ඉන්දීය කාන්තා පිල අවසන් පූර්ව වටයට

ඉන්දීය කාන්තා පිල අවසන් පූර්ව වටයට

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලට ඉන්දීය පිල හමුවේ ලකුණු 71ක පරාජයක් අත්විඳ ගනිමින් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඉන්දීය පිල අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. පළමු අවසන් පූර්ව තරගය හෙට (13) ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සාන්ත ලුසියා හී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා (14) එම ක්‍රීඩා පිටියේදීම කොදෙවි පිල සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය 16 දා බාබඩෝස් හී කෙංග්සිංටන් ඕවල් පිටියේ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා -ඉන්දීය තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 3කට ලකුණු 144ක් රැස් කළේ ය. සුලක්ෂණ නයික් ලකුණු 59 ක් ද, මිතාලි රාජ් නොදැවී ලකුණු 52 ක් ද ලබා ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශ්‍රී පාලී වීරක්කොඩි සහ උදේශිකා ප්‍රබෝධනී එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ කඩුලු 9කට ලකුණු 73ක් පමණි. දීපිකා රසාංගිකා නොදැවී ලකුණු 31ක් රැස් කළාය. අගනා පන්දු යැවීමක නිරතවූ ඩයනා ඩේවිඩ් ලකුණු 12කට කඩුලු 4ක් බිඳ දැමුවාය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 19ක් ඇතුලත බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.

එක් කණ්ඩායමකට තරග 3ක් හිමි වූ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල පාකිස්තානය පරාජයට පත් කළ අතර නවසීලන්තය සහ ඉන්දියාවට පරාජය විය. මෙවර තරගමාලාවේදී පාකිස්තානයට සහ දකුණු අපි‍්‍රකාවට එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වූ අතර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහභාගි වූ තරග 3ම ජය ගැනීමට සමත් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා