි. ඔහුට දැරියගේ රුවද මතකයට නැගුණි.

ඔහු වහාම ත්‍රීරෝද රථයක් ගෙන්වා සැකකාර කාන්තාව සහ දැරිය රැගෙන මාරවිල පොලිසියට ගෙන ගොස් බාරදී ඇත. එතැන් සිට ප්‍රශ්න කිරීමේදී දැරිය පැහැර ගැනීමේ සිද්ධිය අනාවරණය වූ බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පැවසීය.

මේ පැහැර ගැනීම පිටුපස දරුවන් විකිණීමේ දැවැන්ත ජාවාරමක තොරතුරු හෙළිවෙතැයි සැකකෙරේ. දැරිය පැහැරගෙන යන අවස්ථාවේ තිබූූ කොණ්ඩය කොටට කපා ඇයගේ පෙනුම වෙනස් කිරීමටද පැහැරගත් පිරිස උත්සාහ ගෙන තිබුණි.
පොලිස් කණ්ඩායම් කීපයක් ඉදිරි විමර්ශන කටයුතු පුළුල්ව සිදුකරති.

අපි ආයිත් එකතු වුණා

ඡායාරූපය - රංජිත් ජයවීර

සැකකාර කත

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා