ජනතාවගේ ආදායම් නංවමින් රට ඉදිරියට ගෙන යෑමට නීරෝගී පරපුරක් ඕනෑ

ජනතාවගේ ආදායම් නංවමින් රට ඉදිරියට ගෙන යෑමට නීරෝගී පරපුරක් ඕනෑ

- ජනාධිපති

ජනතාවගේ ආදායම් වර්ධනය කරමින් රට ඉදිරියට ගෙනයාමට නම් නීරෝගී පරපුරක් අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ගමෙන් නගරයට එන ජන සංඛ්‍යාව අඩු කර ගත හැකි නම් වඩා නීරෝගී පරපුරක් බිහිකර ගැනීමේ හැකියාවක් ඇති බව කී ජනාධිපතිවරයා රජය ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද කීවේ ය.

ජනතාව ගමේ රඳවා ගැනීම සඳහා රජය පසුගිය කාලය තුළ ගමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගත් බව පැවැසූ ජනාධිපතිවරයා පසුගිය වසර හතර තුළ රජය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් වන්නේ ගමේ යටිතල පහසුකම් කැපී පෙනෙන අයුරින් සංවර්ධනය කිරීමට හැකිවීම යැයි ද කීවේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවැත් වූ සැමරුම් උළෙලකට සහභාගී වෙමිනි.

නීරෝගී පරපුරක අවශ්‍යතාව රජය මැනවින් තේරුම් ගෙන තිබෙන බව පැවැසූ ජනාධිපතිවරයා රජය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් කීවේය.

මිනිසුන් ගමෙන් නගරයට ඇදී ඒම නිසා විවිධ සෞඛ්‍යමය ගැටලු හට ගෙන තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුඩා දරුවන්ට පවා දියවැඩියාව, හෘද රෝග, මන්දපෝෂණය ඇති වන්නට මෙය හේතුවක් වී ඇතැයි ද කීවේය.

ජය මීට පිළියම් ලෙස රෝහල් නවීකරණයට පියවර ගෙන ඇති බවත් ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ප්‍රමුඛ මට්ටමෙහිලා සැළකිය හැකි නවීන උපකරණවලින් සමන්විත ඒකක දිවයින පුරා ස්ථාපිත කර ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙහි දී අදහස් දැක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා