‘හලාවත’ නම වැරැදී ‘හලාබ’ ට සවිකළ ආරුක්කු පාලම

 ‘හලාවත’ නම වැරැදී ‘හලාබ’ ට සවිකළ ආරුක්කු පාලම

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යා කරමින් ඌවපරණගම ‘හලාබ’ ප්‍රදේශයේ උමා ඔය හරහා ඉදිකර ඇති ‘හලාබ’ පාලම එදා ඉංගී‍්‍රසි පාලන සමයේ සිදු කළ අපූරු නිර්මාණයකි.

දුම්රිය මාර්ග සඳහා ඉදිකරනු ලබන පාලමක් ලෙසින් මුළුමනින්ම යකඩ යොදා ආරුක්කු සහිතව ඉදිකර ඇති මේ පාලමේ පාදම සඳහා සිල්පර කදන් යොදා ඇත.

දිගින් අඩි 327 වන මෙය අඩි 124 බැගින් වූ කොටස් තුනකින් නිමකර ඇත. මුල් හා අග කොටස් දෙකෙහි පළල අඩි 10 වන අතර මැද කොටසේ පළල අඩි 8 කි.

1919 අගෝස්තු මස රජයේ කර්මාන්ත ශාලාව විසින් මේ පාලම ඉදි කළ බවට එම පාලමේ ඉහළ ආරුක්කුවේ සවිකර ඇති කුඩා පුවරුවක ඉංගී‍්‍රසියෙන් සඳහන් කර ඇත.

ඌමාඔයේ ඉතා ගැඹුරු හා පළලින් වැඩි ස්ථානයක් මේ පාලම ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත. මේ ස්ථානයේ ගඟේ පළල අඩි 300 පමණ වන අතර ගඟේ ගැඹුර අඩි 25 – 40 පමණ වන අතර පාලමේ උස අඩි 100 පමණ වේ.

ඌවපරණගම තුප්පිටිය ග්‍රාම නිලධාරී වසමේ කෙළවර පිහිටා ඇති මේ පාලමේ එක් කෙළවරක් ඌවපරණගමට අයත් වන අතර අනික් කෙළවර හාලිඇලට අයත් වේ.

තුප්පිටිය ඇල්ලෙගම ගෙදර අරාව පදිංචිකරුවෙකු වන ඊ. ජී. ආරියපාල මහතා - මේ පාලම පිළිබඳ මෙසේ විස්තර කෙළේය. ‘හලාවතට’ ගෙන ගොස් සවි කිරීමට නියමිතව තිබූ මේ පාලම වැරදීමකින් ‘හලාබ’ ට රැගෙන විත් සවිකළ බව අපේ ආත මුත්තලා කියලා තියනවා. කිසිදු පාරකට සම්බන්ධ නැතිව මේ පාලම විතරක් මෙතන හැදීම පිළිබඳ අපටත් හරි පුදුමයි.

දෙපැත්තෙන්ම තියෙන්නෙ පොඩි අඩි පාරවල් දෙකක්. කොහොම වුනත් මේක හරි අපූරු නිර්මාණයක් එදා 1919 ඉංගී‍්‍රසි පාලන කාලයේ තමයි මේක හදලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම යකඩ එක පීල්ලක් ටොන් ගානක් බර ඇති. පාලමේ පාදමට දාල තියන සිල්පර කඳන් දැන් දිරාපත්වෙමින් පවතිනවා.

පාලම යට වළ අඩි 40 විතර ගැඹුරුයි. පාලමේ උස අඩි 100 වැඩියි. තවද අපි එදා ඉඳන් අද දක්වා ඉල්ලා සිටින්නෙ මේ වටිනා වස්තුව විනාශ වෙන්ඩ ඉඩ තියන්නෙ නැතිව මේත අලුත්වැඩියා කරලා මේ අබලන් පුංචි පාර වාහනයක් යන්ඩ පුළුවන් විදියට හදලා දෙන්ඩ කියලා යනුවෙන් ඔහු කීය.

ඌමා ඔයේ පහළ සිට බලන විට අඩි 100 පමණ
උසින් ඉදිකර ඇති ‘හලාබ’ පාලම දිස්වන අයුරු.

එදා ඉංගී‍්‍රසි පාලන සමයේ බදුලු දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විශ්මිත නිර්මාණ අතර බෝගොඩ පාලම, (මෙය තනිකරම දැවයෙන් නිර්මාණය කර ඇත) දෙමෝදර ආරුක්කු 9 වලාකුල් පාලම, මෙන්ම අතිශය වැදගත් කමකින් යුත් හලාබ යකඩ පාලමත් සංරක්ෂණය කළ යුතු අගනා අපූරු නිර්මාණයකි.

වැලිමඩ – ඌවපරණගම මස්පන්න මාර්ගයේ කි. මී. 20 පැමිණ බඹරපාන හන්දියෙන් හැරී මහකුඹුර මාර්ගයේ කි. මී. 7 ගිය විට තවත් අති දුෂ්කරවූ කි. මී. 3 පමණ මාර්ගයේ පැමිණි විට මේ ‘හලාබ’ පාලම දැකිය හැකිය.

හාලිඇල පැත්තෙන් කැටවෙල හන්දියට පැමිණ ‘දීගල්ල හරහා පැරැණි රජ මාවතේ පැමිණ ඉන්පසු ඇති කුඩා අතුරු මාර්ගයේ පැමිණීමෙන් මේ ‘හලාබ’ පාලමට ළඟා විය හැකිය.

මේ පාලම දෙපස කුඩා අතුරු මාර්ග හැරුණු විට ප්‍රධාන පාරක් නොමැත. එසේ ප්‍රධාන මාර්ගයකට සම්බන්ධයක් නොමැතිව මේ පාලම මේ ස්ථානයේ ඉදිකරන ලද්දේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රහේළිකාවකි.

තවද කිසිදු මාර්ග හෝ වෙනත් පහසුකම් නොතිබුණු අවධියක මේ පාලම ඉදිකිරීම සඳහා මේ විශාල ටොන් දහස් ගණන් බර විශාල යකඩ පීලි කොන්ක්‍රීට් ගල් හා විශාල සිල්පර කොටන් මේ ස්ථානයට රැගෙන ආවේ කෙසේද යන්න විශාල ගැටලුවකි.

මේ පාලම හැදීම සඳහා එදා අපේ පැරණි මුතුන් මිත්තන් ඔවුන්ගේ ලේ දහඩිය කොපමණ හලා ඇද්ද කී දෙනෙක් තම ජීවිත පරිත්‍යාග කර ඇද්ද යන්න මේ නිර්මාණය දෙස බැලීමේ දී සිතා ගත හැකිය.

මෙවන් වටිනා අලංකාර මේ පාලම මෙසේ විනාශ මුඛයට යා නොදී රැකගෙන එය අපේ අනාගත පරපුරට දැක බලා ගැනීමට හා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසා දීම ජාතික යුතුකමකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා