මුල්ම රණවිරු කොඩිය ජනපතිට පළදවයි

මුල්ම රණවිරු කොඩිය ජනපතිට පළදවයි

ජාතික රණවිරු සතිය ආරම්භ කරමින් මුල්ම රණවිරු කොඩිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අරලියගහ මන්දිරයේදී ඊයේ (11) සිදුකැරිණි.

මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් සැරයන් චන්ද්‍රසිරි රණවිරුවාගේ පුතනුවන් වන වරුණ රශ්මින්ද අතින් මුල්ම කොඩිය ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.

මාතෘ භූමියේ ඒකීයභාවය, ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම හා ඔවුනට ගෞරව කිරීම නිමිත්තෙන් ඊයේ (11) සිට රණවිරු සතිය ප්‍රකාශයට පත්කළ අතර ජාතික රණවිරු දිනය මේ මස (18) දාට යෙදී තිබේ.

රණවිරු කොඩි අලෙවියෙන් ලැබෙන මුදල් ආධාර රණවිරු සුබසාධනය සඳහා යෙදවෙන අතර, පළාත් මට්ටමින් අලෙවි කිරීම සඳහා රණවිරු කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද මුදල් රණවිරු සේවා අධිකාරිය වෙත ලබාදීම සඳහා ජනාධිපතිතුමා වෙත භාර දීම ද පළාත් ආණ්ඩුකාරවරු අතින් සිදුවිය.

ඡාතික රණවිරු සතිය නිමිති කර ගනිමින් රණවිරුවන් වෙත උපහාර පිදීමේ උත්සව ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් මේ සතිය තුළ පැවැත්වෙන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අවස්ථාවට ආණ්ඩුකාරවරුන් වන සී. නන්ද මැතිව්, ටිකිරි කොබ්බෑකඩුව, අලෙවි මව්ලානා, කුමාරි බාලසූරිය, මොහාන් විජේවික්‍රම, කරුණාරත්න දිවුල්ගනේ, තිස්ස බලල්ල, ජී. ඒ. චන්ද්‍රසිරි, වි. ජ. මු. ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම යන මහත්ම මහත්මීන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, පොලිස්පති මහින්ද බාලසූරිය යන මහත්වරුන් ද සහභාගි වී සිටියහ.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා