වෙරළතීරයේ අනවසර ඉදිකිරීම් ඉවතට

වෙරළතීරයේ අනවසර ඉදිකිරීම් ඉවතට

වෙරළතීරය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් වෙරළ ආසන්නයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම කඩිනමින් ආරම්භ කරන බව වරාය හා ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශයට අලුතින් එක්වූ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව වෙරළතීරයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ.

වෙරළ සංරක්‍ෂණ පනතට අනුව සහ සුනාමි ව්‍යසනයෙන් පසුව වෙරළේ සිට ඉදිකිරීම් සඳහා නියමිත දුර ප්‍රමාණයන්ට වලංගු නොවන සියලු ඉදිකිරීම්ද ඉවත් කෙරේ.

රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් සපයන සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත්, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගන්නා ලංකාවේ දර්ශනීය මුහුදුතීරය ආරක්‍ෂා කර ගැනීම අරමුණු කරගෙන මෙම පියවර ගන්නා බවද ඒ මහතා කීය. නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළකළේ, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා