මුද්‍රණය සඳහා

 
එංගලන්තය හා පාකිස්තානය අවසන් පූර්ව වටයට

එංගලන්තය හා පාකිස්තානය අවසන් පූර්ව වටයට

3 වැනි විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එංගලන්තය හා පාකිස්තානය පිවිසියහ. සාන්ත ලුසියා හි බෙවුස්ජෝ ක්‍රිකට් පිටියේ පෙරේදා පැවැති “සුපිරි අට” වටයේ ‘ඊ’ කොටසේ තරගවලදී එංගලන්තය කඩුලු 3 කින් නවසිලන්තය පරාජය කළ අතර පාකිස්තානය ලකුණු 11 කින් දකුණු අපි‍්‍රකාව පැරදවීය.

”සුපිරි අට” වටයේ පාකිස්තානය ලත් ප්‍රථම ජයග්‍රහණය මෙය විය. එහෙත් ඔවුනට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඊළඟ තරගයේදී එංගලන්තය විසින් නවසිලන්තය පරාජය කළ යුතුව තිබිණි.

ඔයින් මෝගන්

නවසිලන්තය කඩුලු 6 කට ලකුණු 149 ක තරගකාරී මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කළද එංගලන්තය කඩුලු 7 කට ලකුණු 153 ක් ලබා ගෙන තවත් පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තේය.

තරගයේ වීරයා වූ ටිම් බ්‍රෙස්නන් ජයග්‍රාහී හතරේ පහර එල්ල කළේය. ඔහු පන්දු 11 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 23 ක් වාර්තා කළේය. ඊට පෙර ඉයොයින් මෝගන් හතරේ පහර 4 ක් හා හයේ පහරක් සමග පන්දු 34 කින් ලකුණු 40 ක් රැස්කරමින් එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් විය.

බ්‍රෙස්නන් පන්දු යැවීමෙන් ද දස්කම් දක්වමින් නවසිලන්ත ඉනිමේ 5 වැනි ඕවරයේදී ආරම්භක පිතිකරු ජෙසී රයිඩර් (9) දවාලුවේය.

නවසිලන්ත ඉනිම ප්‍රාණවත් වූයේ රොස් ටේලර් හා ස්කොට් ස්ටයිරිස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 6.5 කදී වාර්තා කළ ලකුණු 62 ක සබඳතාවයෙනි. ටේලර් ඔහුගේ පිලේ වැඩිම ලකුණු වාර්තා කරමින් හයේ පහර 2 ක් සමග පන්දු 33 කින් ලකුණු 44 ක් රැස් කළේය.

පළපුරුදු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ස්ටයිරිස් හතරේ පහර 3 ක් හා හයේ පහරක් සමග පන්දු 19 කින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත් විය.

මේ දෙදෙන පිටියේ එක්වූයේ පිට දඟ පන්දු යවන ග්‍රැහැම් ස්වෝන් විසින් ඒරත් රෙඩ්මන්ඩ් (16) හා ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් (33) ලකුණු හයක් ඇතුළත දවාලමින් 11 වැනි ඕවරයේ නවසිලන්ත ඉනිම කඩුලු 3 කට ලකුණු 65 ක්ව තිබියදීය.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාම එංගලන්තය ආරම්භ කළේ ආක්‍රමණශීලී පිතිකරු ක්‍රෙග් කීස්වෙටර් (15) පිට දඟ පන්දු යවන නේදන් මැකලම්ට හතරේ හා හයේ පහරක් එල්ල කරමිනි.

අනෙක් ආරම්භක පිතිකරු මයිකල් ලම්බ් ද ෂේන් බොන්ඩ් වේග පන්දු යවන්නාට “ලෝන්ග් ඕන්” හරහා ආයාසයකින් තොරව හයේ පහරක් එල්ල කරමින් අවසානයේ පන්දු 21 කින් ලකුණු 32 ක් වාර්තා කළේය. අංක 4 පිතිකරු ලෙසින් පැමිණි මෝගන් නියම වේලාවට හතරේ පහර එල්ල කරමින් එංගලන්ත ඉනිම ස්ථාවර කළේය.

දකුණු අපි‍්‍රකාවට මෙවරද සිදුවූයේ අවසාන ඉලක්කය පෙනි පෙනී තිබියදී ගෙල සිරවීමකි. කඩුලු 7 කට ලකුණු 148 ක පාකිස්තාන මුළු ලකුණු හඹා ගිය දකුණු අපි‍්‍රකානුවන්ට රැස්කර ගත හැකි වූයේ කඩුලු 7 කට ලකුණු 137 ක් පමණි. 19 හැවිරිදි උමාර් අක්මාල් හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමග පන්දු 33 කදී ලබා ගත් ලකුණු 51 මත පාකිස්තාන ඉනිම ගොඩනැගිණි.

ඒ. බි. ඩිවිලියර්ස් දකුණු අපි‍්‍රකානුවන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් වමතින් දඟ පන්දු යවන අබ්දුර් රහ්මාන්ට 15 වැනි ඕවරයේදී හතරේ පහරක්, හයේ පහර 2 ක් හා ලකුණු 2 බැගින් ලකුණු 20 ක් ලබා ගනිමින් සිය අර්ධ ශතකයට පිවිසියද ඊළඟ ඕවරයේදී දැවී ගියේය.

පන්දු 41 කට මුහුණ දුන් විලියර්ස් ලකුණු 53 ක් වාර්තා කළේය. ඔහුගේ දැවී යාමත් සමග පාකිස්තානු ජයග්‍රහණය තහවුරු විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]