ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමට රවී අනුබල දීලා

රවි කරුණානායක ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව බැංකු ගිණුමක
මුදල් තැන්පත් කිරීමට රවී අනුබල දීලා

”සියෙරා” ගිණුමක තැන්පත් කළ යුතු මුදලක් වෙනත් ගිණුමක තැන්පත් කිරීම විනිමය නීතිය යටතේ වරදක් බවත්, නෙක්සියා සමාගමට විදේශීය ආයෝජකයින්ගේ මුදල් ලැබීමට පෙර රවි කරුණානායක මහතාගේ උපදෙස් මත දෙවැනි විත්තිකරු වන ලින්කන් පියසේන කාලීන තැන්පත් ගිණුමක් ආරම්භ කිරීමට උනන්දු වී ඇති බවත් නියෝජ්‍ය විනිමය පාලක සිසිර කුමාර පෙරේරා මහතා කොළඹ මහාධිකරණයේ සාක්කි දෙමින් ඊයේ (11) පැවැසීය.

විනිමය පාලන ආඥා පනත යටතේ ඇ. ඩො. මිලියන 3 කට අදාළව සිදුකළ වරදක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු තිදෙනෙක්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඒ මහතා එසේ කීය.

කොළඹ මහාධිකරණ විනිසුරු දිපාලි විජේසුන්දර මහත්මිය හමුවේ නඩුව විභාගයට ගැනේ. සීමාසහිත නෙක්සියා කෝපරේටඩ් කන්සල්ටන්ස් පුද්ගලික සමාගම සහ ලින්කන් පියසේන අනෙක් විත්තිකරුවෝ වෙති.

2006 දෙසැම්බර් 22 ගැලියන් ඉන්ටර්නැෂනල් මාස්ටර්ෆන්ඩ් ආයතනය විසින් මෙරටට එවන ලද ඇ. ඩො. මිලියන 2 ක් සහ රාජ් රාජරත්නම් විසින් එවන ලද ඇ. ඩො. මිලියනයක් ශශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව බැංකු ගිණුමක තැන්පත් කළේ යැයි විත්තිකරු සමාගම ද ඊට ආධාර අනුබල දුන්නේ යැයි රවි කරුණානායක මහතා ද අධිචෝදනා ලැබ සිටියි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම මත සාක්කි දෙමින් සාක්කිකරු මෙසේ ද කීය. රටක විදේශ විනිමය ආයෝජන වන විට ඒවා කුමන ආකාරයකින් එනවාද, සේම ඒවා ඉවත් කර ගන්නා විටත් එය සිදුවන ආකාරයත් සුපරීක්‍ෂාකාරී වීම වැදගත්. විදේශ විනිමය සියෙරා ගිණුමකින් බැහැරව තැන්පත් වූ අවස්ථාවක මහ බැංකුවේ විශ්ලේෂණයට අයත් වන්නේ නැහැ.

සියෙරා ගිණුමක තැන්පත් කළ යුතු මුදලක් වෙනත් ගිණුමක තැන්පත් කිරීම විනිමය නීතිය උල්ලංඝනය කිරීමකි. මා විසින් කළ විමර්ශනයේදී යූනියන් බැංකුවේ ;කාටස් මිලදී ගැනීමට මෙම නඩුවට අදාළ මුදල ගෙන්වා ගෙන තිබුණු බව පෙනී ගියා. බැංකුවක කොටස් සියයට දහයකට වඩා මිලදී ගැනීමට ශශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය අවශ්‍යයි. මෙය දේශීය සහ විදේශීය ආයෝජකයින්ට වලංගු වෙනවා. මහ බැංකුවේ අවසරය ලිඛිතව ලබාගත යුතුයි.

ඩොලර් මිලියනයක් සහ ඩොලර් මිලියන දෙකක් යූනියන් බැංකුවේ කොටස් මිලදී ගැනීම සඳහා යෙදවීම පිළිබඳව මා විමර්ශනය කළා. ගැලියන් ඉන්ටර්නැෂනල් සහ රාජ් රාජරත්නම් එම මුදල් මෙරටට එවා තිබෙනවා. රාජරත්නම් මහතා 2002 සිටත් ගැලියන් සමාගම 2004 වසරේ සිටත් සියෙරා ගිණුම් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පළමු විත්තිකරු වන නෙක්සියා සමාගමට මුදල් ලැබීමට පෙර එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය කාලීන තැන්පත් ගිණුමක් ආරම්භ කිරීමට යෝජනා සම්මත කර තිබෙනවා. දෙවැනි විත්තිකරු ලින්කන් පියසේන එම ගිණුම ආරම්භ කිරීමට උනන්දු වී ඇති බවත්, එසේ සිදු කර ඇත්තේ රවි කරුණානායක මහතාගේ උපදෙස් මතයි.

පියසේන මහතා වී. ආර්. ඩී. සිල්වා සමාගමේ හවුල්කරුවෙක් වන අතර කරුණානායක මහතා එහි ගණකාධිකාරි උපදේශකවරයෙක් වන අතර නෙක්සියා සමාගම එම සමාගමේ උප සමාගමක්. යූනියන් බැංකුවේ කොටස් මිලදී ගැනීමට සහ එහි බලය ලබාගැනීමට කරුණානායක මහතා යෙදී සිටින බවත්, රාජරත්නම් ප්‍රමුඛ මණ්ඩලයක් විසින් මුදල් ආයෝජනය කරන බවත්, ස්වාධීන මණ්ඩලයක් මගින් පවත්වාගෙන යන ගිණුමක් අවශ්‍ය බවත් නෙක්සියා සමාගම එම ගිණුම ආරම්භ කළ බවත් දැන ගත්තා. කරුණානායක මහතාගේ උපදෙස් මත නෙක්සියා සමාගම විශේෂිත ගිණුමක් විවෘත කර තිබෙනවා.

විමර්ශණයේදී මුදල් ලැබීම පිළිබඳව සැකයක් මතු වුණා. මුදල් එවූ පුද්ගලයා හරිහැටි නොදන්නා බවත්, මුදල් යෙදවිය යුතු ආකාරය පිළිබඳව හරියාකාරව විස්තර ලබා දී නොමැති බවත් ලින්කන් පියසේන මහතා පැවසුවා.

එම මුදල් ආපසු ලබාගෙන සියෙරා ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාවක් මුදල් එවූ තැනැත්තාට තිබුණා. සියෙරා ගිණුම ආරම්භ කර පවත්වාගෙන යා යුත්තේ මුදල් එවූ තැනැත්තා විසින්මයි. ඒ අනුව කටයුතු කළ යුතු වන්නේ රාජරත්නම් හෝ ගැලියන් සමාගමයි. එම සාක්කිකරුගේත් පැමිණිල්ලේ සාක්කි මෙහෙයවීම අවසන් වූ අතර විත්තියේ හරස් ප්‍රශ්න සඳහා නඩුව අදට (12) කල් තැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා