මුද්‍රණය සඳහා

 
නෙට්බෝල් නිලවරණය 20දා

නෙට්බෝල් නිලවරණය 20දා

හදිසියේ ඇටවූ කළුතර ‘බෝඩ් ලෑලී’ සංගමයේ ඡන්ද අයිතිය අහෝසියි

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණ මේ මස 20 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.

ක්‍රීඩා අමාත්‍යංශයේ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පාර්ශව කිහිපයක් කැඳවා කළ පරීක්ෂණයකින් අනතුරුව ඊයේ මේ තීරණයට එළැඹ ඇත.

නෙට්බෝල් සම්මේලන ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් සාමාජික සංගම් කිහිපයකට ඡන්ද අයිතිය පිරිනැමීම සම්බන්ධව ලැබුණු පැමිණිලිවලට අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය ක්‍රීඩා ඇමැතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවන ලදී.

නෙට්බෝල් නිලවරණය ක්‍රීඩා පනතේ වගන්ති ප්‍රකාරව ඡන්ද හිමි සංගම්වලට බලය පවරමින් පැවැත්වීමට තීරණය කළේ යැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් පී.සතරසිංහ මහතා ‘ දිනමිණ’ ට පැවැසීය.

මේ අතර කලින් ඡන්ද බලය හිමිකරදී තිබූ කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයේ ඡන්ද අයිතිය අහෝසිකර ඇතැයි වාර්තා වේ.

කළුතර නෙට්බෝල් සංගමය ලෙස මේ වසරේ පෙබරවාරි 25 දා පිහිටුවාගත් සංගමය පිළිනොගෙන වසර ගණනාවක් තිස්සේ පැවැති චාන්දනී එදිරිවීර මහත්මියගේ සංගමයට නැවැත ඡන්ද අයිතිය පැවැරීමට පරීක්ෂණයකින් පසුව තීරණය වී ඇත.

පැරැණි සංගමයේ දැනුවත් කමින් තොරව ඡන්ද ලබා ගැනීමේ අරමුණින්ම ව්‍යාජ සංගමයක් පිහිටුවා ඇති බවට චාන්දනී එදිරිවීර මහත්මිය ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කර සිටියා ය. කොළඹ දිස්ත්‍රික් සංගමයේ සාමාජිකාවක් අළුතින් පිහිටුවාගත් කළුතර සංගමයේ ලේකම් වී මවු සංගමයේද ලියාපදිංචිය නොලබා ඡන්ද ප්‍රකාශ කිරීමට යෑම ගැන එදිරිවීර මහත්මිය තම විරෝධතාව මගින් කරුණු දක්වා සිටියා ය.

කළුතර පැරැණි හා අළුත් නිලධාරීන් කැඳවා ක්‍රීඩා අමාත්‍යාංශයේ කළ පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ නව සංගමය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඇට වූ ‘බෝඩ් ලෑල්ලකට ‘ සීමා වූ එකක් බවයි.

නෙට්බෝල් ලේකම් තනතුරට තරග වැදී සිටින ටි‍්‍රක්සි නානායක්කාර මහත්මිය ඉදිරිපත් කර තිබූ නාම යෝජනා වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් ද පරීක්ෂාවට ලක් කෙරුණු අතර චෝදනා ලැබ සිටි ලේකම් තනතුරට තරග වදින දමයන්ති ජයතිලක, නිතරගයෙන් තනතුරුවලට පත් වූ යසවතී රාමචන්ද්‍ර හා ඔලිවියා ගමගේ යන මහත්මීන් චෝදනාවලින් නිදහස් වූ බව වාර්තාවේ.

දමයන්ති ජයතිලක මහත්මිය ගම්පහ දීප්ති ක්‍රීඩා සමාජයෙ ක්‍රියාකාරී සාමාජිකාවක් බවට ගම්පහ නෙට්බෝල් සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන මහත්මිය ලිපියක් මගින් ක්‍රීඩා අමාත්‍යංශයට දන්වා තිබුණි.

එහෙත් ඇය 2000 වසරේ සිට මේ දක්වා දීප්ති ක්‍රීඩා සමාජයෙන් නෙට්බෝල් සම්මේලනයේ ජාතික තරගවලට සහභාගී නොවු බවත්, පසුගිය ජාතික තරගාවලියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් නියෝජනය කළේ යැයි ට්‍රික්සි නානායක්කාර මහත්මිය ගොඩනැගූ තර්කය පිළිනොගත් බව ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ‘ දිනමිණ’ ට පැවැසී ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]