ඇමැතිවරයකුට වඩා මාධ්‍ය හිතවතකු ලෙස සුහදව කටයුතු කිරීම මගේ අපේක්ෂාවයි

යුද ජය සමෘද්ධිය කරා මෙහෙයවමු :

ඇමැතිවරයකුට වඩා මාධ්‍ය හිතවතකු ලෙස සුහදව කටයුතු කිරීම මගේ අපේක්ෂාවයි

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ලේක්හවුස් ආයතනයේදී කියයි

 

ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතාජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන නිළධාරි පිරිස පිළිගනිමින්.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී.ගනේගල, මහාභාරකාර යු.එස්.ඒ.එස්.සෙනවිරත්න මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද මෙහි වෙති.

ඡායාරූපය - සුදත් මලවීර

යුදමය වශයෙන් අප ලබාගත් ජයග්‍රහණ මේ රටේ සමෘද්ධිය සහ සංවර්ධනය කරා ගෙන යාම අද දවසේ අපට පැවරෙන වගකීම බව ද ඒ සඳහා සියලු දෙනා කැප විය යුතු බව ද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලේක්හවුස් ආයතනයේදී ඊයේ (11) පැවසුවේ ය.

ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ලේක්හවුස් ආයතනයට ඊයේ (11) පැමිණි අවස්ථාවේදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසී ය.

ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන්, කර්තෘවරුන් සහ සෙසු නිලධාරීන් අමතමින් ආයතනයේ රැස්වීම් ශාලාවේදී පැවැති හමුවේදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ය.

හිතවතකු ලෙස මෙහිදී තවදුරටත් රඹුක්වැල්ල මහතා මෙසේද කීවේ ය.

අද දවසේ මේ ආයතනයට පැමිණ මෙහි සේවක පිරිස් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳ සභාපති බන්ධුල පද්මකුමාර මහතාට ස්තූතිවන්ත වෙනවා. ඇමැතිවරයකුටත් වඩා මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හිතවතකු වශයෙන් ඔබ සමග සුහදව කටයුතු කිරීමටයි මා බලාපොරොත්තු වන්නේ. ප්‍රශ්න පිළිබඳ මහා ගැඹුරින් සාකච්ඡා කොට ඒවා විසඳනවාට වඩා සුහදශීලීව කතා කර ප්‍රශ්න විසඳීම පහසුයි. මා අනුගමනය කරන්නේ දෙවැනි ක්‍රමයයි.

මා මේ තනතුරට පත් වූයේ බොහෝ දෙනෙක් කියූ දේ වලින් කන්දෙක පුරවාගෙනයි. සමහරු අවංකවම මේ ආයතනය දියුණු කිරීමේ පරමාර්ථයෙන් මට කරුණු පවසන්නට ඇති. තවත් සමහරු ද්වේශ සහගතව මා වෙත යම් යම් තොරතුරු පවසන්නට ඇති. කෙසේ වුවද විවෘත මනසකින් යුක්තව මේ තොරතුරු පිළිබඳ අවධානය යොමු කොට මා කටයුතු කරනවා.

යම් ආයතනයක් දියුණු කිරීමේ වැඩි වගකීමක් පැවරෙන්නේ දේශපාලන අධිකාරියටයි. ආයතනයේ පරිපාලන කටයුතු පිළිබඳ යම් යම් තීන්දු ගැනීමේ වගකීම ආයතන පාලනාධිකාරයට තිබුණත් ඕනෑම අහිතකර ක්‍රියාවක් සිදු වූ විට චෝදනා එල්ල වන්නේ ඇමැතිවරයාට යි.

කෙසේ වුවද අප කරන කාර්යය වෙනුවෙන් අවංකවම කැප විය යුතුයි. දශක තුනක් තිස්සේ මේ රටේ පැවැති ත්‍රස්තවාදය නිමා කිරීමට අපට හැකි වුණේ එම අවංක කැප කිරීම සිදු කළ නිසයි. මා ඉතා අවංකවමයි එම කටයුතුවලට දායක වුණේ. අපගේ කාර්යය කෙටි කාලීනව විවේචනයට ලක් වුවත් අද වනවිට හැම දෙනාම අනුමත කරනවා. ඒ කාලයේ වැඩියෙන්ම කාටුන් අඳින්නට ඇත්තේ මා ඉලක්ක කරගෙන විය හැකියි. ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා ජනාධිපතිතුමන් සිදු කළ විශිෂ්ට සේවාවට සුළු හෝ සහයෝගයක් ලබා දීමට හැකිවීම ගැන අවංකවම සතුටු වෙනවා.

යුදමය වශයෙන් අප ලබාගත් ජයග්‍රහණ සමෘද්ධිය සහ සංවර්ධනය කරා ගෙන යාමයි අද දවසේ අපට පැවරෙන වගකීම. ඒ සඳහා අප සැම කැප වෙමු.

දැවැන්ත ආයතනයක්

ලේක්හවුස් ආයතනය මෙරට තිබෙන දැවැන්ත ආයතනයක්. මේ ආයතනය මගින් සිදු කෙරෙන කාර්යය අතිවිශාලයි. මේ ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධන මහතා ද අපි මේ අවස්ථාවේ සිහිපත් කරමු.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපති ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා- කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපගේ හදවත්වලට ඉතා සමීප වූ ඇමැතිවරයෙක්. එතුමා ජනමාධ්‍ය ඇමැති ධූරයට පත්වීම පිළිබඳ අප ඉතා සතුටු වෙනවා. විශේෂයෙන් එතුමන්ගේ පත්වීම පිළිබඳ කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් සතුටු වෙනවා.

සාමාන්‍යයෙන් ලේක්හවුස් ආයතනයට ඇමැතිවරයකු පැමිණෙන විට සේවකයන් නිලධාරීන් එතුමන්ලාව පිළිගැනීමට පොරකනවා. එවිට එතුමන්ට ආයතනය ඇතුළට එන්නත් බාධා වෙනවා. මෙවර ඒ සම්ප්‍රදාය වෙනස් කිරීමට අපට හැකි වුණා. ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරයට නැවත වරක් මා පත් කළ බවට සඳහන් ලිපිය ඇමැතිතුමා විසින් අද මට ලබා දුන්නා. ඒ පිළිබඳව මා ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා.

දීර්ඝ අධ්‍යයනයක්

මීට වසර තුනකට පෙර මා ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරයට පත් වූයේ ඊට පෙර වසර දෙකහමාරක් පමණ කර්තෘ මණඩල අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කර ලැබූ අත්දැකීම් ඇතිවයි. මේ ආයතනය පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර ආරම්භක වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් මීට වසර 3කට පෙර මා වැඩ භාර ගන්නා විට 3200ක පමණ සේවක අතිරික්තයක් තිබුණා. සේවක පිරිස අඩු නොකළහොත් ආයතනය පවත්වාගෙන යෑමට නොහැකි බව අප අවබෝධ කර ගත්තා. වසර 25ක 30 ක කාලයත් තිස්සේ මේ ආයතනයේ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කර තිබුණේ නෑ. අපි ඒ කටයුතු ඇරැඹුවා.

ආදායමෙන් 70%

අපේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 03 ක් පමණ වෙනවා. සේවක සුබසාධනය වෙනුවෙන් ආදායමෙන් 70%ක් පමණ යොදවනවා. වාර්ෂිකව පාරිතෝෂික දීමනා මාසික වැටුප මෙන් 4 1/2ක් ලබා දෙනවා.

මේ ආයතනයට එන විට සේවකයන්ගේ කෑම වේලක් සඳහා අය කළේ රුපියල් 6යි. අපි එක් කෑම වේලක් වෙනුවෙන් සේවකයන්ට රුපියල් 60ක මුදලක් ලබා දී කෑම වේලක මිල රුපියල් 45 දක්වා ඉහළ දැමුවා.

සේවක අතිරික්තය පිළිබඳ අවධානය යොමු කර ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. සේවකයන් 653 දෙනෙක් මේ යටතේ විශ්‍රාම ගියා. අපි මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 518 ක් වැය කළා. මේ ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 460ක ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදලින් රුපියල් මිලියන 428 ක් මේ වනවිට ගෙවා අවසන්.

වාර්ෂිකව ආයතනය රුපියල් මිලියන 240ක ලාභයක් ලබනවා. සේවක වැටුප් සඳහා මාසිකව රුපියල් මිලියන 92ක් වැය වෙනවා. රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 7.5ක්, ජීවන වියදම් දීමනාව සඳහා රුපියල් මිලියන 2.3ක්, අතිකාල දීමනා සඳහා රුපියල් මිලියන 7ක් වැය වෙනවා.

වානිජ්‍ය මුද්‍රණ අංශය සඳහා රුපියල් මිලියන 136ක් වටිනා දැවැන්ත මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමට පසුගිය කාලයේදී අපට හැකි වුණා. මා මේ ආයතනයට එන විට එය යෝජනා වී තිබූ අතර මට එය අවසන් කිරීමට හැකි වුණා. එම මුද්‍රණ යන්ත්‍රය මගින් රුපියල් මිලියන 202 ක ආදායමක් මේ වන විට උපයා තිබෙනවා.

පාසල් පොත් මුද්‍රණය කිරීම වැනි කටයුතුවලටද අප මේ වනවිට අත ගසා තිබෙනවා. අපට ඇමැතිතුමාගේ උදව් උපකාර ලැබුණොත් මේ ව්‍යාපෘතිය තවත් පුළුල් කළ හැකියි.

නවතම තාක්ෂණය

පුවත්පත් මුද්‍රණය කිරීමේ නවතම තාක්ෂණික (ජර්මනියේ භාවිත කරන) ක්‍රමවේදය හඳුන්වා දීමට අපට හැකි වුණා. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 38ක් වැය කර තිබෙනවා. ඔබ්සවර් සහ ඩේලිනිව්ස් පුවත්පත් දැනටමත් මේ තාක්ෂණයට අනුව මුද්‍රණය කෙරෙනවා.

දැන්වීම් අංශය සඳහා ඉන්දියාවෙන් නවතම මෘදුකාංගයක් හඳුන්වා දීමටත් පසුගිය කාලයේදී අපට හැකි වුණා. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 12ක් වැය වෙනවා. දැනට මේ සඳහා රුපියල් මිලියන 04ක් වැය කර තිබෙනවා.

ස්වාධීන අදහස්

ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපි මූලිකත්වය දුන්නේ යුද ජයග්‍රහණ වාර්තා කිරීමටයි. යුද ජයග්‍රහණ අලලා අපි අතිරේක කිහිපයක්ම පළ කළා. එම අතිරේක පළ කළ අවස්ථාවල පුවත්පත් අලෙවිය ලක්ෂය ද ඉක්මවූ බව අපට මතකයි. අපි මේ කවර ආකාරයට අපගේ ජාතික වගකීම ඉටු කළත් අපට නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ රජයේ හොරණෑවක් ලෙස අප කටයුතු කරන බවයි.

අපට රජය වෙනුවෙන් යම් වැඩ කොටසක් සිදු කිරීමට තිබෙනවා. එහෙත් අප ස්වාධීනව අපේ කටයුතු කරගෙන යා යුතුයි. මේ සඳහා දැන් අපට නිදහස ලැබී තිබෙනවා. ආණ්ඩුව මැතිවරණයක් කරන විට ලේක්හවුස් ආයතනයේ අපිත් මැතිවරණ කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. අනෙකුත් හැම මැතිවරණයකදීම අප එලෙසම කටයුතු කළා.

අප ජනාධිපතිවරණය හමුවේ දී කටයුතු කළේ ජනාධිපතිවරයා දිනවීමේ පරමාර්ථයෙන්ම නොවේ එය අපගේ ජාතික යුතුකමක් ලෙස සළකමිනුයි. අපේ කතුවරුන්ගෙන් මේ සඳහා හොඳ සහයෝගයක් ලැබුණා. එය අප අගය කරනවා. අපි ක්‍රියා කළ ආකාරය නිවැරැදි බව අද අපට පේනවා. ජනතාවගේ තීන්දුවෙන් මේ බව තහවුරු වුණා.

දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා- මානුෂීය මෙහෙයුම් සිදු කළ වකවානුවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැවැන්ත කාර්යය භාරයක් ඉටුකළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සිටියදී විවිධ අයගේ ප්‍රහාරයන්ට ලක්වෙමින් සිය වගකීම නිවැරැදිව රට වෙනුවෙන් ඉටු කරන්නට ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමත් වුනා.

මාධ්‍ය සමග සමීප, මාධ්‍යයේ කාර්යය භාරය හොඳින් හඳුනන අයෙක් මාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීම මාධ්‍යවේදීන් ලෙස අප සතුටු වෙනවා. මධ්‍යස්ථ වාර්තාකරණයක නිරතවීම මාධ්‍ය මගින් සිදුවිය යුතුය.

එබැවින් මධ්‍යස්ථ වාර්තාකරණයක නිරත වීම සඳහා අවශ්‍ය සහය සහ අප දේශපාලන රැකවරණය අපගේ පුවත්පත් වෙත ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

සභාපතිතුමාගේ මෙහෙවර

ඒ වගේම අපගේ වත්මන් සභාපතිවරයා සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතු ය. එතුමා ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වී වසර තුනක් ගතවෙනවා. ඒ කාල සීමාවේදී එතුමා අප ආයතනය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අති විශාලයි.

අප ආයතනය වෙනුවෙන් තවදුරටත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බව අපට විශ්වාසයි. තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, මහත්ම මහත්මීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා