මුද්‍රණය සඳහා

 
බස්නාහිර උතුර-දකුණ සිවුදින ක්‍රිකට් අවසන් ගැටුමට

බස්නාහිර උතුර-දකුණ සිවුදින ක්‍රිකට් අවසන් ගැටුමට

ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගමාලාවේ අවසන් මහා තරගය හෙට (13) බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

මූලික වටයේ තරග 4 කට සහභාගී වූ බස්නාහිර උතුර පිල ඉන් තරග 2 ක් ජයග්‍රහණය කළ අතර ඉතිරි තරග 2 ජය පැරදුමෙන් තොරව අවසන් කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ මෙවර තරගමාලාවේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි.

දෙවැනි ස්ථානයේ පසුවන බස්නාහිර දකුණ පිල තරග 4 කින් තරග 2 ක් ජයගත් අතර තරග 2 ක් පරාජයට පත් විය.

රුහුණු කණ්ඩායම තරග 4 කින් එක් තරගයක් ජය ගත් අතර තරග 2 ක් පරාජයට පත් විය. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ් පසුවෙයි.

මෙවර තරගමාලාවේ එකදු තරගයක් හෝ ජය ගැනීමට අසමත් වූ කඳුරට පිල එක් තරගයක් පරාජයට පත් වූ අතර තරග 3 ක් ජය පැරදුමෙන් තොරව නිමා කර ගනිමින් සිවු වැනි තැනට පත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන වයඹ කණ්ඩායම තරග 4 කින් එක් තරගයක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත් විය. ඉතිරි තරග 2 ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

මේ වන විට වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන බස්නාහිර උතුර පිලේ ඩිල්ෂාන් මුණවීර (ලකුණු 421) සහ දෙවැනි ස්ථානයේ පසුවන බස්නාහිර දකුණ පිලේ ප්‍රසන්න ජයවර්ධන (ලකුණු 413) අතර මෙවර තරගමාලාවේ හොඳම පිතිකරු වීමේ දැඩි සටනක් අවසන් මහා තරගයේදී ඇතිවනු නොඅනුමානය.

වැඩිම කඩුලු ලාභියා ලෙස පෙරමුණේ පසුවන්නේ බස්නාහිර දකුණු පිලේ මාලිංග බණ්ඩාරය. ඔහු කඩුලු 22 ක් දවාගෙන තිබේ.

බස්නාහිර උතුර පිල තිළිණ කණ්ඩම්බි විසින් මෙහෙයවනු ලබන අතර බස්නාහිර දකුණ පිල මෙහෙයවනු ලබන්නේ චාමර සිල්වා විසිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]