සෑම සංවර්ධන ව්‍යාපෘතියකම ඉලක්කය රටේ අවශ්‍යතාවන්ට සරිලන සේ සකස් විය යුතුයි

සෑම සංවර්ධන ව්‍යාපෘතියකම ඉලක්කය රටේ
අවශ්‍යතාවන්ට සරිලන සේ සකස් විය යුතුයි

ජනපති අවධාරණය කරයි

රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්ක රටේ අවශ්‍යතාවන්ට සරිලන සේ සකස් විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. රජය ක්‍රියාවට නංවන සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සුබවාදී අයුරින් ජනතාව වෙත ලබාදීමට නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් පාලනය පිළිබඳ ඇමැති අනුකාරක සභාව ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (10) රැස් වූ අවස්ථාවේදීය. නව ඇමැති මණ්ඩලය හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමෙන් පසු ප්‍රථම වතාවට රැස් වූ කමිටුව මීට පෙර කමිටු රැස්වීම්වල ප්‍රගතිය හා තීරණ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙළේය.

දැනට වෙළෙඳපොළ පවතින තත්ත්වයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කුකුළු මස් මිල අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාව පිළිබඳවත් අවධානය යොමු විය.

පාරිභෝගික ප්‍රජාව වෙත සාධාරණ මිලකට කුකුළු මස් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් තවදුරටත් මිල ඉහළ ගියහොත් කුකුළු මස් ආනයනය කිරීමටත් අවධානය යොමු කෙරිණි. ධීවර නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම අවශ්‍ය ශීතාගාර පහසුකම් අවශ්‍ය පරිදි ස්ථානගත කිරීම පිළිබඳවත් කමිටුවේ අවධානය යොමු විණි.

ගොවීන් වෙත ගුණාත්මක භාවයෙන් ඉහළ බීජ වර්ග නොලැබීමේ ගැටලුවක් පවතින බවත් අස්වැන්න ලැබීමේදී ඉලක්ක සපුරා ගැනීමට ගුණාත්මක භාවයෙන් යුත් බීජ ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල පර්යේෂණ කෘෂි ක්ෂේත්‍රයේ උන්නතියට යොදා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, දොස්තර රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද සමරසිංහ, ආරුමුගම් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු පිිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා