මුද්‍රණය සඳහා

 
එජාප මන්ත්‍රීන් සිරිකොතට කැඳෙව්වත් විසඳුමක් නෑ

මධ්‍යම පළාත් සභා විපක්ෂ නායක ධුරය :

එජාප මන්ත්‍රීන් සිරිකොතට කැඳෙව්වත් විසඳුමක් නෑ

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක තනතුරට කේ. කේ. පියදාස මහතා පත් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍ර‍්‍රමසිංහ මහතා ගෙන ඇති තනි තීරණයක් හේතුවෙන් මතුවී ඇති ගැටලු සහගත තත්ත්වය විසඳීම සඳහා එම පළාත් සභාවේ එ. ජා. ප. මන්ත්‍රී කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා පෙරේදා (10) පැවැත්වූ සාකච්ඡාව කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

එ. ජා. ප. නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතාගේ සහ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා ඇති අතර එම පළාත් සභාව නියෝ්ජනය කරන එ. ජා. ප. මන්ත්‍රීවරු සියලු දෙනාම සහභාගී වූහ.

හිටපු විපක්ෂ නායක වසන්ත අළුවිහාරේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමෙන් පසු පුරප්පාඩු වූ විපක්ෂනායක තනතුරට මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියකින් හෝ කිසිදු විමසීමකින් තොරව එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකව කේ. කේ. පියදාස මහතා පත් කිරීම සම්බන්ධ පවතින තම විරෝධය කවර තත්ත්වයකින් හෝ වෙනස් නොවන බව එහිදී මන්ත්‍රී කණ්ඩායම පක්ෂයේ නියෝජ්‍ය නායකයාට සහ මහ ලේකම් වරයාට තරයේ අවධාරණය කොටඇතැයි ද සිරිකොත ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ දින වල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින බැවින් මෙම ඉල්ලීම පිළිබඳව කරු ජයසුරිය මහතාට හෝ තිස්ස අත්තනායක මහතාට හෝ සෘජු තීන්දුවක් ගත නොහැකි බැවින් සාකච්ඡාව එකඟත්වයක් නොමැතිව අවසන් කිරීමට සිදුවී තිබේ.
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]