මුද්‍රණය සඳහා

 
නිවැරදි යහපත් අදහස් රටට ලබා දෙන උල්පතක් ලෙස ලේක්හවුස් පෙරමුණේ සිටිනවා

නිවැරදි යහපත් අදහස් රටට ලබා දෙන උල්පතක් ලෙස ලේක්හවුස් පෙරමුණේ සිටිනවා

අමරපුර සංඝසභාවේ සභාපති කොටුගොඩ ධම්මාවාස නාහිමි

රටතුළ සදාචාරය, සාමය ස්ථාපිත වීමෙන් සමෘද්ධිය ඇතිවන බවත්, ඒ සඳහා නිවැරදි යහපත් අදහස් රටට ලබාදෙන උල්පතක් ලෙස ලේක්හවුස් ආයතනය පෙරමුණ ගෙන සිටින බවත් ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මවාස නාහිමියෝ පැවැසූහ.

ජනතාවට නිවැරදි අදහස් හා තොරතුරු ලබාදීමේදී නව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත්, ලේක්හවුස් ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාටත් ඉතා විශාල වගකීමක් පැවැරෙන බවද ධම්මාවාස හිමියෝ අවධාරණය කළහ.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නව සභාපතිවරයා ලෙස ඊයේ (11) උදෑසන සුබමොහොතින් වැඩ භාරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා වෙත අනුශාසනා කරමින් ධම්මාවාස හිමියෝ එම අදහස් පළ කළහ.

ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ඊයේ (11) උදෑසන සුබ මොහොතින් වැඩ භාරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාට මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා ආශිර්වාදය මධ්‍යයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝ පාධ්‍ය කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් පිරිත් නූල් ගැටගැසූ අවස්ථාව. මහාභාරකාර යු.එස්.ඒ.එස්.සෙනවිරත්න ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක මහතාද මෙහි වෙයි.
සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ

සදාචාරය

ධම්මාවාස හිමියෝ මෙසේ ද පැවැසූහ. රටක් නංවාලීමට නම් පළමුව තිබිය යුත්තේ සදාචාරයයි. එසේ නොවුණු තැන එකිනෙකා අතර ගැටීම් වාද විවාද ඇතිවනවා. ඔවුනොවුන් ප්‍රියකරන, සාමකාමී බවක් රජයන සමාජයක් වේ නම් රටේ සමෘද්ධිය ඉතා ඉක්මනින් ලඟාවනවා.

ශතවර්ෂයකට වැඩි කාලයක් ජනතාවට නිවැරදි අදහස් ලබාදුන් ලේක්හවුස් ආයතනය තව තවත් දියුණු කිරීමට වත්මන් තොරතුරු හා ජනමාධ්‍ය ඇමැතිවරයාටත්, ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයාටත් විශාල කාර්යභාරයක් පැවැරී තිබෙනවා.

රටේ සාමයට බලපෑම් කරන විසම අදහස් කිසිවිටෙකත් ජනතාවට නොදිය යුතුය. එසේ වුවහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට තුළ ඇතිකිරීමට යන සංවර්ධන ක්‍රියාවලියට බාධා ඇතිවෙනවා.

අනඟි මෙහෙවර

ශ්‍රී ලංකාව පිළිබඳ පසුගිය කාලයේ දී විවිධ තොරතුරු ලෝකයේ ජනතාව අතරට ගලා ගියා. බොහෝවිට ජාත්‍යන්තරයට ගිය වැරදි තොරතුරු ඬවැරදි කරන්නට, සත්‍ය ලෝකයේ ජනතාව අතරට ගෙන යන්නට තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළ මෙහෙය අප අගය කළයුතුයි. බිහිසුණු ත්‍රස්තවාදය පැවැති ඒ කාලයේ අභීතව අදහස් පළකර අපේ ජනතාවට පණ ලබාදුන්නේ ඒ මහතායි.

ඒ නිවැරදි අදහස් රටටම බෙදා දී ලේක්හවුස් ආයතනයත් විශාල සේවයක් කළා. මෙසේ නිවැරදි අදහස් බාලපරපුරට ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්. බටහිර ලෝකයේ රටවල් මෙන් ම අපට ආසන්නම ඉන්දියාව පවා අපේ රට තුළ පැවති ත්‍රස්තවාදය ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය ලෙස හැදින්වූවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොබියව ඉදිරිපත්වී බාධක හමුවේ ඒ බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කිරීම අප ලද විජයග්‍රහණයක්.

සංඝයා වහන්සේලා ලෙස පසුගිය කාලයේ අප විසින් ද බෝධි පූජාවන්, බුද්ධ පූජාවන්, සෙත් පිරිත් සජ්ඣායනාවන් තුළිනුත්, දේවපූජාවන් තුළින් අපේ වීරෝදාර රණවිරුවන්ට සෙත්පතමින් ඔවුනට ශක්තිය ධෛර්යය ලබාදුන්නා. අපේ හමුදාව මානසික වශයෙන් ශක්තිමත් කළා. එහි ප්‍රතිඵලය ලෙස අද අප ලබා තිබෙන සැනසිල්ල හඳුන්වන්න පුළුවන්.

වගකීම

යුද්ධය මෙතැනින් හමාරයැයි අපට නවතින්නට බැහැ. බටහිර ලෝකයේ ඇතැම් රටවල විවිධ පුද්ගලයින් මුදල් එකතුකරමින්, විදේශ බලවතුන් සමග එකතුවී මේ රට විනාශ කරන බලවේග ගොඩනගමින් සිටිනවා. අපේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනාගේ වගකීම මේ බලවේගයන්ගෙන් අප රට ගලවාගෙන ලෝකයට නිවැරදි තොරතුරු ලබාදීමයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර හිමිපාණන් ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස යළිත් පත්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා, ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධන මහතා ගිය ගමන් මග යමින්, ඒ අදහස් ගරු කරමින් මෙම ආයතනය ඉදිරියට ගෙන යනවා.

නූතන තාක්ෂණය ඔස්සේ ආයතනය මෙහෙයවමින්, ආගමික වශයෙන්ද යහපත් පසුබිමක් ඇතිකර සේවක සුබසාධනයද ඇති කරමින් බන්දුල පද්මකුමාර මහතා ලේක්හවුස් ආයතනය නිවැරදි මාවතක් ඔස්සේ මෙහෙයවන බව පැවැසිය හැකිය.

ගැටලු

ජනමාධ්‍යකරුවන් නිරතුරුව ඇසුරු කරන මට ඔවුන්ගේ ගැටලු පිළිබඳව බොහෝ විටදී අසන්නට ලැබෙනවා. සමාජය දෙස අවදියෙන් බලා සිටින සමාජයට නිවැරදි කරුණු ප්‍රකාශ කරන ජනමාධ්‍යකරුවන්ගේ මේ ගැටලු දෙස අවබෝධයෙන් බැලීමට වත්මන් ජනමාධ්‍ය ඇමැතිවරයාටත් ලේක්හවුස් නව සභාපතිවරයාටත් හැකි බව මගේ අදහසයි. නව තාක්ෂණය ඔස්සේ ආයතනය මෙහෙයවමින් මේ රටේ ජනතාවට තොරතුරු හා දැනුම නිවැරදිව ලබාදෙන ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනය තුළ කටයුතු මෙහෙයවීමට බන්දුල පද්මකුමාර සභාපතිතුමාහට හැකිවේවායි සංඝරත්නයේ ආශිර්වාදය හිමිවනවා.

ලේක්හවුස් ආයතනයේ නව සභාතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා වැඩභාර ගැනීමේ අවස්ථාවට රඹුකන සිද්ධාර්ථ හිමි සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල, පාර්ලිමේන්තු මන්ත්‍රිනී කමලා රණතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය ආරියරත්න ඇතුගල, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක ලේක්හවුස් ආයතනයේ ලේකම් කුමුදු ගුණවර්ධන, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, මහත්ම මහත්මීහු ප්‍රමුඛ පුවත්පත් කර්තෘවරුන් සහ අංශ ප්‍රධානීහු රැසක් ද සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]