පාදුක්කේ නිවුන් දරුවෝ රජයේ භාරයට

පාදුක්කේ නිවුන් දරුවෝ රජයේ භාරයට

නිසි පෝෂණය හා රැකවරණය අහිමි වූ පාදුක්ක ප්‍රදේශයේ නිවුන් දරුවන් පිරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් පාණදුර ප්‍රජාපතී රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

වයස අවුරුදු 3 1/2 ක්වන ගැහැණු හා පිරිමි දරුවන් වශයෙන් වූ මෙම නිවුන් දරුවන් දෙදෙනාගේ පියා ඔවුන් විකුණන්නට සූදානම් වූ අවස්ථාවකදී දරුවන්ගේ මව එයට විරුද්ධ වී ඇති අතර එයින් පසුව පියා ඇය හැර ගොස් තිබේ.

තමන් පදිංචිව සිටි නිවසේ කුලී ගෙවා ගැනීමට නොහැකිවීම නිසා නිවසින්ද පිටමං වීමට සිදු වූ ඇයට සිය දරුවන් පෝෂණය කිරීම සඳහා ස්ථිර ආදායම් මාර්ගයක්ද නොවූ බැවින් මෙම දරුවන් හදාවඩා ගැනීමට මඟක් සොයනු පිණිස පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත් ඉදිරිපත් කර ඇත.

දරුවනට හදිසි රැකවරණ සැපයීම යටතේ මෙම දරුවන් ප්‍රජාපතී රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානයට යොමුකළ අතර පසුව ඔවුන් සම්බන්ධව අධිකරණ නීති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන බව පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස් සරත් අබයගුණවර්ධන මහතා ‘දිනමිණ’ ට කීය.

දරුවන් මරා දැමීම, ගංඟාවලට දමා ජීවිතක්ෂයට පත් කිරීම මුදලට විකිණීම, සිඟමනේ යෙදවීම වැනි ක්‍රියා නොකොට තමනට පෝෂණය ලබාදීමට නොහැකි නම් මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කිරීමට කිසිඳු බාධාවක් නැතැයි ද අභයගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ ය.

එවන් දරුවන් පරිවාස කාර්යාලවලට යොමු කරන්නේ නම් ඔවුන්ව භාර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා තමන්ව විමසන ලෙසත් කොමසාරිස්වරයා පළාත් පරිවාස නිලධාරින්ට දන්වා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා